දානියෙල්

– 1 වන පරිච්ඡේදය –

තරුණයන් තිදෙනාගේ ගීය

1 හනනියා, මිෂායෙල් හා අසරියා යන තරුණයන් තිදෙන ගිනි ජාලාව මැද ඇවිදිමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සමිඳාණන් වහන්සේට තුති ගී ගැයූහ. 2 අසරියා ගින්න මැද සිටගෙන මේ පිළිවෙළට යාච්ඤා කෙළේ ය.
3 සමිඳුනි, අප මුතුන්මිත්තන්ගේ දෙවිඳුනි, ඔබට සකල ගෞරවය ද තුති පැසසුම ද අත් වේ වා!
ඔබගේ නාමය සදා මහිමාන්විත වේ වා!
4 ඔබ කළ සියල්ලෙහි ඔබගේ සාධාරණකම පැහැදිලි ය.
ඔබගේ පොරොන්දු නිතර ඔබ විශ්වාසී ව ඉටු කරන සේක.
ඔබගේ මාවත් කිසිදු ඇද නැත, ඔබගේ විනිශ්චයන් නිරතුරු සත්‍ය ය.
5 අප පිට ද අප පියවරුන්ගේ ශුද්ධ නගරය වන ජෙරුසලම පිට ද ඔබ සාධාරණ තීන්දුව දුන් සේක.
මෙලෙස ඔබ අප කෙරෙහි ක්‍රියා කෙළේ අපගේ පව් නිසා ය.
සාධාරණ ලෙස සුදුසු ලෙස ඔබ ක්‍රියා කර ඇත.
6 එසේ ය, අපි පව් කෙළෙමු.
ඔබ අත්හැරීමෙන් අපරාධ කෙළෙමු.
එසේ ය, අපි බරපතල ලෙස පව් කෙළෙමු.
අපි ඔබේ නීතියේ අණපණත්වලට සවන් නුදුන්නෙමු.
7 අපි ඒවා නොපිළිපැද්දෙමු.
අපේ යහපත උදෙසා අපට කරන්නට කී දේ අපි නොකෙළෙමු.
8 එසේ ය, අප පිට පැමිණෙවු දුක් කරදර අපට කරන ලද සියල්ල ඔබ කෙළේ යුක්ති සහගත ව ය.
9 පවිටුන්ගෙන් අන්ත වූ ද දාමරික සෙනඟක් මැද මුළු මිහි පිට ඉතා නපුරු වූ ද අසාධාරණ රජෙක් වූ ද අපේ හතුරන්ගේ බලයට ඔබ අප පාවා දුන් සේක.
10 අද අපි කට ඇරීමට පවා බිය වෙමු.
ඔබට වැඳුම්පිදුම් කරන ඔබ නමදින අයට ලැබෙන්නේ ලජ්ජාව සහ අපකීර්තිය වේ.
11 අහෝ ඔබගේ නාමය උදෙසා අපව සදහට ම අත් නොහළ මැනව.
ඔබගේ ගිවිසුම ප්‍රතික්ෂේප නොකළ මැනව.
12 ඔබගේ මිත්‍රයා වන ආබ්‍රහම් නිසා ද ඔබගේ සේවකයා වන ඊසාක් නිසා ද ඔබගේ ශුද්ධ ජනයා වන ඉශ්රායෙල්වරුන් නිසා ද ඔබගේ කරුණාව අප වෙතින් ඉවත් නොකළ මැනව.
13 අහසේ තාරකා මෙන් ද මුහුදු වෙරළේ වැලි ඇට මෙන් ද ගණන් නොකළ හැකි පෙළපතක් පෙර කී අයට දීමට ඔබ පොරොන්දු වූ සේක.
14 සමිඳුනි, අපගේ පව් නිසා දැන් අපි සියලු ජාතීන් අතර ඉතා අල්ප ජාතිය වී සිටිමු.
ලොව පුරා අපි හෙළා දකිනු ලැබ සිටිමු.
15 මෙකල අපට නායකයෙක් නැත.
දිවැසිවරයෙක් නැත.
රාජකුමාරයෙක් නැත.
දවන යාග පූජාවක් නැත.
පූජා පඬුරක් නැත.
ඔප්පු කිරීමට දෙයක් නැත.
සුවඳ දුම් නැත.
16 නාඹුල් ඵල ඔබට පුදා ඔබේ ප්‍රසාදය දිනාගැනීමට තැනක් නැත.
දවන යාග පූජා සඳහා බැටළුවන් සහ වස්සන් ද
17 තර කළ බැටළුපැටවුන් දහස් ගණන් ද පිළිගන්නාක් මෙන් අපගේ මනස්ස්ථාපනය වූ සහ බැහැපත් හද ඔබ පිළිගන්න සේක් වා!
අද අපේ පුද පූජා එසේ පිළිගනු ලැබේ වා!
ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන අයගේ බලාපොරොත්තු ඉටු නොවී නොයන බැවින් අප මුළු සිත යොදා ඔබ අනුගමනය කිරීම ඔබගේ කැමැත්ත වේ වා!
18 ඔබ පසුපස යෑමට ද ඔබට ගරුබිය පෑමට ද ඔබගේ කරුණාව සෙවීමට ද දැන් අපි අපේ මුළු සිත යොදමු.
19 අපගේ බලාපොරොත්තුව කඩ නොකළ මැනව.
ඔබ කාරුණික සේ ම අපට ද කාරුණික ලෙස සංග්‍රහ කළ මැනව.
බහුල ව දයාව පෙන්නුව මැනව.
20 සමිඳුනි, ඔබගේ අරුමපුදුම ක්‍රියාවලට ඔබින ලෙස අපට විමුක්තිය දුන මැනව.
ඔබගේ නාමය මහිමාන්විත කළ මැනව.
21 ඔබගේ සේවකයන්ට හිංසා කරන අය වියවුල් වෙත් වා!
ඔවුන් ලජ්ජාවෙන් වැසී ගොස් බලයෙන් පහ කරනු ලැබ ඔවුන්ගේ ශක්තිය හීන වේ වා!
22 මුළු පොළෝ තලයට ඉහළින් විරාජමාන ව වැඩ සිටින දෙවි සමිඳුනි, ඔබ පමණක් දෙවිඳුන් හා ස්වාමීන් බව ඔව්හු දැන ගනිත් වා!
23-24 උදුනට මිනිසුන් විසිකළ රාජ සේවකයෝ උදුනෙන් මීටර් විසි පහක් පමණ ඉහළට ගින්න බුර බුරා නඟින තෙක්, ඒ උදුන මොලවමින් ඊට ශුද්ධ නොකරන ලද තෙල් ද, කීල් ද, තඹ ද, කැපූ අතු ද දැමූ හ. 25 ඒ ගිනි ජාලාව ද පිටතට අවුත් උදුන වටේට සිටි කල්දිවරුන් මරා දැමී ය. 26 එහෙත් ස්වාමීන් වහන්සේගේ දූතයා උදුනට බැස අවුත් අසරියා සහ ඔහුගේ මිතුරන් ළඟ සිට ගෙන ඔවුන්ගෙන් පිටතට ගිනිජාලාව හැරෙව්වේ ය. 27 ගින්න මැද සිටි ඔවුන්ට ඔහු පවන් සලමින් සුළඟින් සහ මීදුමෙන් ඇති වන සිසිල් බවක් එහි උදා කෙළේ ය. එබැවින් ඒ ගින්න ඔවුන්ගේ ඇඟට ගෑවුනේ වත් ඔවුන්ට වේදනාවක් සහ කරදරයක් දුන්නේ වත් නැත.

