– 1 වන පරිච්ඡේදය –
1 නප්තලීගේ ගෝත්‍රයට අයිති, අසියෙල්ගේ පෙළපතින් වූ ගබයෙල්ගේ පුත්‍ර වූ, අදුයෙල්ගේ පුත්‍ර වූ, අනානියෙල්ගේ පුත්‍ර වූ තොබියෙල්ගේ පුත් තෝබිත්ගේ කතාව මෙය වේ. 2 ෂෙපන් නම් නගරයට උතුරින්, තරමක් දුරට බටහිරින් පිහිටි හාසොර් නගරයට උතුරින් වූ උත්තර ගලීලයේ කෙදෙෂ්-නප්තලී නම් නගරයට දකුණින් වූ තිෂ්බි නගරයෙන්, අසිරියාවේ රජ වූ ෂල්මනෙසර්ගේ රජු දවසේ ඔහු පිටුවහල් කරන ලදී.
පිටුවහල් කරනු ලැබූ තෝබිත්
3 තෝබිත් වන මම, මාගේ මුළු ජීවිත කාලයේ දී සත්‍ය වූ මාර්ගයෙහි ද, සත්ගුණවත් සේවාවන්හි ද යෙදී සිටියෙමි. අසිරියාව දේශයේ නිනිවය නම් නගරයට පිටුවහල් කරනු ලැබ සිටි මා වැනි මාගේ සහෝදරයන්ට ද, මාගේ රටවැසියන්ට ද මම බොහෝ සෙයින් දන් දුනිමි. 4 මාගේ යොවුන් වියේ, ඉශ්රායෙල් දේශයේ පිහිටි මාගේ ගෙදර මා සිටිය දී මාගේ ආදි පියෙක් වූ නප්තලීගේ මුළු ගෝත්‍රය ම දාවිත්ගේ වංශයෙන් ද ජෙරුසලම් නගරයෙන් ද වෙන් විය. එහෙත් ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් ඔවුන්ගේ යාග පූජා සඳහා තෝරාගන්නා ලද්දේ මේ නගරය විය. මෙහි දෙවියන් වහන්සේගේ වාසභවනය වන දේව මාලිගාව ගොඩනඟන ලදුව, මතු පරම්පරාවන් සඳහා එය විශුද්ධ කරන ලදී. 5 එහෙත් මාගේ සියලු සහෝදරයෝ ද නප්තලීගේ වංශය ද ගලීලයේ සියලු කඳු මුදුන්වල ද දාන් නම් ස්ථානයේ ඉශ්රායෙල්හි ජෙරබෝවම් රජු විසින් සාදන ලද වස්සාට යාග පූජා ඔප්පු කළෝ ය.
6 මුළු ඉශ්රායෙල් ජනතාවට සදහට ම නියම වූ නීතිය ඉටු කරමින් මම බොහෝ විට හුදකලා ව ජෙරුසලමට වන්දනාවේ ගියෙමි. පලදාවෙන් සහ සතුන්ගෙන් ගත් ප්‍රථම ඵල ද, ගවමහිෂයන්ගෙන් ගත් පඬුරු වන සතුන් සහ බැටළුවන්ගෙන් මුලින් ම කපාගත් ලෝම ද රැගෙන මම ජෙරුසලමට කඩිනමින් ගියෙමි.
7 මම මේ සියල්ල ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන් හට පූජා සඳහා දුනිමි. ජෙරුසලමෙහි සේවා කළ ලෙවීවරුන් හට මම මුද්‍රික පානයෙන් සහ ධාන්‍යයෙන් ද ඔලීව, දෙළුම් සහ අනිත් පලවලින් ද නියමිත පඬුරු කොටස් දුනිමි. අවුරුදු හයක් ම නිසි පිළිවෙළට මම මුදලින් නියමිත දෙ වන පඬුරක් ද රැගෙන ගොස් ජෙරුසලමෙහි දී එය ගෙව්වෙමි.
8 මම තුන් වන පඬුර ඉශ්රායෙල්වරුන් අතර විසූ අනාථයන්ට ද වැන්දඹුවන්ට ද විදේශිකයන්ට ද දුන්නෙමි. තුන් අවුරුද්දකට වරක් මම එය තෑග්ගක් මෙන් ඔවුන් වෙත ගෙනාවෙමි. අප ආහාර අනුභව කරන විට, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නියමයන් ද අපගේ පියා වූ අනානියෙල්ගේ මව වන දෙබොරාගේ උපදේශ ද අපි පිළිපැද්දෙමු. මන්ද, මාගේ පියා මා අනාථයකු කොට මියගොස් තිබිණි.
9 මම තලතුනා වියට පැමිණි පසු අපගේ ඥාතීන් අතරෙන් අන්නා නම් කාන්තාවක සරණ පාවාගතිමි. මම ඇයගෙන් දරුවෙකු ලැබීමි. මම ඔහුට තෝබියස් යයි නම් තැබීමි.
10 අප අසිරියාවට නෙරපා දැමූ විට මා අල්ලාගන්නා ලදුව, නිනිවය නගරයට ගෙනයන ලදී. මාගේ සියලු සහෝදරයන් ද මාගේ කුලගෝත්‍රයේ මිනිසුන් ද විජාතීන්ගේ ආහාර අනුභව කළ නමුත් 11 මම නම් ඒ ආහාර අනුභව නොකෙළෙමි. 12 මම මාගේ මුළු සිතින් ම දෙවියන් වහන්සේ ඇදහූ බැවින්, 13 අති මහෝත්තමයාණන්, ෂල්මනෙසර් රජුගේ ප්‍රසාදයට මා පාත්‍ර කළ බැවින් මම රජතුමාගේ ආහාරපානාදිය සපයන්නා වුණෙමි. 14 රජතුමාගේ මරණය දක්වා මම මේදියා නම් ප්‍රදේශයට යන්න පුරුදු ව සිටියෙමි. එහි ගොස් රජතුමා වෙනුවෙන් වෙළඳ ව්‍යාපාරික කටයුතු කෙළෙමි. තවද, මම මේදියා පෙදෙසෙහි රාගේස් නම් ස්ථානයෙහි විසූ ගබ්රියස්ගේ සහෝදරයා වූ ගබයෙල් ළඟ රිදී කාසි දහයක් වටිනා රිදී ගෝණි තැන්පත් කෙළෙමි.
