බාරුක්

– 1 වන පරිච්ඡේදය –

බාරුක් හා බබිලෝනියේ ජුදෙව්වරු

1 නෙරයාගේ පුත් බාරුක් විසින් බබිලෝනියාවේ දී ලියන ලද පොත මෙය වේ. සෙදෙකියා, හසදියා, හිල්කියා යන අයගේ පරපුරෙන් පැවතෙන මහෙසියාගේ මුණුබුරා, නෙරයා විය. 2 මෙය ලියන ලද්දේ කල්දිවරුන් ජෙරුසලම අල්ලාගෙන එය ගිනිබත් කළ කාලයේ දී ය. එනම්, පස් වන අවුරුද්දේ පස් වන මාසයේ හත් වන දින දී ය.
3 මේ පොතේ ලියන ලද කාරණා බාරුක් තෙමේ ජුදාහි රජ වූ ජෙහොයාකීම්ගේ පුත් ජෙකො‍්නියාට ද ඒවා ඇසීමට පැමිණි මුළු සෙනඟ වන, 4 අධිපතීන්ට ද රාජ කුමාරයන්ට ද ප්‍රජා මූලිකයන්ට ද සුද් නම් ගං තෙර බබිලෝනියාවේ විසූ ලොකු කුඩා සියල්ලන්ට ද හඬ නඟා කියෙව්වේ ය. 5 එය ඇසූ විට ඔව්හු හඬා වැලපී උපවාස කොට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කළො‍් ය. 6 තවද, ඔව්හු හැකි පමණ මුදල් එකතු කොට, 7 ෂල්ලුම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත් පූජක ජෙහොයාකීම් උදෙසාත්, මොහු සමඟ ජෙරුසලමේ වසන සියලු දෙන උදෙසාත් වෙනත් පූජකවරුන් උදෙසාත්, මෙය ජෙරුසලමට යැව්වෝ ය. 8 සිවන් මාසයේ දස වන දින ජුදා දේශයට ගෙනයනු පිණිස දේව මාලිගාවෙන් ඉවත් කරන ලද සමිඳාණන් වහන්සේගේ ගෘහයේ භාජන සොයාගත්තේ බාරුක් ය. 9 ජුදාහි රජ වූ ජොසියාගේ පුත් හෙදෙකියා විසින් ඒ රිදී භාජන සාදන ලද්දේ බබිලෝනියාවේ රජ වූ නෙබුකද්නෙශර් රජු විසින් ජෙකො‍්නියා ද, ඔහු සමඟ රාජ කුමරුවන් ද ලෝහ ශිල්පීන් ද උසස් ජනතාව සහ සාමාන්‍ය ජනයා ද ජෙරුසලමේ සිට බබිලෝනියාවට පිටුවහල් කරනු ලැබූ කාලයේ දී ය.
10 තවද, ඔවුන් විසින් මෙසේ ලියා තිබිණි. මෙය සමඟ දවන යාග පූජාවලට ද පාප පූජාවලට ද සුවඳ දුම්වලට ද ගෙවිය යුතු මුදල අපි එවන්නෙමු. ආහාර සූදානම් කොට ඒවා අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත ඔප්පු කරන්න. 11 බබිලෝනියාවේ රජ වූ නෙබුකද්නෙශර්ට ද ඔහුගේ පුත් බෙල්ෂෙසර්ට ද දිගායු ලැබෙන ලෙසත්, ඔවුන්ගේ මිහි පිට ජීවිත කාලය ඉර හඳ මෙන් චිරාත් කාලයක් වැජඹෙන ලෙසත් යාච්ඤා කරන්න. 12 බබිලෝනියාවේ රජ වූ නෙබුකද්නෙශර්ගේ සහ ඔහුගේ පුත් බෙල්ෂෙසර්ගේත් රැකවරණය යටතේ අපට ජීවිතය ගෙන යෑමට හැකි වන පරිදි සමිඳාණන් වහන්සේ අපට ශක්තියත් පැහැදීමත් දෙන ලෙසටත්, දිගු කාලයක් සේවය කිරීමෙන් ඔවුන්ගේ ප්‍රසාදයට අප ලක් වන ලෙසටත් යාච්ඤා කරන්න. 13 අප දෙවි ස්වාමීන් වහන්සේට විරුද්ධ ව පව් කර තිබෙන නිසා සමිඳාණන් වහන්සේගේ කෝපය සහ උදහස තවමත් අපගෙන් අහක් නොවී තිබෙන බැවිනුත්, අප උදෙසා උන් වහන්සේට යාච්ඤා කරන්න. 14 අවසන් කොට සමිඳාණන් වහන්සේගේ ගෘහය තුළ මංගල්‍ය දවසේ දී ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන දවස්වල දී ද අප මේ සමඟ ඔබට එවන පොත ශබ්ද නඟා කියවා ප්‍රසිද්ධ ලෙස පාපෝච්චාරණය කළ යුතු ය.

පාපෝච්චාරණය

15 ඔබ මෙසේ කිව යුතු ය: ”අවංකභාවය අපේ දෙවි ස්වාමීන් වහන්සේට හිමි ය. අද දින ජුදාහී සෙනඟ සහ ජෙරුසලම්හි පුරවැසියන් වන අපි එනම් 16 අපේ රජවරු ද රජ කුමරුවෝ ද, අපේ පූජකවරු ද අපේ මුතුන්මිත්තන් මෙන් අපේ දිවැසිවරු ද, 17 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළ බැවිනුත්, 18 අකීකරු වූ බැවිනුත්, සමිඳාණන් වහන්සේ අප උදෙසා පිළියෙළ කළ, අපට අනුගමනය කිරීමට කී, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට අප සවන් නුදුන් බැවිනුත් අද දින ලජ්ජාවට පත් වී සිටිමු. 19 සමිඳාණන් වහන්සේ අපේ මුතුන්මිත්තන් මිසර දේශයෙන් පිටතට ගෙනා දවසේ පටන් අද දක්වා අපි අපේ දෙවි ස්වාමීන් වහන්සේට අකීකරු වූයෙමු. උන් වහන්සේගේ හඬට සවන් දීම ප්‍රතික්ෂේප කොට අපි උන් වහන්සේට පක්ෂපාත නොවී සිටියෙමු. 20 එබැවින් අප අත්දකින දුර්භාග්‍යය ඇති වී ඇත්තේ කිරෙන් සහ මීපැණියෙන් ඉතිරී යන දේශයක් දෙනු පිණිස සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා දවසේ දී, උන් වහන්සේගේ සේවක මෝසෙස් ලවා උන් වහන්සේ දුන් දණ්ඩනයේ සාපය අප පිටට පැමිණ ඇති බැවිනි. 21 උන් වහන්සේ අප වෙත එවූ ඒ දිවැසිවරයන්ගේ සියලු පණිවුඩ නොසලකා, අපි අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට සවන් නොදී සිටියෙමු. 22 එහෙත්, අපි සියල්ලෝ ම අපේ නපුරු සිත්වල හටගත් චේතනා ක්‍රියාත්මක කරමින් බොරු දෙවි දේවතාවන් හට වැඳුම්පිදුම් කරමින් අපේ දෙවි ස්වාමීන් වහන්සේට අප්‍රසන්න වන දේ කෙළෙමු.