දේව මහිමයේ වර්ණනාව

28 එවිට, ඒ ගිනි උදුන තුළ සිටි තිදෙන දේව මහිමය වර්ණනා කරමින් ද එතුමන් හට ප්‍රශංසා කරමින් ද මේ වචනවලින් ගී ගයන්නට පටන්ගත් හ.
29 සමිඳුනි, අපේ පියවරුන්ගේ දෙවිඳුනි, ඔබ හට පැසසුම් වේ වා!
ඔබ වර්ණනා කරනු ලැබ සදහට ම ඔබ උසස් කරනු ලැබේ වා!
30 ඔබගේ මහිමාන්විත සුවිශුද්ධ නාමයට පැසසුම් වේ වා!
එය වර්ණනා කරනු ලැබ සදහට ම එය උසස් කරනු ලැබේ වා!
31 ඔබගේ තේජස් සම්පන්න දෙව්මැදුර තුළ ඔබ හට පැසසුම් වේ වා!
ඔබ උසස් කරනු ලැබ සියල්ලට ඉහළින් සදහට ම ඔබ මහිමාන්විත කරනු ලැබේ වා!
32 ඔබගේ රාජ්‍යයේ සිහසුන අරා සිටින ඔබ හට පැසසුම් වේ වා!
ඔබ වර්ණනා කරනු ලැබ සියල්ලට ඉහළින් සදහට ම ඔබ උසස් කරනු ලැබේ වා!
33 කෙරුබිම්වරුන්ට ඉහළින් වැඩ සිටින සහ සමුදුර මනින ඔබ හට පැසසුම් වේ වා!
ඔබ වර්ණනා කරනු ලැබ සියල්ලට ඉහළින් සදහට ම ඔබ මහිමාන්විත වේ වා!
34 අහස් කුසයෙහි සිටින ඔබ හට පැසසුම් වේ වා!
ඔබ උසස් කරනු ලැබ සියල්ලට ඉහළින් සදහට මහිමාන්විත වේ වා!
35 සමිඳුන් මැවූ සියල්ලෙනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
36 සමිඳුන්ගේ සුරදූතයෙනි, ඔබ සියලු දෙන සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
37 අහස් තලයෙනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
38 අහසට ඉහළින් ඇති ජලාශයෙනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
39 සමිඳුන්ගේ බලතාවයෙනි, ඔබ සියලු දෙන සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
40 ඉර හඳ, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
41 අහසේ තාරකාවෙනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
42 වර්ෂාවෙනි, පින්නෙනි, ඔබ සියල්ල සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
43 සුළඟෙනි, ඔබ සියල්ල සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
44 ගින්න සහ උෂ්ණය, සමිඳුන් පසසන්න.
සදා මහිමයත් ස්තුතියත් එතුමන් හට පුදන්න.
45 සීතල සහ උෂ්ණය, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
46 පින්න සහ හිම වැස්සෙනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
47 තුෂාරය සහ සීතලය, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
48 මිදි දියකැට සහ හිමකැට, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
49 දිවා සහ රාත්‍රිය, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
50 ආලෝකය සහ අඳුර, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
51 විදුලිය සහ වලාකුළු, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
52 මිහිතලය, සමිඳුන් හට පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
53 කඳු සහ හෙල්, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
54 මිහි පිට වැඩෙන සියල්ලනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
55 ජල උල්පතෙනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
56 මුහුදු සහ ගංගාවෙනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
57 මූදු සතුනි, ජලජ සතුනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
58 අහස් පක්ෂියෙනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
59 වන සතුනි, හීලෑ සතුනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
60 මනුෂ්‍ය පුත්‍රයිනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
61 ඉශ්රායෙල්වරුනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
62 පූජකවරුනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
63 සමිඳුන්ගේ සේවකයිනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
64 අධ්‍යාත්මයෙනි, දැහැමියෙනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
65 බැතිමතුනි, බැහැපත් සිත් ඇත්තෙනි, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
66 හනනියා, අසරියා සහ මිෂායෙල්, සමිඳුන් පසසන්න.
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න.
මන්ද එතුමාණෝ පාතාලයෙන් අප පැහැරගත් සේක.
මරණයෙන් අප මුදාගත් සේක.
ගිනි උදුනෙන් අප ගළවාගත් සේක.
ගිනිදළු මැදින් අප බේරාගත් සේක.
67 සමිඳුන් හට තුති පැසසුම් කරන්න:
මන්ද එතුමාණෝ යහපත් ය, එතුමන්ගේ ප්‍රේමය සදාතන ය.
68 එතුමන් නමදින සියල්ලෙනි, දේවාතිදෙවිඳුන් පසසන්න.
එතුමන් වර්ණනා කර එතුමන්ට තුති පුදන්න.
මන්ද එතුමන්ගේ ප්‍රේමය සදාතන ය.