15 ෂල්මනෙසර් රජුගේ ඇවෑමෙන් පසු ඔහුගේ පුත් සෙනකෙරිබ් තෙමේ රජ විය. ඒ කාලයේ දී මේදියාවට යන මඟ වසා තබන ලදින්, මට ඉන්පසු එහි යාමට නොහැකි විය. 16 ෂල්මනෙසර් රජු දවස, මම බොහෝ විට මාගේ කුල ගෝත්‍රයේ සහෝදරයන්ට දන් දුනිමි. 17 සාගිනි වූවන්ට ආහාර ද නිර්වස්ත්‍ර වූවන්ට වස්ත්‍ර ද දුනිමි. නිනිවය නුවර ප්‍රාකාරවලින් පිටත දමන ලද මාගේ රට වැසියන්ගේ මෘත ශරීර මා දුටු විට, මම ඒවා භූමදාන කෙළෙමි.
18 සෙනකෙරිබ් රජු විසින් මරණ ලද අය ද මම භූමදාන කෙළෙමි. ඒ මන්ද, ස්වර්ගයෙහි රජාණන් වහන්සේ ඔහුගේ දේව දූෂණවලට දඬුවම් දුන් පසු ඔහු ජුදා දේශයෙන් අවුල් වියවුල් වී පසුබසින විට, හෙතෙම කෝපයෙන් ඉශ්රායෙල්වරුන් විශාල ගණනක් මරා දැමී ය. එවිට, මම ඒ මෘත ශරීර වළලනු පිණිස ඒවා සොරා ගත්තෙමි. සෙනකෙරිබ් රජු ද ඒවා සෙවූ නමුත් ඔහුට ඒවා සම්බ නො වී ය. 19 එවිට මා විසින් රහසින් ඒ මෘත ශරීර භූමදාන කරන ලද බව නිනිවය වැසියෙක් ගොස් රජ හට සැළ කෙළේ ය. මා ගැන රජු හට කියන ලද බව මා දැනගෙන මා මැරීමට සොයන මිනිසුන් මා ලුහුබැඳ එන බව දුටු විට, මම බියෙන් පලා ගියෙමි. 20 මාගේ මුළු වස්තුව ම පැහැර ගන්නා ලදී. ඒ සියල්ල භාණ්ඩාගාරය විසින් රාජ සන්තක කරනු ලැබූ විට මට මාගේ බිරිඳ වන අන්නා සහ පුත් වන තෝබියස් හැර අන් කිසිවක් ඉතිරි නො වී ය.
21 මේ සිද්ධියෙන් දවස් හතළිසක් ගත වෙන්ට පෙර රජුගේ පුත්‍රයන් දෙදෙනා විසින් රජ තෙමේ මරණ ලදී. ඉන්පසු ඒ දෙදෙන, අරරත් කඳුකරයට පලා ගියෝ ය. එවිට ඔහුගේ පුත්‍රයා වන එසර්හද්දොන් තෙමේ රජකමට පත් විය. අනයෙල් නමැති මාගේ සහෝදරයාගේ පුත්‍රයා වන අහිකාර් නමැත්තා රාජකීය භාණ්ඩාගාරයේ මහා භාරකරු වශයෙන් පත් කරන ලදී. තවද, ඔහුට ප්‍රධාන වැඩ කටයුතු පිළියෙළ කිරීම ද පවරන ලදී. 22 අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් යටතේ අහිකාර් නමැත්තා ප්‍රධාන කුසලාන දරන්නා වූ බැවින් ද, රාජකීය මුද්‍රාව භාරව සිටි බැවින් ද, කළමනාකාරයා සහ භාණ්ඩාගාරිකයා වූ බැවින් ද, එසර්හද්දොන් ඔහු එම නිලයේ තැබූ බැවින් ද ඔහු මා උදෙසා මැදහත් වූයෙන්, මට නිනිවය නුවරට ආපසු එන්න ඉඩ දෙන ලදී. ඔහු මාගේ බෑනා වූ බැවින් මාගේ නෑයෙක් විය.
– 2 වන පරිච්ඡේදය –
තෝබිත්ගේ ඇස් අන්ධවීම
1 එසර්හද්දොන් රජු දවස මා ආපසු ගෙදර ආ විට මාගේ පුත් තෝබියස් සමඟ මාගේ බිරිඳ වන අන්නා මට නැවත බාර දෙන ලදී. අපගේ පූජනීය සති මංගල්‍යයේ දී අපට රසමසවුලෙන් යුත් ආහාර සංග්‍රහයක් පැවැත්විණි. කෑම ගැනීම සඳහා මම මාගේ ස්ථානයේ වාඩි වුනෙමි. 2 මේසය පිළියෙළ කළ පසු විවිධ කෑම බඳුන් මා වෙත ගෙනෙන ලදී. එවිට මම මාගේ පුත්‍රයා වන තෝබියස්ට කතා කොට, ”මාගේ පුත්‍රය, යන්න, ගොස් නිනිවය විප්‍රවාසගත වූ අපගේ සහෝදරයන් අතරෙන්, දිළිඳු පක්ෂපාත කෙනෙකු සොයාගෙන අප සමඟ ආහාර අනුභව කිරීමට ගෙනෙන්න. මා පුත නුඹ ආපසු එන තෙක් මම බලා සිටින්නෙමි”යි කීවෙමි. 3 එවිට තෝබියස් අපගේ සහෝදරයන් අතර දිළින්දෙකු සොයාගෙන එන පිණිස ගියේ ය. එහෙත් ඔහු ආපසු ඇවිත්, මට කතා කොට, ”පියාණෙනි”යි කී විට මම ද, ”ඇයි පුත, කුමක් දැ”යි උත්තර දුනිමි. ”පියාණෙනි, අපේ ජාතියේ කෙනෙකු මේ දැන් මරාදමා ඇත. ඔහුගේ බෙල්ල මිරිකා වෙළඳ පොළට වීසි කර ඇත. තවමත් මළකඳ එහි ය”යි ඔහු කීවේ ය. 4 මම ද හනික නැඟිට, කෑමට අත පවා නොතබා, වෙළඳ පොළින් ඔහු රැගෙන, වළලනු සඳහා ඉර බසින තෙක් මාගේ කාමරයක ඔහු තැබුවෙමි. 5 ඉන්පසු මම නැවත අවුත් ස්නානය කොට, දුකින් මාගේ ආහාරය ගනිමින්, 6 බෙතෙල් නම් නුවර ගැන දිවැසිවර ආමොස් කී මේ පණිවුඩය සිහි කෙළෙමි. එනම්,
”නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යයන් වනු ඇත;
නුඹලාගේ තුති ගී ළතෝනි වනු ඇත” යන්නයි.