 

– 2 වන පරිච්ඡේදය –

1 ”එබැවින් අප ගැන ද ඉශ්රායෙල්වරුන් පාලනය කළ වීර නායකයන් ගැන ද අපේ රජවරුන් සහ නායකයන් ගැන ද ඉශ්රායෙල්හි සහ ජුදාහි සෙනඟ ගැන ද ස්වාමීන් වහන්සේ දුන් විනිශ්චය උන් වහන්සේ ක්‍රියාත්මක කළ සේක. 2 උන් වහන්සේ ජෙරුසලමට කළ දේ මේ මහා අහස් තලය යට කිසි දිනක සිදු නො වී ය. මේ සියල්ල සිදුවූයේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියන ලද දේ වලට එකඟ ව ය. 3 අපේ ම දූදරුවන්ගේ මාංස කන තත්ත්වයකට අපි වැටුණෙමු. 4 තවද, අප අවට සියලු ජාතීන් අප එපා කොට අප පිළිකුල් කරන ලෙසට උන් වහන්සේ අප විසුරුවා හැර අප වටේට සිටින රාජ්‍යයන්ගේ බලයට අප පාවා දුන් සේක. 5 අප දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට සවන් නොදී, උන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින්, අපි ස්වාමිවරුන් වෙනවා වෙනුවට වහල්ලු වීමු.
6 ”අපේ දෙවි ස්වාමීන් වහන්සේට අවංකකම හිමි ය. අපේ මුතුන්මිත්තන්ට මෙන් අද අපිත් ලජ්ජාවට පත් වී සිටින්නෙමු. 7 සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ප්‍රකාශ කළ අභාග්‍යයන් දැන් අපට පැමිණ ඇත. 8 එහෙත්, අපි තවමත් අපේ නපුරු සිත්වලින් නපුරු සිතිවිලි අහක් නොකෙළෙමු. සමිඳාණන් වහන්සේගේ කරුණාව දිනාගැනීමට උත්සාහ නොකෙළෙමු. 9 එබැවින් සමිඳාණන් වහන්සේගේ අණ පරිදි අප කරන සියල්ලට සාධාරණ ලෙස ප්‍රතිවිපාක දෙන බැවින් උන් වහන්සේ අප වෙත අභාග්‍යයන් එවීමට හරි මොහොත එන තෙක් බලා සිටිය සේක. 10 තවද, සමිඳාණන් වහන්සේ අපට පිළියෙළ කළ අණපණත් පිළිගැනීමට අපට කී විට අපි උන් වහන්සේගේ හඬට සවන් නුදුන්නෙමු.”

යාච්ඤාව

11 ”අද ඔබ වහන්සේට හිමි වී තිබෙන නාමය දිනාගනු පිණිස ප්‍රබල බාහු බලය, ලකුණු හා අරුමපුදුම දේ දක්වමින් ද, බල මහිමයෙන් හා දිගු කළ හස්තයෙන් ද මිසර දේශයෙන් ඔබේ සෙනඟ පිටතට ගෙනා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්ස, 12 අපි පව් කෙළෙමු. අපි අභක්තිකයෝ ව සිටියෙමු. අපේ දෙවි ස්වාමීනි, අපි ඔබේ අණපණත් සියල්ල ම කඩ කෙළෙමු. 13 ඔබ වහන්සේ අප ජාතීන් අතර විසුරුවාදැමූ සේක. ඒ නිසා අප දැන් ඉතා අසරණ කුඩා පිරිසක් වන බැවින් ඔබේ කෝපයන් අපෙන් ඉවතලනු මැනව. 14 සමිඳාණන් වහන්ස, අපේ යාච්ඤාවට, අපේ අයැදුමට සවන් දුන මැනව. ඔබේ ගෞරවය උදෙසා අප ගළවා අප අල්ලාගත් සියලු අයට පෙනෙන පිණිස ඔබේ අනුග්‍රහය අපට දුන මැනව. 15 එවිට ඉශ්රායෙල්වරුන්ටත් ඔවුන්ගේ පෙළපතටත් ඔබේ නාමය අයිති බැවින් ඔබ අපේ දෙවි ස්වාමීන් වහන්සේ බව මුළු ලෝකය ම දැනගන්නෝ ය. 16 සමිඳාණන් වහන්ස, ඔබේ ශුද්ධ වාසභවනයේ සිට අප දෙස බැලුව මැනව. අප ගැන කල්පනා කළ මැනව. අප ගැන සලකා, අපට සවන් දුන මැනව. 17 සමිඳාණන් වහන්ස, අප දෙස බැල්ම යොමු කර අප ගැන සිතුව මැනව. ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කරන්නේත්, ඔබේ පණත් පිළිපදින්නේත් ශරීරයේ හුස්ම ටික බේරී ගොස් පාතාලයේ සිටින මියගිය අය නොවෙති. 18 සමිඳාණන් වහන්ස, ඔබේ මහිමය වර්ණනා කරන්නේත් ඔබේ අණපණත් පිළිපදින්නේත් දුකින් පෙළෙන, පෙනීම අඩු වේගෙන යන, සාගින්නෙන් පිඩා විඳින, යටහත් පහත් ලෙස දුබල ව තම කටයුතු කරන තැනැත්තෝ ය.
19 ”අපේ දෙවි ස්වාමීන් වහන්ස, ඔබට බැගෑපත් ලෙස යාච්ඤා කරනු සඳහා අපේ මුතුන්මිත්තන්ගේ සහ අපේ රජවරුන්ගේ දමිටු ක්‍රියා කෙරෙහි අපි බලාපොරොත්තුව නො තබමු. 20 අපි එලෙස නො කරමු. ඔබ වහන්සේ ඔබේ සේවක දිවැසිවරයන් මඟින් පොරොන්දු වූ ලෙස ඔබ තමන් කෝපයත්, උදහසත් අප පිට පැමිණෙව් සේක. 21 ඒ මන්ද, දිවැසිවරයන් තුළින් ඔබ වහන්සේ කතා කරමින්, ”ඔබේ ගෙල පහත් කොට බබිලෝනියාවේ රජුට යටත් වන්න, මා ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයෙහි ඔබ සැම නැවතී සිටින්නාහු ය. 22 එහෙත් සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නො දී බබිලෝනියාවේ රජුට යටත් නොවන්නහු නම්, 23 ”මම ජුදා නුවරවල හා ජෙරුසලමෙහි වීථිවල මනාලයාගේ සහ මනාලියගේ කටහඬ ද ප්‍රීතිඝෝෂාව හා විනෝදය ද නිහඬ කරන්නෙමි. මුළු රට ම කිසි වැසියෙකු නැති කාන්තාරයකට හරවන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවෝ ය. 24 එහෙත් අපි ඔබේ හඬට සවන් නුදුන්නෙමු. බබිලෝනියාවේ රජුට යටත් නුවූයෙමු. එබැවින් ඔබ වහන්සේගේ සේවක දිවැසිවරයන් මඟින් පොරොන්දු වූ දේ, එනම්, ‘අපේ රජුන්ගේ ද මුතුන්මිත්තන්ගේ ද ඇටකටු සොහොන් බිම්වලින් ඇද දමනු ලැබේ’ යන්න ඔබ ක්‍රියාත්මක කළ සේක. 25 ඇත්තෙන් ම ඒවා දවාලේ උෂ්ණත්වයටත්, රාත්‍රියේ ශීතලයටත් අසු වන පිණිස උඩට වීසි කර දමන ලදී. සෙනඟ ද භයානක කටුක වේදනාවෙන් පෙළී සාගතයෙන් හා කඩුවෙන් ද, වසංගතයෙන් ද මිය ගියහ. 26 මෙලෙස ඉශ්රායෙල්වරුන්ගේ වංශයේ ද ජුදාගේ වංශයේ ද දුෂ්ටකම නිසා ඔබ තමන් නාමය රඳා පවතින මේ වංශය අද දින තිබෙන තත්ත්වයට පත් කළ සේක.
27 ”තවද, අපේ දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ යහපත්කමට හා අසීමිත කරුණාවට ඔබින පරිදි ඔබ අප ගැන ක්‍රියා කළ සේක. 28 එලෙස කෙළේ ඔබේ සේවක මෝසෙස් ඔබ පොරොන්දු වූ පරිදි ය. ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔහුට ඔබේ ව්‍යවස්ථාව ලියන්නට කී දින ඔබ මෙසේ වදාළ සේක: 29 ‘ඔබ මාගේ හඬට සවන් නොදෙන්නහු නම්, මේ මහා අසංබ්‍ය සෙනඟ, ජාතීන් අතර ඉතා කුඩා පිරිසක් බවට ඇත්තෙන් ම පමුණුවන්නෙමි. ඒ ජාතීන් අතර මේ පිරිස විසුරුවා හරින්නෙමි. 30 තවද, මේ සෙනඟ ඉතා මුරණ්ඩු බැවින් ඔවුන් මට සවන් නොදෙන බව මම තරයේ දනිමි. එහෙත්, ඔවුන් වහලුන් මෙන් ජීවිතය ගතකරන රටේ දී ඔවුන් මේ සියල්ල සිතට ගෙන, 31 මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු පිළිගත්තෝ ය. එවිට මම ඔවුන්ට හොඳ සිතකුත් සාවධාන කන් දෙකකුත් දෙන්නෙමි. 32 ඔවුන් පිටුවහල් වී සිටින රටේ දී ඔව්හු මට ප්‍රශංසා ගී ගයන්නෝ ය; මාගේ නාමය සිහි කරන්නෝ ය. 33 ඔව්හු තවදුරටත් මුරණ්ඩු නොවී, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළ ඔවුන්ගේ මුතුන්මිත්තන්ට වූ දේ සිහිපත් කොට නපුරු ක්‍රියා කිරීමෙන් වැළකී සිටින්නෝ ය. 34 එවිට මම ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දිවුරුම් පිට පොරොන්දු දුන් ලෙස ඔවුන් ආපසු දේශයට ගෙනැවිත් එහි ස්වාමිවරුන් කරන්නෙමි; මම ඔවුන්ගේ ගණන වැඩි වර්ධනය කරන්නෙමි. ඔවුන් පිරිහෙන්නේ නැත. 35 මම ඔවුන් සමඟ සදාතන ගිවිසුමක් කරන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි; ඔව්හු මාගේ සෙනඟ වන්නාහු ය; මා ඉශ්රායෙල් සෙනඟට දුන් රටින් මම ඔවුන් නැවත පලවා නො හරින්නෙමි.