 

– 2 වන පරිච්ඡේදය –

දානියෙල් සහ සුසන්නා

සුසන්නා දූෂණය කිරීමට විනිසකරුවන්ගේ උත්සාහය

1 බබිලෝනියාවේ ජුවකීම් නමැති මිනිසෙක් ජීවත් විය. 2 ඔහු ඉතා රූමත් කාන්තාවක් වූ හිල්කියාගේ දුව වන සුසන්නා සරණ පාවාගෙන සිටියේ ය. 3 ඇගේ දෙමාපියන් දැහැමි අය වූ බැවින් ද ඔවුන් ඇයට මෝසෙස්ගේ ව්‍යවස්ථාව හොඳින් උගන්වා තිබුණු බැවින් ද, ඈ දෙවියන් වහන්සේට ගරුබිය පාන කාන්තාවක් වුවා ය. 4 ජුවකීම් ඉතා ධනවත් කෙනෙක් වූ බැවින් සිය නිවස යාබද උයනක් ඔහුට තිබිණි. අන් කිසිවෙකුට වඩා ඔහුට සෙනඟ ගරුබුහුමන් කළ බැවින් ජුදෙව්වරු බොහෝ විට ඔහු බැහැදැකීමට පැමිණියහ. 5 ඒ අවුරුද්දේ විනිශ්චයකාරයන් වශයෙන් ක්‍රියා කිරීමට සෙනඟ අතරින් වයසක මිනිසුන් දෙදෙනෙකු තෝරාගෙන තිබිණි. මිනිසුන් හට මඟ පෙන්වන අය මෙන් බොරුවට ඉදිරිපත් වන වයසක අය සහ විනිශ්චයකාරයන් මඟින් බබිලෝනියට දුෂ්ටකම පැමිණියේ යයි සමිඳාණන් වහන්සේ වදාරා ඇත්තේ මොවුන් ගැන ය. 6 ඒ මිනිසුන් දෙදෙනා බොහෝ විට ජුවකීම්ගේ ගෙදර වූහ. නඩු ඉදිරිපත් කිරීමට පැමිණි සියල්ලෝම ඔවුන් වෙත ආහ.
7 මද්දහනේ දී සියලු දෙන ඉවතට ගිය පසු තම සැමියාගේ උයනේ සක්මන් කිරීම සුසන්නාගේ සිරිතක් විය. 8 ඈ සක්මන් කරනු සඳහා දිනපතා එනු දුටු ඒ වයසක මිනිසුන් දෙදෙනා ද ක්‍රමක්‍රමයෙන් ඇයට ආලය කිරීමට පටන් ගත්හ. 9 සිහි නුවණ පසෙක දමා යහ මඟ යාමට ඔව්හු කිසි උත්සාහයක් නොකර සත් ගුණවත් පැවැත්මේ අවශ්‍යතාවයන් අමතක කළහ. 10 දෙදෙනා ම කාමානුරාගයෙන් වෙළී සිටි නමුත් ඔව්හු එකිනෙකාගෙන් තම තමාගේ ආශාව සැඟවූහ. 11 ඇය සමඟ සැතපීමේ ආශාව පිළිගැනීම මහත් ලජ්ජාවට කරුණක් විය. 12 එහෙත්, ඔව්හු දිනපතා ඇය බැලීමට උත්සාහ කළහ. 13 ”දවල් ආහාර ගන්න වේලාව හරි, අපි යන්නට යමු”යි කියා දිනක් ඔවුන් වෙන් වී වෙනස් පාරවල් දෙකකින් ගිය නමුත්, 14 දෙදෙනා ම ආපසු ආවිට නැවත එකිනෙකාට මුණ ගැසුණ හ. මේ හදිය විස්තර කිරීම අවශ්‍ය වූ නිසා දෙදෙනා ම තම තමාගේ කාමාශාව පිළිගත්හ. පිළිගෙන ඇය තනි ව සිටින අවස්ථාවක් බලා සිටීමට එකඟ වූ හ. 15 මෙලෙස ඔව්හු හොඳ ප්‍රස්ථාවක් බලාගෙන සිටියෝ ය. සුසන්නා ද දිනක් සිරිත් පරිදි සේවිකාවන් දෙදෙනෙකු සමඟ ආවා ය. එදින අව් රශ්ණය තද දිනයක් වූ බැවින් උයන තුළ ඇයට ස්නානය කිරීමට වුවමනා විය. 16 සැඟවුනු ස්ථානයක සිට ඈ දෙස ඔත්තුවක් බලා සිටි වයසක දෙදෙනා ඇර වෙන කිසිවෙක් එහි නො වී ය. 17 ඈ ද සේවිකාවන් අමතා, ”මට තෙල් ටිකක් සහ සුවඳාලේපනය ටිකක් ගෙනෙන්න. මා ස්නානය කරන විට උයනේ දොරටුව වසා දමන්නැ”යි කීවා ය. 18 ඇය කී පරිදි ඔව්හු උයනේ දොරටු වසා ඇය කී දේ ගෙනෙන පිණිස නිවසේ පැත්තක පිහිටි දොරින් ආපසු ගෙදරට ගියහ. සැඟවී සිටි වයසක මිනිසුන් දෙදෙනා ගැන ඔව්හු කිසිවක් නොදත්හ.
19 සේවිකාවන් ගිය විගස ම වයසක මිනිසුන් දෙදෙනා ඇය වෙත දිව ආහ. 20 ඔව්හු ඇයට කතා කොට, ”මේ බලන්න, උයනේ දොරටුව වසාදමා ඇත. කාට වත් අපව නොපෙනේ. ඔබ සමඟ සැතපීමට අපි කැමැති ය. ඒ නිසා අපට ඉඩ දෙන්න. 21 ඉඩ නුදුනහොත් තරුණයෙකු ඔබ සමඟ සිටි බවටත් ඔබ සේවිකාවන් ඒ නිසා ම යන්නට හැරිය බවටත්, අපි දෙදෙනා ම සාක්ෂි දෙන්නෙමු”යි කී හ. 22 එවිට සුසන්නා සුසුම් හෙළා කතා කරමින්, ”මා කුමක් කළත් උගුලට අසු වී ඇත. මා ඔවුන්ට එකඟ වුණොත් මට මරණය නියත ය. මා විරුද්ධ වුණොත් මට ඔබගෙන් පලා යන්න බැරි වනු ඇත. 23 එහෙත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරනවාට වැඩියෙන් ඔබගේ බලයට නිදොස් ව අසුවෙන්න කැමැති වෙමි”යි කීවා ය. 24 මෙසේ කියා ඈ පුළුවන් තරම් මහ හඬින් කෑගැසුවා ය. වයසක මිනිසුන් දෙදෙනා ද ඈට දොස් පවරමින් කෑගසන්නට වූ හ. 25 මෙසේ කෑගසා ඔවුන්ගෙන් එක් කෙනෙක් උයනේ දොරටුව ඇර දිව ගියේ ය. 26 ගෙවැසියෝ ද, උයනෙහි කෑගැසීම අසා ඇයට සිදු වන දේ කුමක් ද කියා බලනු පිණිස නිවසේ පැත්තක පිහිටි දොරින් දිව ආහ. 27 වයසක මිනිසුන් දෙදෙනා ඔවුන්ගේ කතාව කී පසු සේවකයෝ ලජ්ජාවට පත් වූ හ. මන්ද, සුසන්නා ගැන මෙවැනි දෙයක් කිසි දාක ඔවුන් නොඇසූ බැවිනි.