7 මම ද හඬා, ඉර බැස ගිය විට ගොස්, වළක් කැණ ඔහු භූමදාන කෙළෙමි. 8 මාගේ අසල්වාසීහු ද සිනහවෙමින් ”බලන්න, ඔහු දැන් බය නැති හැටි! මීට කලින් ඔහු පලා ගියේ ය. එහෙත් දැන් මෙහි පැමිණ නැවත මළවුන් භූමදාන කරන්න පටන්ගත්තේ ය”යි කීවෝ ය. මෙසේ මළවුන් භූමදාන කිරීම නිසා යමෙකු මා මරා දැම්මොත් ඔහුට තෑග්ගක් ලැබෙන බවට අණක් තිබුණ බව ඔබ සිහි කළ යුතු යි.
9 එදින රාත්‍රියේ මම ස්නානය කෙළෙමි. පසු ව මම ගෙදර මළුවට ගොස් එහි බිත්තියක් ළඟ හාන්සි වුණෙමි. තද රස්නය නිසා මම මුහුණ වසා නොගත්තෙමි. 10 මාගේ හිසට ඉහළින් බිත්තියේ ගේ කුරුල්ලන් සිටි බව මම නොදැන සිටියෙමි. උන්ගේ උණුසුම් බෙටි මගේ දෙනෙතට වැටුණේ ය. එවිට සුදු පැල්ලම් හටගත් බැවින් මට වෛද්‍යවරයන්ගෙන් බෙහෙත් ගැනීමට සිදු විය. එහෙත් ඔවුන් බෙහෙත් ගාන පමණට ඇහේ සුදු පැල්ලම් වඩ වඩා මා අන්ධ කෙළේ ය. අන්තිමේ දී මම සම්පූර්ණයෙන් ම අන්ධයෙක් වුණෙමි. මෙසේ අවුරුදු හතරක් මට ඇස් පෙනීම නැති විය. මගේ සියලු සහෝදරයෝ ද කණගාටු වූ හ. අහිකාර් ද එලිමයිස් නම් නගරයට යන තෙක් අවුරුදු දෙකක් මාගේ නඩත්තුව සැපයී ය.
11 මාගේ බිරිඳ අන්නා එවිට ස්ත්‍රියකට නියම වැඩකරන්න පටන්ගත්තා ය. ඈ ලෝම කටින්නට ද රෙදි වියන්නට ද පටන්ගත්තා ය. 12 ඇයට කිරීමට බාර දුන් සියල්ලක් ම සාදා ආපසු දී ඒවාට මුදල් ගත්තා ය. මෙලෙස මාර්තු මාසයේ හත් වන දින ඈ යම්කිසි වැඩක් කර, එය දුන් අයට ඇය එය බාර දුන්නා ය. ඔව්හු ද ගෙවිය යුතු සියල්ල ගෙවූ පසු කෑමට එළු පැටියෙකු ද තෑග්ගක් වශයෙන් ඇයට දුන්නෝ ය. 13 ඒ එළු පැටියා මාගේ ගෙදරට ආ විට කෑගසන්නට ගත්තේ ය. එවිට මම මාගේ බිරිඳ අමතා, ”මේ සතා ආවේ කොහින් ද? හොඳයි, ඌ හොරකම් කළ එකෙක් නම්! අයිතිකාරයාට ඉක්මනට ආපසු දෙන්න. හොරාගත් බඩු කෑමට අපට අයිතියක් නැතැ”යි කීවෙමි. 14 ඈ ද මට කතා කොට, ”එසේ නොවේ; ඌ මාගේ කුලියට අමතර ව දෙන ලද තෑග්ගකි”යි කීවා ය. මම ඇය විශ්වාස නොකෙළෙමි. අයිතිකාරයන්ට ඌ ආපසු දෙන්න කියා මම ඇයට කීවෙමි. මෙසේ කියන විට ඇය ඉදිරියෙහි මාගේ මුහුණ ලජ්ජාවෙන් රතු විය. ඇය ද පිළිතුරු දෙමින්, ”ඔබේ දාන ධර්ම කොහොම ද? ඔබේ ම යහපත් ක්‍රියා කොහොම ද? ඒවාට ඔබ ලැබූ පලවිපාක සියල්ලෝ ම දනිති”යි කීවා ය.
– 3 වන පරිච්ඡේදය –
1 එවිට මම දුකින් තැවී, හඬමින්, සුසුම්ලමින් මේ ළතෝනි යැදුම කියන්ට ගත්තෙමි.
2 ”අහෝ සමිඳුනි! ඔබ සාධාරණ ය;
ඔබේ සියලු ක්‍රියා සාධාරණ ය.
ඔබේ සියලු මාවත් ප්‍රසාදයත් සත්‍යයත් වනු ඇත.
ලොවැ විනිසකරුවාණෝ ඔබ ය.
3 අහෝ සමිඳුනි!
එබැවින් මා සිහි කරනු මැනව.
මා දෙස බලනු මැනව.
මාගේ පව්වලට හෝ මාගේ අනවධාන වැරදිවලට හෝ මාගේ පියවරුන්ගේ පව්වලට හෝ දඬුවම් නොකළ මැනව.
4 අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
ඔබේ අණපණත් කඩ කෙළෙමු.
එබැවින් කොල්ලකෑමට ද, වහල්කමට හා මරණයට ද අප විසුරුවාදමා තිබෙන සියලු ජාතීන් අතර ඔවුන්ගේ ප්‍රලාපයට ද සිනහවට ද නින්දාවට ද ඔබ අප පාවාදුන් සේක.