 

– 3 වන පරිච්ඡේදය –

1 ”සව් බලැති සමිඳාණන් වහන්ස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්ස, වේදනාවෙන් පීඩිත වූ, කරදර වලින් මුසපත් වූ කෙනෙක් දැන් ඔබට හඬ නඟා මෙසේ කියති: 2 සමිඳාණන් වහන්ස, සවන් දී අපට කරුණා කළ මැනව. මන්ද, අපි ඔබ ඉදිරියෙහි පව් කෙළෙමු. 3 ඔබ වහන්සේ නම්, සදහට ම සිංහාසනාරූඪ වී වැඩ සිටින සේක. අපි නම්, දිනෙන් දින ම විනාශ වී යන්නෙමු. 4 සව් බලැති සමිඳාණන් වහන්ස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්ස, ඉශ්රායෙල්වරුන් අතර මියගිය අයගේ ද ඔබට විරුද්ධ ව පව් කොට තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට සවන් නුදුන් ඉශ්රායෙල් ජනයාගේ ද යාච්ඤාවට සවන් දුන මැනව. ඔබට සවන් නුදුන් බැවින් අපට දුක් කරදර පැමිණ තිබේ. 5 අපේ මුතුන්මිත්තන්ගේ වැරදි ක්‍රියා සිහි නොකළ මැනව. එහෙත්, ඔබේ බල මහිමයත්, නාමයත් සිහි කළ මැනව. 6 සමිඳාණන් වහන්ස, ඔබ සැබැවින් ම අපේ දෙවි ස්වාමීන් වහන්සේ ය. ඔබට ප්‍රශංසා කිරීමට අපි ඉතා ආශා වෙමු. 7 මන්ද, ඔබ අපේ සිත් තුළට ඔබ කෙරෙහි ගෞරවය ඇතුල් කොට ඔබේ නාමය කියා යාච්ඤා කිරීමට අප ධෛර්යවත් කළ සේක. ඔබට විරුද්ධ ව පව් කළ අපේ මුතුන්මිත්තන්ගේ පාප ආශාවන් අපේ සිත්වලින් දුරු කොට තිබෙන බැවින්, අප විප්‍රවාස ගත වී සිටින මේ රටේ ඔබට ප්‍රශංසා කිරීමට ඉතා ආශා වෙමු. 8 අපේ දෙවි ස්වාමීන් වහන්සේ අත්හළ අපේ මුතුන්මිත්තන්ගේ සියලු වැරදි ක්‍රියාවලට දඬුවම් වශයෙන් අතිශයින් පිළිකුල් කටයුතු වූ ද සාප ලද්දා වූ ද හෙළා දකිනු ලැබුවා වු ද ජනතාවක් වශයෙන් ඔබ විසින් විසුරුවාදමනු ලැබ තවමත් විප්‍රවාස වී සිටින අප වෙත අද දින ඔබේ බැල්ම හෙළුව මැනව.”