සුසන්නාට මරණ දඬුවම තීන්දු කිරීම

28 පසු දින ඇගේ සැමියා වන ජුවකීම්ගේ ගෙදර රැස්වීමක් පවත්වන ලදී. වයසක දෙදෙනා ද ඇය මරණයට පත් කිරීමට තීරණය කොට පළිගැනීමේ චේතනාවෙන් පැමිණියහ. 29 ඔව්හු පිරිස අමතා, ”ජුවකීම්ගේ බිරිඳ වන හිල්කියාගේ දුව සුසන්නා කැඳවන්නැ”යි කී හ. ඇයට එය දන්වන ලදී. 30 ඇය ද ඇගේ දෙමාපියන් ද, ඇගේ දරුවන් ද, නෑදෑ සියල්ලන් ද, කැටුව පැමිණියා ය. 31 සුසන්නා ද බැලීමට ඉතා ශෝභමාන, සුන්දර කාන්තාවක් වූවා ය. 32 වයසක දෙදෙනා ද ඇගේ රුව බලා ප්‍රීතිවීම සඳහා තමාගේ මුහුණ වසාගෙන සිටි සළුව ඉවත් කිරීමට ඇයට නියම කළහ. 33 ඇයගේ ම සෙනඟ ද ඇය දුටු සියලු දෙනා ද වැලපෙන්නට වූ හ. 34 එවිට මේ වැඩිමහල්ලන් දෙදෙනා මුළු සෙනඟ ඔවුන් වටේට සිටගත් පසු නැඟිට ඔවුන්ගේ අත් ඇයගේ හිස මත තැබූ හ. 35 ඈ ද කඳුළු සලමින් දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු ඇති ව ඇගේ නෙත් ස්වර්ගය දෙස යොමු කළා ය. 36 එවිට වැඩිමහල්ලන් දෙදෙනා කතා කොට, ”අපි දෙදෙනා තනි ව උයන ළඟින් ඇවිදින විට මේ ස්ත්‍රී සේවිකාවන් දෙදෙනා සමඟ පැමිණියා ය. ඉන්පසු ඈ උයනේ දොරටුව වසාදමා සේවිකාවන් යන්නට හැරියා ය. 37 ඒ අවස්ථාවේ දී සැඟවී සිටි එක්තරා තරුණයෙක් අවුත්, ඇය සමඟ සැතපුණේ ය. 38 උයනේ කොණක සිටි අපි මේ අපරාධය දුටු විට ඔවුන් වෙත ඉක්මනින් ගියෙමු. 39 ඔවුන් දෙදෙන එකට සිටිනවා දුටු නමුත් අපට ඒ මිනිසා අල්ලන්නට නොහැකි විය. ඔහු අපට වඩා ශක්ති සම්පන්න කෙනෙක් විය. ඔහු දොරටුව ඇරගෙන දුවන්නට විය. 40 එහෙත් අපි ස්ත්‍රිය අල්ලාගෙන ඒ තරුණයා කවරෙක් ද කියා ඇසූ නමුත්, 41 ඈ අපට උත්තර නුදුන්නා ය. මෙය අපේ සාක්ෂිය”යි කී හ.