5 මාගේ පියවරුන්ගේ ද මාගේ ද වැරදිවල හැටියට මට දඬුවම් කරන විට ඔබේ සියලු නියමයෝ සත්‍යය ය.
මන්ද, අපි ඔබේ ආඥා නොපිළිපැද්දෙමු.
අපි ඔබ ඉදිරියෙහි සත්‍යවාදී ව නොහැසුරුණෙමු.
6 එබැවින් දැන් ඔබ රිසි පරිදි මට කරනු මැනව.
මාගේ පණ මාගෙන් පහ කිරීමට කැමැති වුව මැනව.
පොළොවේ පසින් ගන්නා ලද මා යළි පොළොවේ පසට හැරෙන්නට මම කැමැති වන්නෙමි.
ජීවිතයට වඩා මට මරණය යෙහෙකි.
හේතුවක් නැති ව මම නින්දා කරනු ලැබීමි.
නිම්හිම් නැති ව මම දුකට පත් වී සිටිමි.
සමිඳුනි, මේ කරදරයෙන් මිදීමට ඔබ දෙන තීන්දුව මම බලා සිටිමි.
මාගේ සදාතනික නිවෙසට යාමට මට ඉඩ දෙනු මැනව.
අහෝ සමිඳුනි!
ඔබේ මුහුණ මාගෙන් ඉවත් කර නොගත මැනව.
දයා විරහිත විපත්තීන්ට මුහුණ දෙමින් ජීවත් වෙනවාට වඩා මියයාම යෙහෙකි.
මා ලත් තීන්දුවෙන් මම වෙහෙසට පත් වී සිටිමි.”
සාරාගේ කතාව
7 එම දවසේ ම එක්බතානා නම් ප්‍රදේශයෙහි, මේදියා නම් ස්ථානයෙහි විසූ රගුවෙල්ගේ දියණිය වූ සාරා ද, ඇගේ පියාගේ සේවිකාවක් කළ අපහාසයට සවන් දුන්නා ය. 8-9 ඈ හත් වරක් සරණපාවා දෙන ලද තැනැත්තියක් බව ඔබ දැනගත යුතු ය. එහෙත් ඈ සමඟ සැමියා හා බිරිය වශයෙන් එක්වීමට පෙර, ඒ මනාලයෝ හත් දෙනාම පිළිවෙළින් අස්මොදේයුස් නම් ඉතා නපුරු යක්ෂයකු විසින් මරාදමන ලදහ. ඇගේ මෙහෙකාරිය ඇයට කතා කොට, ”අපූරුයි! ඔබ ම ඔබේ මනාලයන් මරන්නෙහි ය. ඔබ විවාහ කර දෙනු ලැබූ අය හත් දෙනෙකි. එහෙත් තව ම ඔබට වාසනාව උදා නො වී ය. ඔබේ මනාලයන් මියගිය පලියට අපට දඬුවම් නොදෙන්න. ඔබත් ගොස් ඔවුන් සමඟ එකතු වන්න. ඔබට ලැබෙන දරුවෙකු දැකීමට අපට නොලැබේ වා!”යි කීවා ය.
10 එදින ඈ ඉතා දුක් වී, සුසුම් ලා එල්ලී මැරෙන්නට ඉටාගෙන තම පියාගේ කාමරයට ගියා ය. එහෙත් ඈ කල්පනා කරමින්, ”හොඳයි, මිනිසුන් මාගේ පියාට දොස් පවරන්නට පුළුවන. තවද, ඔවුන් කතා කොට, ඔබට හිටියේ ඔබ ප්‍රේම කළ එක ම දියණිය යි. දැන් ඇය ද ඉතා දුකින් එල්ලී මැරුණා ය” කියා කියන්නට පුළුවන. ”මාගේ පියාගේ මහලු වියේ දී ඔහු පාතාල ලෝකයට යැවීමට ඔහුට දුක් දීම මට කළ නොහැක්කකි. එල්ලී මියයාම හොඳ දෙයක් නොවේ. තවදුරටත් අපහාස විඳිමින් ජීවත් නොවී මට මියයාම සලස්වන ලෙස සමිඳාණන් වහන්සේගෙන් අයැදිමි”යි සිතුවා ය. 11 මෙසේ සිතා, කවුළුව ළඟ දෑත් විහිදාගෙන මෙසේ යාච්ඤා කළා ය:
”අහෝ දයාබර දෙවිඳුනි, ඔබට ප්‍රශංසා වේ වා!
ඔබේ නාමය සදා ප්‍රශංසාවට පාත්‍ර වේ වා!
ඔබ සෑදු සියල්ල ම ඔබට සදා ප්‍රශංසා කරා වා!
12 දැන් ඉතින් මා මුව ඔබ වෙත ඔසවමි;
මා දෙනෙත් ඔබ වෙත හරවමි.
13 ඔබ වදන මා මිහි පිටින් මුදන සේක් වා!
තවදුරටත් නින්දා ඇසීම මට කළ නොහැක.
14 අහෝ සමිඳුනි, මා පිරිසුදු ව සිටි බව ඔබ දන්නා සේක.
කිසි ම මිනිසෙක් මා ස්පර්ශ කර නැත.
15 විප්‍රවාසගත ව සිටින මේ දේශයේ ඔබේ නාමයට හෝ මාගේ පියාගේ නාමයට හෝ මම අපහාස නොකෙළෙමි.
මාගේ පියාගේ එක ම දියණිය මම වෙමි.
උරුමකරු වශයෙන් වෙන දරුවෙක් ඔහුට නැත.
මා අයිති වන පිණිස ඔහුට සහෝදරයෙක් ද නැත.
ඔහුට ඥාතියෙක් ද නැත.
දැනට ම සැමියෝ සත් දෙනෙක් මට අහිමි වී ගියෝ ය.
තවදුරටත් මා ජීවත් විය යුත්තේ මන් ද?
මාගේ දිවි නැති වෙනවාට ඔබ අකමැති වන සේක් නම්, මා වෙත දයානුකම්පාවෙන් බලනු මැනව, තවදුරටත් නින්දා ඇසීම නම් මට කළ නොහැකි ය.”