ප්‍රඥාව පැසසීම

9 ඉශ්රායෙල් ජනයෙනි, ජීවනදායක නීතිවලට සවන් දෙන්න.
සවන් දී, දැනගැන්ම කුමක් ද කියා තේරුම්ගන්න,
10 ඉශ්රායෙල් ජනයෙනි, සතුරු රටක, විදෙස් බිමක මහලු වෙමින්,
11 මළවුන්ගේ දූෂණයන්ට පංගුකාර වෙමින්, පාතාලයට යා යුතු අයගේ ගණයට වැටෙමින්, ඔබ හැම සිටින්නේ මන් ද?
12 ඔබ ප්‍රඥාවේ උල්පත අත්හළහු ය.
13 ඔබ දෙවි මඟ ගියහු නම්, ඔබ සදහට සුව සේ වසනු ඇත.
14 දැනගැන්ම කොහේ ද? ශක්තිය කොහේ ද? නැණනුවණ කොහේ ද කියා දැනගන්න. දිගායු කොහේ ද?
ජීවිතය කොහේ ද? දෑසේ එළිය කොහේ ද?
සාමය කොහේ ද කියා දැනගන්න.
15 ප්‍රඥාව කොහේ ද කියා සොයාගත්තේ කවරෙක් ද?
ඇගේ නිදන් නිවසට ඇතුළු වූයේ කවරෙක් ද?
16 දැන්, ජාතීන්ගේ නායකයෝ කොහේ ද?
මිහි පිට වන සතුන් පාලනය කළ අය කොහේ ද?
17 අහස් පක්ෂීන් මෙහෙයවූ අය කොහේ ද?
මිනිස් සංහතිය අගය කරන, රන් රිදී එකතු කළ අය කොහේ ද?
අසීමිත වස්තුව තිබූ අය කොහේ ද?
18 රිදියෙන් දස්කම් පාමින් ඉතා සැලකිල්ලෙන් ක්‍රියා කළ, අයගේ කෘතීන් ගැන සලකුණු ඇද් ද?
19 මොවුහු අතුරුදහන් වී පාතාලයට බැස ගියෝ ය;
සෙස්සෝ ඔවුන්ගේ තැන ගත්හ.
20 නූතන පරපුර මෙලෝ එළිය දැක, මිහි පිට වැඩි වර්ධනය වී ඇත.
21 එහෙත් ඔව්හු නැණ මඟ නොදත්හ.
ඔව්හු පැණ මඟ තේරුම් නොගත්හ.
ඔවුන්ගේ පුත්‍රයන් පැණ මඟින් දුරස්තර වී සිටි බැවින් ඔව්හු කිසිසේත් එය දැන නොගත්හ.
22 කානාන් දේශයේ දී එය ගැන කිසිවක් අසා නැත;
තේමාන් දේශයේ දී එය ගැන කිසිවක් දැක නැත.
23 හාගාර්ගේ පෙළපත ද ලෝක ප්‍රඥාව සොයා යයි.
මිදියන්හි සහ තේමාන්හි වෙළෙන්දෝ ද, කවිකොළකාරයෝ ද, දර්ශනවාදීහු ද, පැණ මඟ සොයා නොගත්හ;
පැණ මඟ දැන නොගත්හ.
24 ඉශ්රායෙල් ජනයෙනි, දෙවි නිවෙස කෙතරම් විශාල ද?
එතුමන් රජය කෙතරම් පුළුල් ද?
25 මිණිය නොහැකි තරමට එය පුළුල් ය;
නිම්හිම් නොමැති තරමට එය උස ය.
26 බොහෝ උස, රණ ශූර, පැරණි කල පටන් ප්‍රකට යෝධයෝ එහි උපන් හ.
27 දෙවි තුමාණෝ ඔවුන් තෝරා නොගත් සේක.
නැණ මඟ එවුන් හට අනාවරණය කෙළේ නැත.
28 ප්‍රඥාව නැතිකමින් ඔව්හු මියගිය හ;
ඔවුන්ගේ ම මො‍්ඩකමින් වැනසී ගියහ.
29 ප්‍රඥාව සොයාගැනීමට අහසට නැංගේ කවරෙක් ද?
වලාකුළුවලින් එය ගෙන ඒමට එහි ගියේ කවරෙක් ද?
30 පෙරූ රන් දී එය මාරු කොට ආපසු ගෙන එනු සඳහා සමුදුර තරණය කෙළේ කවරෙක් ද?
31 ප්‍රඥාව වෙත යන මඟ කිසිවෙක් නොදනිති;
ඇය යන මාවත කිසිවෙකුට සොයාගත නොහැකි ය.
32 එහෙත්, සියලු දේ දත් තැනැන් වහන්සේ ප්‍රඥාව දන්න සේක;
සිය බුද්ධිය මඟින් එය තේරුම්ගත් සේක;
උන් වහන්සේ මිහිතලය සාදා තිර කොට පිහිටවූ සේක;
එය සිවුපා සතුන්ගෙන් පුරවා ලූ සේක.
33 උන් වහන්සේ ආලෝකය දෙන සේක;
එය විහිදී යයි.
එය ආපසු කැඳවනු ලැබේ;
වෙවුලමින් එය අවනත වෙයි.
34 නිසි කලට තරු කැල සතුටින් බබලයි. ප්‍රීතිවෙයි.
35 එතුමා ඒවාට අමතන විට, ‘අපි මෙහි ය’යි ඒවා පිළිතුරු දෙයි.
36 එතුමා අපේ දෙවිඳාණෝ ය.
එතුමාණන්ට සම අන් කෙනෙක් නැත.
37 එතුමාණෝ නැණනුවණ මඟ දන්න සේක.
සේවක ජාකොබ්ට ඒ මඟ පවසා ඇත.
පෙම්බර ඉශ්රායෙල් ජනයාට එය දී ඇත.
38 මෙලෙස මිහි පිට නැණ මඟ දිස් වෙයි;
දනන් අතර සැරිසරයි.

 

– 4 වන පරිච්ඡේදය –

1 දෙවිඳුන්ගේ නීති පොත මෙය වේ;
සදා පවතින නීතිය මෙය වේ.
එය පිළිපදින්නෝ ජීවත් වෙති; එය අත්හරින්නෝ මියයති.
2 එම්බා ජාකොබ්ගේ පරපුර, ආපසු හැරී එන්න.
එය හිමි කරගන්න;
එයින් බැබළි බැබළී ආලෝකයට යන්න.
3 ඔබේ මහිමය අන් කෙනෙකුට නොදෙන්න;
ඔබේ ම නොවන සෙනඟකට ඔබට හිමි වරම නොදෙන්න.
4 ඉශ්රායෙල් ජනයෙනි, අපි ආසිරි ලද්දෙමු.
දෙවිඳාණන් කැමැති දේ අපට පවසා ඇත.