දානියෙල් සුසන්නා නිදහස් කිරීම

ඔවුන් ප්‍රජා මූලිකයන් සහ විනිශ්චයකාරයන් වූ බැවින් පිරිස ඔවුන් කී දේ විශ්වාස කළහ. සුසන්නා ද මරණයට නියම කරනු ලැබුවා ය. 42 ඈ ද මහහඬින් කෑගසා ”සදාතන දෙවියනි, ඔබ සියලු රහස් ද, යමක් සිදුවීමට පෙර සියල්ල ද දන්නා සේක. 43 ඔවුන් මට විරුද්ධ ව බොරු සාක්ෂි කියා ඇති බව ඔබ දන්නා සේක. මට විරුද්ධ ව ඇති ඔවුන්ගේ වෛරය නිසා මා නිදොස් වුව ද, මට දැන් මරණය නියත ය”යි කීවා ය. 44 සමිඳාණන් වහන්සේ ද, ඇගේ ඉල්ලීමට සවන් දුන් සේක. 45 ඇය මෙසේ මරණයට ගෙනයනු ලබන අවස්ථාවේ දී, මේ ක්‍රියාවට විරුද්ධ ව නැඟී සිටීමට, උන් වහන්සේ දානියෙල් නමැති තරුණ ළමයෙකු ආත්මිකව පෙළඹවූ සේක. 46 මොහු කෑගසමින් ”මේ ස්ත්‍රියගේ මරණය ගැන මට වගකීමක් නැතැ”යි කී ය. 47 එවිට සියලු දෙනා ඔහු වෙත හැරී ඔහුට කතා කොට, ”ඔබ මේ කියන දේවල තේරුම කුමක් දැ”යි විචාළහ. 48 ඔහු ද ඒ මහා පිරිස මැද සිටගෙන ඔවුන්ට පිළිතුරු දෙමින්, ”ඉශ්රායෙල් ජනයෙනි, ඉශ්රායෙල් දියණියක් කියන දේ නොඅසා ඇත්ත සොයාගැනීමට උත්සාහ නොකර ඇය මරණයට තීන්දු කිරීමට තරම් ඔබ මහා මො‍්ඩයෝ ද? 49 ඔබ සියලු දෙනා නඩුව විමසූ ස්ථානයට ආපසු යන්න. මේ මිනිසුන් ඇයට විරුද්ධ ව බොරු සාක්ෂි දී ඇතැ”යි කීවේ ය.
50 එවිට සියල්ලෝ ඉක්මන් කොට ආපසු ගියහ. වැඩිමහල්ලෝ ද, දානියෙල්ට කතා කොට, ”දෙවියන් වහන්සේ ප්‍රජා මූලිකයන්ට දී තිබෙන වරම ඔබටත් දී තිබෙන බැවින්, එන්න, අප සමඟ වාඩිවී ඔබ කියන දේවල තේරුම කුමක් ද කියා කියන්නැ”යි කී හ. 51 එවිට දානියෙල් කතා කොට, ”මේ දෙදෙනාගෙන් මට ප්‍රශ්න කිරීමට වුවමනා බැවින් ඔවුන් දෙදෙනා වෙන් කොට තබන්නැ”යි කී ය. 52 ඔවුන් වෙන් කළ පසු, ඔවුන්ගෙන් කෙනෙකු ඔහු තමා වෙත කැඳවා, ඔහුට කතා කොට, ”ඔබ දුෂ්ටකමෙහි වයසට පත් වී ඇත. දැන් ඔබේ පරණ පාපවලට ඔබ වසඟ වී සිටින්නෙහි ය, 53 නිදොස් වූ ද, දැහැමි වූ ද, අය මරණයට පත් නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ කියා ඇති නමුත්, ඔබ ඔබගේ අසාධාරණ තීන්දුවලින් නිදොස් අය මරණයට පාවා දී වැරදිකරුවන් නිදොස් කරන්නහු ය. 54 ”ඔබ ඇය ඉතා පැහැදිලි ව දුටු බැවින් ඔවුන් සැතපී සිටියේ කුමන ගසක් යට ද කියා මට කියන්නැ”යි කී ය. ඔහු ද පිළිතුරු දෙමින්, ”සියඹලා ගසක් යට ය”යි කී ය. 55 දානියෙල් ද, කතා කොට, ”ඔබ කතා කළා ඇති. ඔබ කී බොරුව ඔබේ ම හිස පිටට ම ඒවි. දෙවියන් වහන්සේගේ දූතයා උන් වහන්සේගෙන් ඔබ ගැන තීන්දුව ලබාගෙන දැන් ඔබ දෙකට පළාදමනු ඇතැ”යි කී ය.
56 ඉන්පසු ඔහු ඒ මිනිසා යන්නට හැර අනිත් වැඩිමහල්ලා තමා ළඟට ගෙන්වා ගෙන, ඔහු අමතා, ”ජුදා දේශයට නොව කානාන් දේශයට ජාතක වූ හැතිකරය, රූපශ්‍රීයෙන් ඔබ මුළා වී ඇත. කාමරාගය ඔබ මංමුලා කර ඇත. 57 ඉශ්රායෙල් දියණියන් කෙරෙහි ඔබ ක්‍රියා කළේ මේ පිළිවෙළට ද? ඔව්හු ද ඔබට විරුද්ධ ව යාමට බිය වූ හ. එහෙත් ඔබගේ දුෂ්ටකමට හිස නොනමන ඉශ්රායෙල් දියණියක්, මෙහි සිටියි. 58 ඔබ ඔවුන් වෙත යන විට ඔවුන් සිටියේ කුමන ගසක් යට ද කියා මට කියන්නැ”යි කී ය. ඔහු ද, පිළිතුරු දෙමින්, ”නුග ගසක් යට ය”යි කී ය. 59 දානියෙල් එවිට කතා කොට, ”ඔබත් කතා කළා ඇති, ඔබ කී බොරුව ඔබේ හිස පිටට ම ඒවි. ඔබ කඩුවකින් දෙපලු කොට ඔබ දෙදෙනා මරාදමන පිණිස දෙවියන් වහන්සේගේ දූතයා බලා සිටින්නේ ය”යි කීවේ ය. 60 එවිට මුළු මහා පිරිස ම තමන් වහන්සේ තුළ විශ්වාසය තබන අයගේ ගැළවුම්කාර වූ දෙවියන් වහන්සේට මහා හඬින් ප්‍රශංසා කළහ. 61 ඉන්පසු ඔව්හු බොරු සාක්ෂි දීම නිසා දානියෙල් විසින් වරදට පත් කරනු ලැබූ වැඩිමහල්ලන් දෙදෙනාට විරුද්ධ ව හැරුණාහ. 62 මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නියම කර තිබෙන පරිදි සෙනඟ මේ මහල්ලන් දෙදෙනා විසින් ඔවුන්ගේ අසල්වැසියාට නියම කිරීමට අදහස් කර තිබුණු තීන්දුව, ඒ දෙදෙනාට නියම කළහ. මෙලෙස සෙනඟ ඒ දෙදෙනා මරණයට පත් කළහ. එහෙත් ඒ දින නිදොස් කාන්තාවකගේ ජීවිතය බේරාගන්නා ලදී. 63 සුසන්නා කිසි ම පිළිකුල් දෙයක් නොකළා ය කියා ඈ තීන්දුව ලැබූ නිසා හිල්කියා සහ ස්වකීය බිරිඳ ද ඇගේ සැමියා සහ නෑදෑයෝ ද, දෙවියන් වහන්සේට ස්තුති කළහ. 64 එදින පටන් දානියෙල්ගේ කීර්තිය සෙනඟ අතර මහත් සේ පැතිරෙන්නට විය.