(අන් පැරණි පිටපතක මේ යාච්ඤාව අවසන් වන්නේ මෙලෙස ය:
18 ”මම සැමියෙකු ලබාගැනීමට කැමැති වූයෙම් නම්, එසේ කෙළේ කාම තෘෂ්ණාවෙන් නොව ඔබට ඇති ගරුබියෙනි.
19 එහෙත් ඔවුන්ට මම නුසුසුදු වූයෙමි.
එසේ නැත්නම් ඔව්හු මට නුසුදුසු වූවෝය.
එසේත් නැති නම්, මා සඳහා වෙන සැමියෙකු ගැන ඔබ කල්පනා කළ සේක.
20 ඔබේ අදහස් මිනිසාට තේරුම්ගත නොහැකි ය.
21 එහෙත් ඔවුන් පරීක්ෂාවට භාජන වූවොත්, කිරුළ පළඳින බවත්, දුකට පත් වුවහොත් එයින් මිදීම ලබන බවත්, දඬුවම් ලැබුවොත්, ඔබේ දයාව ලබන පිණිස ඔබ වෙත ඒමට නිදහස් බවත් ඔබට ගෞරව කරන්නෝ දනිති.
22 අපගේ වැටීම ගැන ඔබ සතුටු නොවන සේක.
එහෙත් කුණාටුවට පසු ඔබ නිශ්චලතාව ඇති කරවන සේක.
කඳුලට හා වැලපීමට පසු ඔබ අසීමිත ප්‍රීතිය දෙන සේක.”)
16 එකල්හි දෙදෙනාගේ ම යැදුම් දේව මහිමය අබිමුව ප්‍රසාදයට භාජන විය. මෙසේ ඔවුන් දෙදෙනාට ම පිළියම් කරන පිණිස රපියල් නම් දේව දූතයා යවන ලදී. 17 තෝබිත්ගේ දෙනෙතින් ම දෙවියන් වහන්සේගේ ආලෝකය දකිනු පිණිස, ඔහුගේ ඇස්වලින් සුදු ලප ඉවත් කිරීම රපියල්ට නියම විය. තවද, රගුවෙල්ගේ දියණිය වන සාරාට, තෝබිත්ගේ පුත් තෝබියස් සරණ පාවා දී, ඉතා නපුරු යක්ෂයා වන අස්මොදේයුස් පලවා හැරීම ද ඔහුට නියම විය. මන්ද, ඇය පතා පැමිණි අන් හැම අයට ම වඩා, ඈ අයිතියක් වශයෙන් හිමි වූයේ තෝබියස්ට ය. තෝබිත් මළුවේ සිට ආපසු ගෙදරට පැමිණියේ ය. ඒ මොහොතේ දී ම රගුවෙල්ගේ දියණිය වන සාරා ද උඩුමහලින් බැස ආවා ය.
– 4 වන පරිච්ඡේදය –
තෝබියස්ගේ කතාව
1 එදින තෝබිත්ට ඔහු විසින් මේදියාවේ, රාගේස් නම් ස්ථානයේ ගබයෙල් නම් තැනැත්තා ළඟ තබන ලද රිදී මතක් වී, 2 ”මා මියයාම සඳහා යාච්ඤා කරන වේලාව දැන් පැමිණ තිබේ. මා මැරෙන්න කලින් මාගේ පුත්‍රයා වන තෝබියස් කැඳවා මුදල් ගැන ඔහුට කීම හොඳය”යි සිතී ය. 3 ඔහු ද සිය පුත් තෝබියස් කැඳවා ඔහුට මෙසේ කීවේ ය: ”මා මියගිය පසු ගෞරව සහිත ව මා භූමදාන කරන්න. ඔබේ මවට ගෞරව කරන්න. ඔබේ මුළු ජීවිත කාලයේ ම ඔබ ඇය කවර දිනක වත් අත් නොහරින්න. ඈට වුවමනා සියල්ලක් ම කරමින් ඈට කිසි දුකක් නොදෙන්න. 4 ම පුත, නුඹ ඇගේ කුසයේ සිටිය දී නුඹ උදෙසා ඈ මුහුණ පෑ සියලු අන්තරාවන් සිහි කරන්න. ඈ මියගිය පසු එක ම සොහොන් වළේ මා ළඟ ඇය භූමදාන කරන්න.
5 ”ම පුත, නුඹේ මුළු ජීවිත කාලයේ ම සමිඳාණන් වහන්සේට විශ්වාසවන්ත ව සිටින්න. පව් කිරීමට හෝ උන් වහන්සේගේ ආඥාවන් කඩ කිරීමට හෝ කවදාවත් සිතට නොගන්න. නුඹේ මුළු ජීවිත කාලයේ ම යහපත් ක්‍රියා කරන්න. හරි නැති මාර්ගයෙහි කවදාවත් නොයන්න. 6 සියල්ලෝ හරි දේ කරන්නෝ නම් සාර්ථක වන්නාක් මෙන් නුඹ ද සත්‍යවාදි ලෙස ක්‍රියා කළොත් නුඹේ සියලු කටයුතුවල දී නුඹ සාර්ථක වන්නෙහි ය.
7 ”නුඹේ වත්කමෙන් කොටසක් දන්දීම සඳහා වෙන් කරන්න. කිසි දිළින්දෙකුගෙන් නුඹ මුහුණ අහකට හරවා නොගත යුතු ය. එවිට දෙවියන් වහන්සේ ද නුඹෙන් සිය මුහුණ අහකට හරවා නොගන්නා සේක. 8 නුඹට ඇති දෙයින් දෙන දානය මැනිය යුතු ය. වැඩියෙන් තිබේ නම්, වැඩියෙන් දෙන්න. අඩුවෙන් තිබේ නම් අඩුවෙන් දෙන්න. එහෙත් දන්දීමේ දී මසුරු නොවන්න. 9 මෙසේ කිරීමෙන් අවශ්‍ය දවසේ දී නුඹේ යහපත සඳහා නුඹ මහා නිධානයක් රැස් කරගන්නෙහි ය. 10 දන්දීම මරණින් මුදයි; මිනිසුන් අන්ධකාරයට බැස යාමෙන් ගළවයි. 11 මහෝත්තමයාණන් වහන්සේ ඉදිරියෙහි දාන දෙන සියල්ලන් හට එය ඉතා වැඩදායක පූජාවකි.