ජෙරුසලමේ වැසියන්ගේ පැතුම්

5 මාගේ සෙනඟෙනි, දිරි වඩන්න.
ඔබ ඉශ්රායෙල් නාමය පණගන්වන අය වන්නහු ය.
6 විජාතීන්ට ඔබ විකුණනු ලැබුවහු ය;
එහෙත්, එය ඔබේ වැනසීමට නොවේ.
ඔබ දෙවිඳුන් ප්‍රකෝප කළහු ය;
එබැවින්, හතුරන් අතට පාවා දෙනු ලැබුවහු ය.
7 දෙවිඳුන්ට නොව යකුන්ට පඬුරු පිදීමෙන් ඔබ මැවුම්කරුවාණන් ප්‍රකෝප කළහු ය.
8 ඔබ තමන් ඇතිදැඩි කළ;
සදාතන දෙවිඳුන් අමතක කළහු ය;
ඔබට කිරි දුන් ජෙරුසලම් නගරයට ඔබ දුක් දුන්නහු ය.
9 දේව උදහස ඔබ පිට වැටෙන විට, ඇය කතා කොට මෙසේ කීවා ය:
සියොන් අසල්වැසියෙනි, සවන් දෙන්න.
දෙවිඳාණෝ මහ දුකක් මා වෙත එවූ සේක.
10 සදාතන තැනැන් වහන්සේගේ තීන්දුව පරිදි වහල්කමට ගිය මාගේ දූදරුවන් මම දුටිමි.
11 මම ඔවුන් ප්‍රීතියෙන් ඇතිදැඩි කෙළෙමි.
දුකින් කඳුළු හෙළමින් ඔවුන් යන රඟ බලා සිටියෙමි.
12 ඔබෙන් කිසිවෙක් මා ගැන ප්‍රීති නොවන්න.
මම බොහෝ අය විසින් අහකදමනු ලැබූ වැන්දඹුවක්මි;
දේව නීතියෙන් අහක ගිය මාගේ ම දරුවන්ගේ පව් නිසා මම හුදකලා ව දුක් වෙමි.
13 එතුමාණන්ගේ නියමයන් දැනගැන්ම ඔවුන්ට නුවුවමනා විය.
එතුමාණන්ගේ පණත් මඟ යාමට ඔව්හු අකමැති වූ හ;
එතුමාණන්ගේ සාධාරණකම අනුව විනය මඟ යෑම ඔව්හු නොරිස්සුවෝ ය.
14 සියොන්හි අසල්වැසියෙනි, මෙහි පැමිණෙන්න;
සදාතන තැනැන් වහන්සේ ඔවුන්ට නියම කළ, මාගේ දූදරුවන්ගේ වහල්කම මම ඔබට සිහි කරවමි.
15 විදෙස් බසක් දොඩන, මහල්ලාට ගරුසරු නොකරන, දරුවාට කරුණාව නොදක්වන, කුරිරු ජාතියක් ඈත සිටි ජාතියක් ඔවුන් වෙත පැමිණෙවු හැටි සිහි කරමි.
16 ඔව්හු වැන්දඹුවගේ ආදර දරුවන් අල්ලාගෙන ගියහ;
දූවරුන්ගෙන් වියෝ කොට, හුදකලා ව ඇය තැබුවා ය.
17 මම කෙසේ නම් ඔබට සරණ වෙම් ද?
18 ඔබ වෙත මේ විපත් පැමිණෙවු තැනැත්තා ම සතුරන් අතින් ඔබ ගැළවිය යුතු ය.
19 මාගේ දරුවෙනි, යන්න, කැමැති දෙසක යන්න.
මම නම්, තනි ව වියෝ ව සිටිමි.
20 සාම කාලයේ ඇඳුම් මම ඉවත ලමි; යැදීමේ ගෝනි රෙදි ද ඇඳගතිමි;
දිවි ඇති තෙක් සදාතනිකයාණන්ට හඬගසමි.
21 මාගේ දරුවෙනි, දිරිමත් ව දෙවිඳුන් යදින්න;
කෲර පාලනයෙන්, සතුරන් අතින් එතුමා ඔබ ගළවනු ඇත.
22 ඔබේ ගැළවීම පතා මම සදාතනිකයාණන් දෙස බලමි.
ඔබේ ගැළවුම්කාර සදාතනිකයාණන්ගෙන් ඔබට විගස ලැබෙන දයාව ගැන සුවිශුද්ධ තැනැන් වහන්සේගෙන් මට ප්‍රීතිය ලැබිණි.
23 දුකින් කඳුළු හෙළමින් මම ඔබ අහකට ගිය රඟ බලා සිටියෙමි.
එහෙත්, දෙවිඳුන් සදා ප්‍රීති සන්තෝෂයෙන් ඔබ මට ආපසු දෙනු ඇත.
24 සියොන් අසල්වැසියන් දැන් ඔබේ වහල්කම දකින්නා සේ ම සදාතනිකයාණන්ගේ මහා තෙදබල මහිමයෙන් එතුමන් මැදහත් ව, ඒ දෙවිඳුන් ඔබ ගළවන අයුරු ද ඔව්හු විගස දකින්නෝ ය.
25 මාගේ දරුවෙනි, ඔබ ගැන ඇති දෙවිඳුන්ගේ උදහස ගැන ඉවසිලිමත් වන්න.
ඔබේ සතුරො‍් ඔබට පීඩා කළො‍් ය.
එහෙත්, ඔබ විගස ඔවුන්ගේ විනාශය දැක ඔවුන්ගේ ගෙල පාගාදමන්නහු ය.
26 ආක්‍රමණික සතුරන් බැටළු රැළක් පැහැරගෙන යද්දී මෙන් මාගේ ප්‍රියතම දරුවන් කටුක මාවත්හි ගමන් කර ඇත.
27 මාගේ දරුවෙනි, දිරිමත් වන්න, දෙවිඳුන් අයැදින්න, ඔබට විපත් එවූ එතුමා ඔබ සිහි කරනු ඇත.
28 ඔබේ කැමැත්තෙන් ම ඔබ දෙවිඳුන්ගෙන් ඈත් වී ගිය ලෙස දැන් ඉතින් ආපසු හැරී බොහෝ වැර වඩා එතුමන් සොයන්න.
29 මන්ද, එතුමන් ඔබට විපත් පැමිණෙවු සේ ම ඔබ මුදා සදා සතුට ඔබට දෙනු ඇත.
30 ජෙරුසලම් වැසියෙනි, දිරි වඩන්න.
ඔබට ඒ නම දුන් එතුමා ඔබ සනසනු ඇත.
31 ඔබට හිංසා කළ අයට ඔබේ වැටිම ගැන ප්‍රීති වූ අයට විපත් පැමිණෙනු ඇත.
32 ඔබේ දරුවන් වහලුන් මෙන් සිටි නගරවලට විපත් පැමිණෙනු ඇත.
ඔබේ දරුවන් පිළිගත් නගරවලට විපත් පැමිණෙනු ඇත.
33 ඇය ඔබේ වැටීම ගැන ප්‍රීති ප්‍රමො‍්ද වී ඔබේ විනාශය ගැන සතුටුවූවා සේ ම ඇගේ පාළුකම ගැන ඇය දුක් වනු ඇත.
34 ජනාකීර්ණ නගරවලට ඇති ප්‍රීතිය මම ඇයට නොදෙමි.
ඇගේ පාරට්ටුව විලාපයට හැරෙනු ඇත.
35 සදාතනිකයාණන්ගෙන් එන ගින්න බොහෝ දිනක් ඇය දවනු ඇත.
යුගයෙන් යුගයට යම දූතයන් එහි වසනු ඇත.
36 ජෙරුසලම් නගරය, පෙරදිග බලන්න, දෙවිඳුන්ගෙන් එන ප්‍රීතිය නරඹන්න.
37 යන්න ගිය පුත්‍රයා දැන් ගෙදර බලා එන රඟ නරඹන්න.
පෙර අපර දෙදිගින් ඔව්හු එකතු වී ගෙදර බලා එන්නෝ ය.
සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නියමය අනුව දේව මහිමාලංකාරයෙන් කුල්මත් වී ඔව්හු ආපසු එන්නාහ.

 

– 5 වන පරිච්ඡේදය –

1 එම්බා ජෙරුසලම් නගරය, දුක් හා වේදනාවේ වස්ත්‍රය ඉවත ලා, දෙවි මහිමයේ ශෝභනකම සදහට ම ඇඟලාගන්න.
2 දේව අවංකකම නමැති සළුව පැළඳගන්න.
ඔබ සිරස මත සදාතනිකයාණන්ගේ තෙදබල කිරීටය තබාගන්න.
3 මන්ද, මිහි පිට සිටින සෑම ජාතියකට ම ඔබේ මහිමය පෙන්වීමට දෙවිඳාණෝ සලසන සේක.
දෙවිඳාණන් ඔබට දෙන නාමය සදා පවතින්නේ ය.
4 සාමය උදාවූයේ අවංකකමිනි.
ගෞරවය උදාවූයේ ලැදිකමිනි.
5 ජෙරුසලම, නැඟිට උස් තැන්හි සිටගන්න.
ඔබේ දෙනෙත් පෙරදිගට හරවන්න.
සුවිශුද්ධ තැනැන් වහන්සේගේ අණට එකඟ ව පෙර අපර දෙදිගින් රැස් වී සිටින ඔබේ දරුවන් දෙස බලන්න.
දෙවිඳාණෝ ඔවුන් සිහිපත් කළ සේක කියා ඔව්හු ජය ගොස නඟති.
6 සතුරන් නමැති පිරිවර ඇති ව ඔව්හු පයින් පිටත් වී ගියහ.
එහෙත් දැන්, තේජාන්විත ව, උසුලාගෙන යන රජකුමරුන් මෙන් දෙවිඳාණෝ ඔවුන් ඔබ වෙත ගෙනෙන සේක.
7 මන්ද, දේව මහිමාලංකාරයෙහි සුව සේ ඉශ්රායෙල් ජනයා ගමන් කරන පිණිස දෙවිඳාණන් සියලු උස් කඳුවලට ද සදාතන කඳුවලට ද, සම භූමියක් වීමටත්, මිටියාවත් පිරී සමතලා භූමියක් වීමටත් නියම කර ඇත.
8 දේව අණට එකඟ ව වන රොද හා සෑම සුවඳ කුසුම් ගසක් ඉශ්රායෙල් ජනයා හට සෙවණ දෙනු ඇත.
9 දේව දයාව සහ අවංකකම පිරිවර මෙන් ඇතිව දෙවිඳාණෝ ස්වකීය මහිමාලෝකයෙහි ප්‍රීතියෙන් යාමට ඉශ්රායෙල් ජනයාට මඟ පෙන්වන සේක.