 

– 3 වන පරිච්ඡේදය –

‍‍දානියෙල්, බෙල් සහ මකරා

දානියෙල් සහ බෙල් දෙවියාගේ පූජකවරු

1 අස්තියාජෙස් නම් රජු මියගිය පසු පර්සියා දේශයේ සයිරස් රාජ පදවියට පත් විය. 2 දානියෙල් ඔහුගේ ඉතා කිට්ටු හිතමිතුරෙක් විය. රජ ද, ස්වකීය අනික් මිතුරන්ට වඩා සැලකිල්ලක් දානියෙල්ට දැක්විය. 3 බබිලෝනියාවේ බෙල් නමැති දෙවි පිළිමයක් විය. දිනපතා ඊට හොඳ පිටි කිලෝග්‍රෑම් තුන් සිය හැටක් ද, බැටළුවන් සතළිස් දෙනෙකු ද මිදියුස පයින්ට් සතළිස් අටක් ද, ඔප්පු කරන ලදී. 4 රජතුමා ද මේ නමස්කාර පිළිවෙතට සහභාගි විය. ඔහු දිනපතා ගොස් ඒ පිළිමයට නමස්කාර කෙළේ ය. එහෙත් දානියෙල් තමාගේ ම දෙවියන් වහන්සේට නමස්කාර කෙළේ ය. 5 රජතුමා දානියෙල් අමතා, ”ඔබ බෙල් පිළිමයට නමස්කාර නොකරන්නේ මන්දැ”යි විචාළේ ය. දානියෙල් ද උත්තර දෙමින්, ”මම මිනිස් අතින් නිමැවූ පිළිමවලට නමස්කාර නොකරමි. අහසත් පොළවත් මවා වදාළ සියලු ජීවමාන මැවිලි කෙරෙහි බලය ඇති ජීවමාන දෙවියන් වහන්සේට නමස්කාර කරමි”යි කී ය. 6 එවිට රජතුමා ඔහුට කතා කොට, ”එසේ නම් බෙල් ජීවමාන දෙවියෙක් කියා ඔබ විශ්වාස නොකරන්නෙහි ද? ඒ දෙවියා දිනපතා කොපමණ කන්නේ ද බොන්නේ ද කියා ඔබට පෙනෙන්නේ නැද්දැ”යි ඇසී ය. 7 දානියෙල් සිනාසී උත්තර දෙමින්, ”රජතුමෙනි, නොරැවටෙන්න. ඒ දෙවියාගේ අභ්‍යන්තරයෙහි ඇත්තේ මැටි ය. පිටත ඇත්තේ ලෝකඩ ය. එබැවින් ඔහු කවදාවත් කිසිවක් කා බී නැතැ”යි කී ය. 8 එවිට රජතෙම කිපී තමාගේ පූජකවරුන් කැඳවා ”මේ ආහාර සියල්ල කන්නේ කවරෙක් ද? එසේ නොකීවොත් ඔබ මරන්නෙමි, බෙල් දෙවියා ඇත්තෙන් ම කෑම කන බව මට ඔප්පු කරන්න. එවිට දානියෙල් ඒ දෙවියාට අපහාස කළ බැවින් මම ඔහු මරන්නෙමි”යි කීවේ ය. 9 දානියෙල් ද රජුට කතා කොට, ”ඔබ කියන පරිදි වේ වා”යි කී ය.
මේ පූජකවරු හැත්තෑ දෙනෙක් වූ හ. ඔවුන්ට භාර්යාවෝ ද, දරුවෝ ද සිටියෝ ය. 10 රජතුමා දානියෙල් කැටුව බෙල්ගේ දේවාලයට ගියේ ය. 11 බෙල්ගේ පූජකවරු රජුට කතා කොට, ”දැන් ඔබ බලාගෙන සිටින විට ම අපි යන්නට යන්නෙමු. එහෙත් රජතුමෙනි, ආහාර පිළියෙළ කොට, මිදියුස සූදානම් කොට ඒවා එහි තැබීම