12 ”ම පුත, අවිනීත ලෙස හැසිරීමෙන් ඉවත් වන්න. නුඹේ පියාගේ වංශයෙන් බිරිඳක් තෝරාගන්න. අපි දිවැසිවරුන්ගේ පුත්‍රයන් බැවින් නුඹේ පියාගේ ගෝත්‍රයට පිටතින් විදේශික බිරිඳක් සරණ පාවා නොගන්න. මුල පටන් සිටි අපේ ආදි පියවරුන් වන නෝවා, ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් සිහි කරන්න. ඔව්හු සියල්ලෝ ම තමන්ගේ ම වංශවලින් භාර්යාවන් පාවාගත්හ. තමන්ගේ දරුවන් මඟින් ඔව්හු ආශීර්වාද ලත්හ. ඔවුන්ගේ වංශය පොළොව උරුම කරගන්නේ ය. 13 ම පුත, නුඹ ද නුඹේ ම සහෝදරයන් හෙළා දැකීමට කවදාවත් සිතට නොගන්න. අහංකාරය, විනාශය ද බොහෝ කරදර ද උපදවයි. සාගතයේ මව කම්මැලිකම බැවින්, කම්මැලිකම අගහිඟකම ද දිළිඳුකම ද උපදවයි.
14 ”නුඹ උදෙසා වැඩ කරන කම්කරුවන්ගේ කුලිය පසු දින වන තෙක් නො දී තබා නොගන්න. වහාම එය ගෙවන්න. නුඹ දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙහි නම්, හොඳ විපාක ලබනු ඇත. ම පුත, නුඹ කරන සියල්ලෙහි දී පරෙස්සම් වන්න, නිතර ම නුඹ හොඳට විනයානුකූල ව හැසිරෙන්න. 15 අන් කෙනෙකු නුඹට කරනවාට නුඹ අකමැති දේ නුඹ ද අන් කෙනෙකුට නොකරන්න. වෙරිමත් වෙන තෙක් මිදියුස නොබොන්න. එය පුරුද්දක් වන්ට ඉඩ නොදෙන්න.
16 ”සාගිනි අයට නුඹේ කෑම ද නිර්වස්ත්‍ර අයට නුඹේ වස්ත්‍ර ද දෙන්න. නුඹට බොහෝ සේ තිබෙන දෙයින් යම්කිසි ප්‍රමාණයක් දන් දීමට වෙන් කරන්න. 17 නුඹ දන් දෙන විට, මසුරුකමින් එය නොකරන්න. දැහැමියන්ගේ සොහොන් කොත් මත මිදියුස වත්කර ආහාර පූජා කරන්න. එහෙත් පව්කාරයන්ට එලෙස නොකරන්න.
18 ”සෑම නැණවතෙකුගෙන් අවවාද ගන්න. වැඩදායක අවවාදය කවදාවත් හෙළා නොදකින්න. 19 සියල්ලෙහි දී දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. නුඹ යන මාර්ගය පෙන්වා දෙනු සඳහා නුඹේ මාර්ග සහ පරමාර්ථයන් සාර්ථක වන පිණිස ද එතුමන්ට යාච්ඤා කරන්න. මන්ද, ප්‍රඥාව සියලු ජාතීන්ට නොදෙනු ඇත. යහපත් සියල්ල දෙන්නේ සමිඳාණන් වහන්සේ ම ය. උන් වහන්සේගේ කැමැත්ත අනුව, උන් වහන්සේ යමෙකු උසස් කරන සේක; නැත්නම් මළවුන්ගේ භවනයේ පතුලට යමෙකු හෙළාදමන සේක. එබැවින්, ම පුත, මේ නියමයන් සිහි කොට, නුඹේ සිතින් ඒවා මැකීයාමට ඉඩ නොදෙන්න.
20 ” දැන් ඉතින්, ම පුත, මේදියාවේ රාගෙස් නම් ස්ථානයේ ගබ්රියස්ගේ පුත් වන ගබයෙල් ළඟ මා රිදී කාසි දහයක් තැබූ බව නුඹට දැන්විය යුතු ය. 21 ම පුත, අප දිළිඳු වන නමුත් බිය නොවන්න. 22 නුඹ දෙවියන් වහන්සේට ගරුබිය පාන්නෙහි නම්, කුමන පාපයකින් වේවා වැළකී සිටින්නෙහි නම්, නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රසන්න දේ කරන්නෙහි නම් නුඹට විශාල සම්පතක් ලැබේ.”
– 5 වන පරිච්ඡේදය –
තෝබියස්ට සහය වූ මගියා
1 එවිට තෝබියස් තම පියා වූ තෝබිත්ට පිළිතුරු දෙමින්, ”පියාණෙනි, ඔබ මට කී සියල්ල මම ඉටු කරමි. 2 එහෙත් ඔහුගෙන් මා මුදල් ආපසු ගන්නේ කෙසේ ද? ඔහු මා දන්නේ නැත. මම ද ඔහු නොදනිමි. ඔහු මා විශ්වාස කොට මට රිදී මුදල් දෙන පිණිස මම ඔහුට කුමන හැඳින්වීමේ ලකුණක් දෙන්නෙම් ද? ඇරත් මේදියාවට යන මේ ගමනට කුමන පාරවල් ගන්න උවමනා ද කියා මම නොදනිමි”යි කීවේ ය. 3 එවිට තෝබිත් සිය පුත්‍රයා වූ තෝබියස්ට පිළිතුරු දෙමින්, ”අපි දෙදෙනා ම එක පොරොන්දු නෝට්ටුවකට අත්සන් තැබුවෙමු. අපි දෙදෙනා ම වෙන වෙන ම එයින් බාගයක් තබා ගැනීමට මා ඒ නෝට්ටුව දෙකට ඉරූ පසු එක කොටසක් මම ගත්තෙමි. අනික් කොටස රිදී සමඟ තැබුවෙමි. ඔහුගේ ආරක්ෂාවට මේ රිදී තබා අවුරුදු විස්සක් ගෙවී ගියා යයි සිතන එකත් මට පුදුමයි! දැන් ඉතින්, ම පුත, නුඹ සමඟ යන පිණිස විශ්වාසවන්ත කෙනෙකු සොයාගන්න. නුඹ ආපසු එන තෙක් ඔහු වැය කළ කාලයට අපි මුදල් ගෙවන්නෙමු. දැන් ඉතින් ගොස් මුදල් ගබයෙල්ගෙන් එකතු කරගන්නැ”යි කී ය.