 

– 6 වන පරිච්ඡේදය –

ජෙරමියාගේ ලිපිය

බබිලෝනියාවේ රජු විසින් බබිලෝනියාවට වහලුන් මෙන් ගෙනයනු ලැබීමට සූදානම් ව සිටි අය ගැන දෙවියන් වහන්සේ විසින් තමාට දෙන ලද උවදෙස් ගැන ඔවුන්ට දන්වනු පිණිස ජෙරමියා විසින් ලියන ලද ලිපියේ පිටපතක් පහත දක්වනු ලැබේ

රූප වන්දනාවේ වරද

1 ඔබ හැම දෙවියන් වහන්සේට විරුද්ධ ව කළ පව් නිසා බබිලෝනියාවේ රජු වන නෙබුකද්නෙශර් විසින් ඔබ සියල්ලන් බබිලෝනියාවට පිටුවහල් කරදමනු ලැබේ. 2 ඔබ බබිලෝනියාවට පැමිණි විට අවුරුදු බොහෝ ගණනක්, පරම්පරා හතක් ඔබ එහි සිටිනු ඇත. 3 ඉන්පසු මම ඔබ සුව සේ මවු රටට ගෙනෙන්නෙමි. බබිලෝනියාවේ දී රන් රිදියෙන් හා ලීයෙන් සාදන ලද දෙවිවරුන් සෙනඟ උරහිස තබාගෙන යන සැටිත්, ඒ දෙවි දේවතාවන් විජාතීන් බියගන්වන සැටිත් ඔබ දකින්නහු ය. 4 පරෙස්සම් වන්න. විජාතීන් අනුගමනය නොකරන්න. 5 වන්දනාකරුවන් ඒ දෙවිවරුන් ඉදිරිපිට සහ පසුපස එකතු වනු දකින විට ඔබ ඒ දෙවිවරුන්ට බිය නොවන්න. බිය නොවී, ”ස්වාමීනි, අප නමස්කාර කරන්නේ ඔබට පමණක් ය”යි සිතින් කියාගන්න. 6 මාගේ දේව දූතයා ඔබ සමඟ ය. ඔහුගේ රැකවරණයෙහි ඔබ සැම ජීවත් වනු ඇත.
7 ඒ දෙවිවරුන් රන් රිදී ගා ආලේප කර ඇත. ඒවායේ දිව්, ශිල්පීන් විසින් මටසිලුටු කරනු ලැබ ඇත. ඒවා ව්‍යාජ ඒවා ය. ඒවාට කතා කිරීමට නොහැකි ය. 8 බාලිකාවක් අලංකාර ඇඳුම් පැළඳුම්වලට ආශා වන පරිදි මේ විජාතීහු රත්රන් රැගෙන ඔවුන්ගේ දෙවිවරුන්ගේ හිස්වලට ඔටුනු සාදන්නෝ ය. 9 සමහර විට පූජකවරු තමන්ගේ ම වියදමට ගැනීමට ඔවුන්ගේ දෙවිවරුන්ගෙන් රන් රිදී සොරාගත්තෝ ය. දේවාල වෙසඟනන්ට තෑගිබෝග දීම සඳහා ද ඔව්හු ඒවා පාවිච්චි කරති. 10 රන් රිදීයෙන් හා ලීයෙන් සාදන ලද මේ දෙවිවරුන්ට ඔව්හු මිනිසුන්ට මෙන් ඇඳුම් අන්දවති. ඇඳ පැළඳ සිටින ඇඳුම් පැළඳුම් කොපමණ තිබුණත් ඒ දෙවිවරුන්ට ගුල්ලන්ගෙන් සහ මලකඩවලින් තමන් ආරක්ෂා කරගත නොහැකි ය. 11 දේවාලවල ඇති දූවිල්ල ඒ පිළිමවල ඝන ලෙස බැදෙන බැවින් ඒවායේ මුහුණුවල දූවිලි පවා ගසාදැමීමට සිදු වී ඇත. 12 කෙනෙකු ප්‍රාදේශීය ආණ්ඩුකාරයෙකු මෙන් ජය කොන්තය රැගෙන ඇත. එහෙත්, ඔහුට විරුද්ධ ව වරද කරන්නා මරණයට පත් කිරීම ඔහුට කළ නොහැකි ය. 13 තවත් කෙනෙක් සුරතෙහි කඩුවක් ද පොරොවක් ද ඇති ව සිටිති. එහෙත්, යුද්ධයට හො‍් හොරුන්ට හො‍් විරුද්ධ ව තමා බේරාගත නොහැකි ය. 14 මේවායින් ඔවුන් දෙවිවරුන් නොවන බව පැහැදිලි ය. ඔවුන්ට බිය නොවන්න. 15 සාමාන්‍යයෙන් පාවිච්චි කරන කළයක් බිඳුණ විට එය පලක් නැති වන පරිදි දේවාල තුළ අසුන් අරා වැඩ හිඳින දෙවිවරු ද පලක් නැති අය ය. 16 දේවාලයට ඇතුළු වන අයගේ පාදවලින් ඇවිස්සෙන දූවිල්ලෙන් ඒවායේ නෙත් පිරී ගොස් තිබේ. 17 රජුට විරුද්ධ ව වරදක් කොට මරණ තීන්දුව ලැබූ තැනැත්තා සිටින හිර මැදුරේ වටේට ම දොරවල් වසා තිබෙන්නාක් මෙන් පූජකවරු ද, සොර බියෙන් මේ දෙවිවරුන්ගේ දේවාලවලට දොර අගුලු හරස්පොලු දමා ඒවා ආරක්ෂා කරති. 18 උවමනාවටත් වඩා පහන් දල්වා තිබෙන නමුත් දෙවිවරුන්ට ඒවායින් එකක් වත් නොපෙනෙයි. 19 මිනිසුන් කියන පරිදි මේ දෙවිවරු දේවාලයේ බාල්කවලට සමාන ය. පොළොවෙන් මතු වූ ගුල්ලෝ ඒ බාල්කවලට රිංගා ගෙන ඒවා කාදමති. එමෙන් ම දෙවිවරුන්ගේ අගනා ඇඳුම් පැළඳුම් ද විනාශ කරදමති; 20 දේවාලයෙන් නඟින දුම නිසා ඔවුන්ගේ මුහුණු කළු වී තිබෙන බව දෙවිවරු නොදනිති. 21 වවුලෝ ද ගේ කුරුල්ලෝ ද විවිධ පක්ෂීහු ද ඔවුන්ගේ ඇඟපතට හා හිස්වලට උඩින් පියාසර කරති. බළල්ලු ද එහි එහා මෙහා ගැවසෙති. 22 ඔවුන් දෙවිවරුන් නොවන බව මෙකී දේවලින් ඔබට පෙනෙනු ඇත. ඔවුන්ට බිය නොවන්න.