ඔබට ම අපි භාර දෙන්නෙමු. ඉන්පසු ඔබ දොර වසා ඊට ඔබගේ මුද්‍රාව තබන්න. අලුයම ඔබ මෙහි පැමිණෙන විට බෙල් දෙවියා විසින් සියල්ල ම අනුභව නොකර තිබුණහොත් අප මරණයට පත් කළ යුතු ය. එසේ නොවුණොත් අර කේලාම්කාරයා වූ දානියෙල්, මරණයට පත් කළ යුතු ය”යි කීවෝ ය. 12 ඔවුන් මෙසේ කීවේ මේසය යටින් සාදා තිබුණු රහස් දොරටුවකින් ඔවුන් දිනපතා ඇතුළු වී පූජා පඬුරු ගෙන යාමේ පුරුද්ද ගැන ඔවුන් සිතූ නිසා ය. ඔවුන්ගේ බලාපොරොත්තුවක් වූයේ එලෙස කිරීම ය.
13 පූජකවරුන් යන්නට ගිය පසු රජතෙම බෙල් දෙවියාට ආහාර පිළියෙළ කොට තැබී ය. 14 එවිට දානියෙල් ද, තමාගේ සේවකයන්ට කියා අළු ගෙන්වාගෙන ඒ අළු දේවාලයේ බිම සැමතැන ම විසුරුවා හැරියේ ය. රජතුමා හැර වෙන කිසිවෙක් මෙසේ කිරීම දුටුවේ නැත. ඉන්පසු ඔව්හු දොර වසා දොරට රජුගේ මුද්‍රාව තබා ගොඩනැඟිල්ලෙන් පිටත් වී යන්නට ගියහ. 15 එදින රාත්‍රියේ සිරිත් පරිදි පූජකවරු ඔවුන්ගේ අඹුදරුවන් කැටුව පැමිණ, එහි වූ සියල්ල කා බී දැමූ හ.
16 පසු දින අලුයමින් ම රජතුමා අවදි විය. දානියෙල් ද එසේ ම වේලාසනින් නැඟිට්ටේ ය. 17 රජ, දානියෙල් අමතා, ”දානියෙල්, මුද්‍රාවලට අත නොගසා තිබේ දැ”යි ඇසී ය. ”රජතුමෙනි, ඒවාට අත නොගසා ඇතැ”යි ඔහු උත්තර දුන්නේ ය. 18 ඉන්පසු රජතුමා දේවාලයේ දොර හැර මේසය දෙස බැලූ විගස ම මහහඬින් කෑගසා ”බෙල් දෙවියනි, ඔබ ශ්‍රේෂ්ඨ ය, ඔබ තුළ රවටන සුලු ශක්තියක් නැතැ”යි කීවේ ය. 19 එහෙත් දානියෙල් සිනාසුණේ ය. තවද, ඔහු රජතුමා දේවාලය තුළට යාම වළක්වමින් කතා කොට, ”බිම දෙස බලා මේ සටහන් සෝදිසි කරන්නැ”යි කී ය. 20 ”මට මිනිසුන්ගේ ද, ස්ත්‍රීන්ගේ ද, දරුවන්ගේ ද, පා සටහන් පෙනේ”යයි රජ පිළිතුරු දී 21 පූජකවරුන්ගේ අඹුදරුවන් සමඟ ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියම කළේ ය. එවිට ඔව්හු තමන් දේවාලයට ඇතුළු වී මේසය මත වූ දේවල් ගැනීමට පුරුදු වී සිටි රහස් දොරටුව රජුට පෙන්වූ හ. 22 එවිට රජ ඔවුන් මරා දමන ලෙස නියම කළේ ය. තවද, රජතුමා බෙල් දෙවියාගේ පිළිමය දානියෙල්ට බාර දුන් විට ඔහු ඒ පිළිමයත් දේවාලයත් වනසාදැමී ය.