4 තමා සමඟ මේදියාවට යන්නට පාර දන්නා මිනිසෙකු සෙවීමට තෝබියස් පිටත් ව ගියේ ය. එවිට පිටත දී රපියල් දේව දූතයා තමාට මූණ ලා සිටින බව ඔහුට දකින්ට ලැබිණි. එහෙත් ඒ තැනැත්තා දෙවියන් වහන්සේගේ දූතයකු බව ඔහුට හැඟුණේ නැත. 5 ඔහු ද, ”මිතුර, ඔබ කොහෙන් එන්නෙහි දැ”යි ඇසූ විට දේව දූතයා උත්තර දෙමින්, ”මම ඔබේ ඉශ්රායෙල් ජාතික සහෝදරයන්ගෙන් කෙනෙක්මි. මා මේ පළාතට පැමිණියේ රක්ෂාවක් සොයාගෙන ය”යි කීවේ ය. එවිට තෝබියස්, ”ඔබ මේදියාවට යන පාර දන්නෙහි දැ”යි ඇසූ විට, 6 ඔහු ද, පිළිතුරු දෙමින්, ”ඇත්තෙන් ම, මම දනිමි. මා බොහෝ වර එහි ගොස් ඇත. මම එහි පාරවල් සියල්ල ම කටපාඩමින් දනිමි. මම බොහෝ විට මේදියාවට ගොස් එහි රාගේස් නම් ස්ථානයේ වසන අපේ ඥාතියෙකු වන ගබයෙල් සමඟ නැවතී ඇත්තෙමි. එක්බතානාවේ සිට රාගේස්ට යෑමට සාමාන්‍යයෙන් සම්පූර්ණ දින දෙකක් ගත වේ; රාගේස් පිහිටා ඇත්තේ කඳුකරයේ ය. එක්බතානා තැනිතලාව මධ්‍යයේ ය”යි කීවේ ය. 7 තෝබියස් ද කතා කොට, ”මිතුර, මා එන තුරු සිටින්න. මම ගොස් මාගේ පියාට දන්වන්නෙමි. ඔබ මා සමඟ යන පිණිස ඔබ මට අවශ්‍ය වේ. ඔබ ගන්න කාල වේලාවට මම මුදල් ගෙවමි”යි කීය. 8 එවිට අනික් තැනැත්තා උත්තර දෙමින්, ”හොඳයි, මම බලා සිටින්නෙමි. එහෙත් වැඩියෙන් ප්‍රමාද නොවන්නැ”යි කීවේ ය.
9 තෝබියස් ගෙට ඇතුල් වී ඉශ්රායෙල් ජාතික සහෝදරයකු සම්බ වූ බව තම පියාට දැන්වී ය. පියා ද කතා කොට, ”ඔහු ගෙන එන්න. ඔහුගේ පවුල සහ ගෝත්‍රය ගැන කරුණු සොයාගැන්ම මට ඕනෑ ය. ම පුත, ඔහු විශ්වාසදායි සහකාරයකු වෙන්ට යන්නේ ද කියා දැනගැන්ම මට අවශ්‍යය”යි කී ය. එවිට තෝබියස් පිටත ගොස් ඔහු කැඳවමින් ”මිතුර, මාගේ පියාට ඔබ හමුවෙන්න වුවමනා ය”යි කීවේ ය.
10 දේව දූතයා ගේ තුළට පැමිණියේ ය. තෝබිත් ඔහුට ආචාර කළ විට ඔහු ද සුව පතමින් පිළිතුරු දුන්නේ ය. එවිට තෝබිත් කතා කොට, ”මට නැවත ප්‍රීති වීමට පුළුවන් ද? මම අන්ධ මිනිසෙකි. මට අහසේ ආලෝකය තවත් නොපෙනේ, ආලෝකය නො දකින මියගිය අය මෙන් මම අඳුරෙහි ගිලී සිටිමි. මම පණපිටින් වළලනු ලැබූ මිනිසෙකි. මිනිසුන් කතා කරනු මට ඇසේ. එහෙත් ඔවුන් දැකීමට නුපුළුවනැ”යි කීවේ ය. දේව දූතයා කතා කොට, ”සැනසිල්ලෙන් සිටින්න, නොබෝ කලකින් දෙවියන් වහන්සේ ඔබ සුව කරනු ඇතැ”යි කී ය. තෝබිත් කතා කොට, ”මාගේ පුත් තෝබියස්ට මේදියාවට යන්ට වුවමනා වී තිබේ. ඔහුට මඟ පෙන්වන්නා මෙන් ඔබ ඔහු සමඟ යන්ට කැමැති ද? සොහොයුර, මම ඔබට මුදල් ගෙවන්නෙමි”යි කීවේ ය. දේව දූතයා පිළිතුරු දෙමින්, ”ඔහු සමඟ යන්නට මම කැමැත්තෙමි. මම පාරවල් සියල්ල දනිමි. මා නිතර මේදියාවට ගොස් තිබේ. මා එහි ඇති කඳු තැනිතලා සියල්ල ඔස්සේ ගමන් කර ඇත. පාරවල් සියල්ල ම මම දනිමි”යි කීවේ ය. 11 තෝබිත් කතා කොට, ”සොහොයුර, ඔබ අයිති කුමන ගෝත්‍රයට ද? සොහොයුර, මට එය කියන්නැ”යි පැවසී ය. 12 ”මා අයිති ගෝත්‍රය දැනගැනීමෙන් ඔබට කුමන ප්‍රයෝජනයක් දැ”යි දේව දූතයා ඇසී ය. එවිට තෝබිත්, ”ඔබ කාගේ කවුද කියා ඇත්තෙන් ම දැනගැනීම මට උවමනා ය”යි කීවේ ය. 13 දේව දූතයා පිළිතුරු දෙමින්, ”මම වනාහි ඔබේ ඥාතියකු වූ අර වැදගත් අනනියස්ගේ පුත් වන අසරියස් වෙමි”යි කීවේ ය. 14 ”සොහොයුර, සැරද! ආයුබෝවන්! ඔබේ පවුලේ නම දැනගන්නට ආශාව දැක්වීම ගැන මා සමඟ කෝප නොවන්න. ඔබ උතුම් වංශවත් පෙළපතකට නෑකම් කියන, මාගේ ම ඥාතියකු බව මට පෙනේ. අර ශ්‍රේෂ්ඨ ෂෙමායාගේ පුත්‍රයන් දෙදෙනා වන අනනියස් සහ ජාතන් මම දනිමි. ඔවුන් මා සමඟ ජෙරුසලමට ගොස් ඇත. අපි එහි දී එකට නමස්කාර කෙළෙමු. ඔව්හු කවදාවත් යහ මඟින් ඉවත් ව නො ගියහ. ඔබේ සහෝදරයෝ සම්භාවනීය අය වෙත්. ඔබ එන්නේ වංශවත් පෙළපතකිනි. ඔබට සැප වේ වා!”යි තෝබිත් කී ය.