23 ඒ පිළිමවලට ගා තිබෙන රන් ආලේපය බලන්නට ලස්සන ය. එහෙත්, කිසිවකු මලකඩ ටික මකා නොදැම්මොත් මේ දෙවිවරුන්ට තමන්ගේ බැබළීම සඳහා කිසිත් කරගත නොහැකි ය. ඔවුන් අච්චුවේ දමා සාදන විට ඔවුන්ට කිසිත් නොදැනුණේ ය. 24 ඔවුන් උදෙසා කොපමණ මුදල් වැය කරනු ලැබූවත්, තව ම ඔවුන් තුළ ජීවන හුස්මක් නැත. 25 ඔවුන්ට ඇවිදින්නට නොහැකි බැවින්, ඔවුන් මිනිසුන්ගේ උරහිස මත ගෙනයනු ලැබිය යුතු ය. ඔවුන් කොපමණ නිශ්ඵල ද කියා මෙයින් පෙනෙනු ඇත. මේ දෙවිවරුන් වැටුණොත් වන්දනාකරුවන් ඔවුන් කෙළින් සිටුවිය යුතු ය. මෙසේ කිරීම වන්දනාකරුවන්ට පවා ලජ්ජාවකි. 26 වරක් කෙළින් සිටුවනු ලැබූ පසු ඔවුන්ට ස්වශක්තියෙන් එහා මෙහා යා නොහැකි ය. ඔවුන් පැත්තකට ඇළවුණොත් කෙළින් විය නොහැකි ය. ඔවුන්ට පුද පූජා කිරීම, මියගිය අයට පුද පූජා කිරීම හා සමාන ය. 27 ඔවුන්ට පුදනු ලබන සැම දෙයක් ම පූජකවරු නැවත විකුණා ලාභය ගනිති. එයින් කොටසක් ඔවුන්ගේ භාර්යාවන් ගන්න අතර, දිළිඳුන්ට හා අනාථයන්ට කිසිවක් නොදෙනු ඇත. පූජා පඬුරු ගැන කිවයුත්තක් ඇත. එනම්, ඒවා ස්පර්ශ කිරීමට ස්ත්‍රීහු තමන්ගේ ඔසප් දිනවල දී ද ගැබිණි කාලයේ දී ද බිය නොවෙති. 28 මේ නිදසුන්වලින් පෙනෙන ලෙස ඒවා දෙවිවරු නොවෙති; ඒවාට බිය නොවන්න.
29 රන් රිදීයෙන් සහ ලීයෙන් කරන ලද මේ දෙවිවරුන්ට ස්ත්‍රීන් පූජා ඔප්පු කරන විට ඔවුන්ට දෙවිවරුන් යයි කිව හැකි ද? 30 ඔවුන්ගේ දේවාලවල පූජකවරු ඉරීගිය ඇඳුම් ඇඳගෙන, හිස හා රැවුල බූගාගෙන, හිස නොවසා, වාඩි වී සිටින්නෝ ය. 31 සෙනඟ අවමංගල්‍යවල දී කරන පරිදි ඔව්හු දෙවිවරුන් ඉදිරිපිට බෙරිහන් දෙමින් කෑ ගසති. 32 පූජකවරු තමන්ගේ අඹුදරුවන්ට හඳවන පිණිස දෙවිවරුන්ගේ ඇඳුම් පැළඳුම් ගනිති. 33 මේ දෙවිවරුන්ට හොඳට හො‍් නරකට හො‍් සත්කාර කළත්, රජවරුන් පත් කිරීම හො‍් අස් කිරීම හො‍් කරන්නට බැරිවා සේ ම, 34 ධනය හො‍් මුදල් බෙදා දීම කරන්නට බැරිවා සේ ම ඔවුන්ට ඒ සඳහා ආපසු ගෙවීම් ද කළ නොහැකි ය. ඔවුන්ට භාර වූ දේ නුදුන්නොත් එවැන්නන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කළ නොහැකි ය. 35 ඔවුන් හට මරණයෙන් මිනිසෙකු ගළවන්නට නොහැකි ය; බලවතුන්ගෙන් දුබලයන් මිදීම ද කළ නොහැකි ය; 36 අන්ධයන්ට පෙනීම දීම කළ නොහැකි ය; කරදරයට පත් වූ කෙනෙකු ගළවාගැනීම ද කළ නොහැකි ය; 37 වැන්දඹුවකට දයාව පෑම හො‍් අසරණයෙකුට සරණ වීම හො‍් කළ නොහැකි ය. 38 ලීයෙන් සාදා රන් රිදී ගාන ලද මේ දෙවිවරුන්ගෙන් ගත හැකි ප්‍රයෝජනය කඳු බෑවුමකින් නෙළාගත්, පර්වතවලින් ගත හැකි ප්‍රයෝජනයට සමාන ය. ඔවුන්ට වැඳුම්පිදුම් කරන අයට වන්නේ ලජ්ජාවයි. 39 එබැවින් ඔවුන් දෙවිවරුන් යයි කා හට කිව හැකි ද? කා හට සිතිය හැකි ද?