දානියෙල් මකරා මරා දැමීම

23 බබිලෝනියාවේ විශාල මකරෙක් විය. ඌට ද වැඳුම්පිදුම් කරන ලදී. 24 රජතෙම දානියෙල් අමතා, ”මේ මකරා ලෝකඩවලින් නිම කරන ලද එකෙක් කියා නුඹ මට කියන්නට යන්නෙහි ද? බලන්න ඌ පණපිටින් සිටියි. ඌ කයි බොයි, මේ ජීවමාන දෙවියෙකු කියා ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. එබැවින් ඌට නමස්කාර කරන්නැ”යි කීවේ ය. 25 දානියෙල් පිළිතුරු දෙමින්, ”මාගේ දෙවි ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි. එතුමාණෝ පමණක් ජීවමාන දෙවියන් වහන්සේ ය. රජතුමෙනි, ඔබ මට අවසර දෙන්නෙහි නම් කඩුවක් වත් පොල්ලක් වත් පාවිච්චි නොකර මම මේ සර්පයා මරාදමන්නෙමි”යි කී ය. 26 රජතුමා ද කතා කොට, ”ඔබට මම අවසර දෙමි”යි කී විට 27 දානියෙල් කීල් ටිකක් ද, තෙල් සහ ඉසකේ ටිකක් ද රැගෙන ඒවා එකට දමා තම්බා, ඒ සියල්ල ගුලි කොට අඹරා මකරාට කැවී ය. ඒවා ගිලගත් මකරා පැළී මැරුණේ ය. එවිට දානියෙල් කතා කොට, ”ඔබ නමස්කාර කරන දේවල් දෙස බලන්නැ”යි කීවේ ය. 28 මේ ඇසූ බබිලෝනියාවේ වැසියෝ කො‍්පාවිෂ්ට වී රජුට විරුද්ධ ව උපා යොදන්නට පටන් ගත්හ. ඔව්හු කතා කොට, ”රජු ජුදා ජාතිකයෙක් වී ඇත. එතුමා බෙල් දෙවියා විනාශ කරදැමීමටත්, මකරා මරාදැමීමටත්, පූජකයන් නසා දැමීමටත්, ඉඩ දුන්නේ ය”යි කී හ. 29 ඉන්පසු ඔව්හු රජු වෙත ගොස් ඔහුට කතා කොට, ”අපට දානියෙල් බාර දෙන්න. නැත්නම් අපි ඔබ ද ඔබගේ පවුල ද මරාදමන්නෙමු”යි කීවෝ ය. 30 ඔවුන් ඉතා ඇවිටිලි ව මෙය ඉල්ලූ බැවින් දානියෙල් ඔවුන්ගේ අතට පාවා දීමට රජතුමාට සිදුවිය.

සිංහ ගුහාවේ සිටි දානියෙල්

31 ඔව්හු ද, දානියෙල් රැගෙන සිංහ ගුහාවට වීසි කළහ. ඔහු එහි දවස් හයක් නැවතී සිටියේ ය. 32 ඒ ගුහාව තුළ සිංහයන් හත්දෙනෙක් වූහ. මේ සතුන්ට දිනපතා මිනිස් සිරුරු දෙකක් ද, බැටළුවන් දෙදෙනෙක් ද, දෙන ලදහ. එහෙත් මේ කාලය තුළ දී ඒ සතුන් දානියෙල් කා දමන පිණිස උන්ට කිසිවක් නොදෙන ලදී.
33 ඒ කාලයේ දී හබක්කුක් දිවැසිවරයා ජුදා දේශයේ සිටියේ ය. ඔහු ද මස් හොද්දක් සාදා පාන් කැබලි කර කූඩයකට දමා කෙතේ ගොයම් කපන අය ළඟට රැගෙන යන විට 34 සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔහු අමතා, ”ඔබ රැගෙන යන කෑම බබිලෝනියාවට ගෙන ගොස් සිංහ ලෙනේ සිටින දානියෙල්ට දෙන්නැ”යි කීවේ ය. 35 එවිට හබක්කුක් පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්ස මම බබිලෝනියාව කියන දේශය දැකලාවත් නැත. එබැවින් මේ සිංහ ලෙන ගැන කිසිවක් නො දනිමි”යි කීවේ ය. 36 මෙසේ කී පසු සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුගේ හිසින් අල්ලාගෙන කෙස් රොදින් ඔහු ඩැහැගෙන බබිලෝනියාවට ගෙන ගියේ ය. එහිදී මහා වේගයෙන් සිංහ ලෙන අයිනේ හබක්කුක් සිටෙව්වේ ය. 37 එවිට හබක්කුක් කෑගසමින්, ”දානියෙල්, දානියෙල් දෙවියන් වහන්සේ එවූ කෑම අනුභව කරන්නැ”යි කී ය. 38 දානියෙල් ද පිළිතුරු දෙමින්, ”අහෝ දෙවියනි, ඔබ මා සිහිකළ සේක. ඔබට ප්‍රේමකරන්නන් ඔබ අත් නොහළ සේකැ”යි කීවේ ය. 39 ඉන්පසු ඔහු නැඟිට සිට ආහාර අනුභව කෙළේ ය. දෙවියන් වහන්සේගේ දූතයා ද, විගස හබක්කුක් ආපසු සිය දේශයට හැරලී ය.
40 හත් වන දින රජතුමා දානියෙල් ගැන වැලපෙනු පිණිස ආවේ ය. සිංහ ලෙන ළඟට පැමිණ ඔහු ඇතුළත බලන විට දානියෙල් කලබලයක් නැතිව එහි සිටින බව දිටී ය. 41 එවිට රජතුමා කතා කොට, ”සමිඳාණන් වහන්ස, දානියෙල්ගේ දෙවියන් වහන්ස, ඔබ ශ්‍රේෂ්ඨය, ඔබ හැර අන් දෙවි කෙනෙක් නැතැ”යි ශබ්ද නඟා කීවේ ය. 42 ඉන්පසු රජතුමා සිංහ ලෙනෙන් දානියෙල් පිටතට ගෙන ඔහු මැරීමට උපා යෙදූ අය ඊට වීසි කරන ලදහ. රජු බලා සිටියදීම සැණෙකින් ඔව්හු සතුන් විසින් කාදමන ලදහ.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s