රූප වන්දනාවේ නිසරු බව

40 කල්දිවරු පවා ඔවුන්ට ගෞරව නොකරති. කතා කළ නොහැකි ගොළුවෙකු ඔවුන්ට ලැබුණොත් ඔව්හු ගොළුවා බෙල් දෙවියා ඉදිරියට පමුණුවා, ඒ දෙවියාට හරිහැටි ඇසෙන්නා සේ සිතා ගෙන ඔව්හු මොහුට කතා ශක්තිය දෙනු පිණිස යාච්ඤා කරති. 41 මේ දෙවිවරුන් අත්හැරිය යුතු ය කියා ඔවුන්ට තීරණයක් ගන්ට නොහැකි ය; ඔවුන්ගේ සාමාන්‍ය දැනීමේ දුර්වලකම එතරම් මහත් ය. 42 ස්ත්‍රීහු ඉන වටේ නූල් බැඳගෙන සුවඳ ද්‍රව්‍ය මෙන් දහයියා දල්වමින් වීථිවල වාඩි වී සිටිති. 43 පාරේ යන මඟියෙක් මොවුන්ගෙන් කෙනෙකු තෝරාගෙන යහනේ සයනය කළොත්, ඇය ඇගේ අසල්වැසියා හට එවැනි තෝරාගැනීමක් නොලැබීම ගැනත්, නූල කඩා දමනු නොලැබීම ගැනත් සමච්චල් කරන්නී ය. 44 මේ දෙවිවරුන් සමීපයේ සිදු වන සෑම දෙයක් ම ව්‍යාජ ය. එබැවින් මොවුන් දෙවිවරුන් යයි කා හට කිව හැකි ද? කා හට සිතිය හැකි ද?
45 ලීවැඩකරුවන් හා රන්කරුවන් විසින් සාදන ලද මේවා ඒ ශිල්පීන් සාදන්නට අදහස් කරන දේවල් පමණ ය. 46 ඒවා සාදන අයට පවා දීර්ඝායු නැත. එසේ නම්, ඔවුන් සාදන දේවල් දෙවිවරුන් වන්නේ කෙසේ ද? 47 ඔවුන්ගේ පෙළපතට ඔවුන් දෙන දායාදය නම්, මායාව සහ රැවටීම පමණ ය. 48 සටන් හො‍් දුක් කරදර හො‍් ඇති වූ විට ඒ දෙවිවරුන් සැඟවිය යුතු හොඳ ම තැන කොතැන ද කියා පූජකවරු සාකච්ඡා කරති. 49 මේ දෙවිවරුන්ට සටනකින් හො‍් කරදරයකින් හො‍් තමන් බේරා ගන්නට නොහැකි නම්, ඔවුන් දෙවිවරුන් නොවන බව තේරුම්ගන්නට බැරි කා හට ද? 50 කෙසේ වෙතත් ඔවුන් ලීයෙන් සාදන ලදුව රන් රිදී ගා ඇති බැවින් මේ සියල්ලෙන් ඔවුන් ව්‍යාජ බව පැහැදිලි ය. ඔවුන් දෙවිවරුන් නොව මිනිස් අතින් කළ නිපැයුම් බවත්, ඔවුන් තුළ දේව ක්‍රියාශීලීභාවයක් නැති බවත් ජාතියට හා රජවරුන්ට මෙන් සියල්ලන්ට පැහැදිලි ය. 51 ඔවුන් දෙවිවරුන් නොවන බව නොපිළිගන්නා කෙනෙක් තවත් ඇද් ද?
52 රටකට රජෙකු පත් කිරීම ඔවුන්ට කළ නොහැකි ය. මිනිස් වර්ගයාට වැස්ස දීම කළ නොහැකි ය. ඔවුන්ගේ කටයුතු පාලනය කිරීම පවා කරගත නොහැකි ය. වරදකට අසු වූ කෙනෙකු ගළවාගැනීම ද කළ නොහැකි ය. 53 ඔව්හු අහසත්, පොළොවත් මැද සිටින අසරණ කපුටන් හා සමාන ය. 54 ලීයෙන් සාදා රන් රිදී ගා තිබෙන මේ දෙවිවරුන් සිටින දේවාලයක ගින්නක් ඇති වුණොත් ඒවායේ පූජකවරු බේරෙන්නට පලා යති. එහෙත්, මේ දෙවිවරුන් ගිනිබත් විම සඳහා බාල්ක මෙන් සිටිනු ඇත. 55 ඔවුන්ට රජෙකුට හො‍් සතුරන්ට හො‍් විරුද්ධ ව යා නොහැකි ය. 56 එබැවින් මොවුන් දෙවිවරුන් යයි කා හට කිව හැකි ද? කා හට සිතිය හැකි ද?
57 ලීයෙන් සාදා රන් රිදී ගා ඇති මේ දෙවිවරුන්ට හොරුන්ගෙන් හො‍් කොල්ලකන අයගෙන් හො‍් බේරීමට නොහැකි ය. මැරවරයන්ට ඔවුන්ගේ රන් රිදී සොයාගෙන ඔවුන්ට අන්දවා ඇති වස්ත්‍ර ද ගෙන පලා යත හැකි ය. එසේ වූ විටක පවා තමුන්ට ම ආධාර කරගැනීමට හැකියාවක් ඔවුන්ට නැත. 58 බලපරාක්‍රමය පෙන්වන රජෙකු වීම, ගෙහිමියාට ප්‍රයෝජනදායක බඳුනක් වීම, මේ බොරු දෙවිවරුන් වීමට වඩා හොඳ ය. ඒත් නැති නම්, ගෙයක් තුළ ඇති දේ ආරක්ෂා කරන දොරක් වීම මේ දෙවිවරුන් වීමට වඩා හොඳ ය. රජමාලිගාවක ලී කුළුණක් වීම ද මේ දෙවිවරුන් වීමට වඩා හොඳ ය. 59 සේවයක් කිරීමට පත් කර ඇති අහසේ බබළන ඉර හඳ තාරකා කීකරු වෙයි. 60 එසේ ම විදුලි කෙටීම ද දැකුම්කලු ය. එසේ ම රට හරහා සුළඟ හමා යයි. 61 මහ පොළොවට ඉහළින් යාමට දෙවියන් වහන්සේ වලාකුළුවලට දෙන ආඥාව ඒවා ඉෂ්ට කරයි. කඳුකරය හා වන රොද ගිනිබත් කිරීම සඳහා ඉහළින් එවන ගින්න ඒ ආඥාව ඉටු කරයි. 62 එහෙත්, මේ දෙවිවරු සුරූපී බවෙන් හො‍් බලයෙන් හො‍් ඒවාට සම නොවෙත්. 63 එබැවින් මේවා දෙවිවරුන් යයි කිසිවෙකුට සිතිය නොහැකි ය; කිව නොහැකි ය. යුක්තිය ඉටු කිරීමට හො‍් ජනතාවට යහපතක් කිරීමට හො‍් ඒවාට බලයක් නැත. 64 එබැවින් ඒවා දෙවිවරුන් නොවන බව දැනගෙන ඒවාට බිය නොවන්න.
65 රජවරුන්ට සාප කිරීම හො‍් ආශීර්වාද කිරීම හො‍් ඒ දෙවිවරුන්ට කළ නොහැකි ය; 66 මිනිස් ජාතිය සඳහා අහස් තලයේ ලකුණු පෑම කළ නොහැකි ය; ඉර මෙන් බබළන්න හො‍් හඳ මෙන් එළිය දෙන්නට හො‍් බැරි ය. 67 සැඟවෙන්නටත්, තමන්ගේ කටයුතු කරගන්නටත් සතුන් හට පුළුවන් බැවින්, සත්තු මේ දෙවිවරුන්ට වඩා අගනේ ය. 68 ඔවුන් දෙවිවරුන් බවට සාක්ෂි මාත්‍රයක් පමණක් වත් නැත. එබැවින් ඔවුන්ට බිය නොවන්න. 69 ලීයෙන් සාදා රන් රිදී ගා ඇති ඒ දෙවිවරුන් වනාහි රකින්නට දෙයක් නැති කැකිරි පාත්තියක සිටුවා ඇති පඹයෙකු හා සමාන ය. 70 තවද, ලීයෙන් සාදා රන් රිදී ගා තිබෙන ඒ දෙවිවරු වත්තක ඇති කටු පඳුරක් හා සමාන ය. ඕනෑම කුරුල්ලෙකුට එය මත වැසිය හැකි ය. ඒත් නැත්නම්, ඒ පඳුර මළකඳක් මෙන් අන්ධකාරයට වීසි කළ හැකි ය. 71 ඒ දෙවිවරුන් මත දිරාපත් වෙන දම් පාට සහ සිහින් හණ වස්ත්‍රවලින් ඔවුන් දෙවිවරුන් නොවන බව පෙනෙනු ඇත. අවසානයේ දී ඒවා ම විනාශයට පත් වූ පසු ඔවුන් රටට අපකීර්තියක් වනු ඇත. 72 එබැවින් දේවතා පිළිම නැති දැහැමි මිනිසා යහපත් ය අපකීර්තිය ඔහු පිට කිසි දිනෙක නොවැටේ.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s