15 තවදුරටත් ඔහු කතා කරමින්, ”මාගේ පුතාට මෙන් ඔබට ද වියදම් වශයෙන් දිනපතා වේතනයක් ගෙවන්න පොරොන්දු වෙමි. 16 එවිට මම පොරොන්දු වූ කුලියටත් වඩා දෙන්නෙමි”යි කී ය. දේව දූතයා ද කතා කොට, ”මම ඔහු සමඟ ගමන ගොස් හමාර කරමි. බිය නොවන්න. අප යන විට සියල්ල හොඳ අතට හැරෙනු ඇත. ආපසු එන විට ද සියල්ල හොඳ අතට හැරෙනු ඇත. මාර්ගය ආරක්ෂා සහිතය”යි කී විට, ”සොහොයුර, ඔබට ආශීර්වාද වේ වා!”යි තෝබිත් පැවසී ය. 17 එවිට ඔහු තම පුත්‍රයා වෙතට හැරී, ”ම පුත, ගමනට අවශ්‍ය දේ සූදානම් කරගෙන ඔබේ සහෝදරයා සමඟ යන්න. ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේ පිටත දී ඔබ ආරක්ෂා කොට, ඔබ දෙදෙනා ම නැවත මා වෙත යෙහෙන් සුවෙන් ගෙන එන සේක් වා! ම පුත, උන් වහන්සේගේ දේව දූතයා ඔබ සමඟ ගොස් ඔබ ආරක්ෂා කෙරේ වා!”යි කී ය.
තෝබියස් ද ගෙදරින් යන්නට පිටත් වී, සිය මව හා පියා සිඹගත්තේ ය. තෝබිත් ද කතා කොට, ”සුබ ගමනක් වේ වා!”යි කී ය. 18 එවිට ඔහුගේ මව හඬන්නට පටන්ගෙන තෝබිත්ට කතා කොට, ”ඔබ මාගේ පුත්‍රයා යන්ට හැරිය යුත්තේ මන් ද? ඔහු අපේ පණිවුඩ එහා මෙහා රැගෙන යන බැවින්, ඔහු අපේ අතට තිබෙන සැරයටිය මෙන් නොවේ ද? 19 ඇත්තෙන් ම වැදගැම්මකට ඇති දේ මුදල් පමණක් ද? ඇත්තට ම මුදල් අපේ දරුවා මෙන් වටිනා දෙයක් ද? 20 දෙවියන් වහන්සේ දැනට අපට දී ඇති ජීවන මාර්ගය යහපත් ය”යි කීවා ය. 21 එවිට ඔහු කතා කොට, ”එසේ නොසිතන්න, අපේ දරුවා යන විටත් එන විටත් සියල්ල හොඳ අතට හැරෙනු ඇත. ඔහු නැවත ගෙදර එන දවසේ දී ඔහුට සියල්ල හොඳ අතට හැරී තිබෙන හැටි ඔබට පෙනෙනු ඇත. එබැවින් කලින් සිතූ පරිදි නොසිතන්න. මාගේ සොහොයුරිය, ඔවුන් ගැන කරදර නොවන්න. 22 ඔහු සමඟ යහපත් දේව දූතයෙක් යන්නේ ය. ඔහුට සුබ ගමනක් අත් වේ. ඔහු ආපසු අප වෙත යෙහෙන් සුවෙන් එනු ඇතැ”යි පිළිතුරු දුනි. එසේ කී පසු ඈ හැඬීම නැවැත්වූවා ය.
– 6 වන පරිච්ඡේදය –
මත්ස්‍යයා
1 තෝබියස් දේව දූතයා සමඟ නික්මුණි. බල්ලා ද ඔවුන් පසුපස ගමන් කෙළේ ය. ඔව්හු මෙසේ ගමන් කොට, පළමු වන දින සවස් වූ කල ටයිග්‍රීස් ගං තෙර නවාතැන් ගත්හ. 2 තෝබියස් තමාගේ පාද සෝදාගැනීමට ගඟට බැස්ස විට වතුරින් විශාල මත්ස්‍යයෙක් උඩට පැන ඔහුගේ පාදය ගිලදමන්ට ආයේ ය. 3 ඔහු කෑගැසූ විට 4 දේව දූතයා කතා කොට, ”මත්ස්‍යයාට යන්ට ඉඩ නො දී ඌ අල්ලාගන්නැ”යි කී ය. ඔහු ද වැරෙන් ඌ අල්ලාගෙන ගං තෙරට ඇද්දේ ය. 5 ඉන්පසු දේව දූතයා, ”ඌ කපා පිත, හදවත සහ අක්මාව එළියට ගන්න. ඒවා පරිස්සමෙන් පැත්තක තබා බඩවැල් වීසි කරන්න. මන්ද, පිත, හදවත සහ අක්මාව යන කොටස්වල රෝග නිවාරණය කිරීමේ ගුණ ඇත්තේ ය”යි කී ය. 6 ඔහු මත්ස්‍යයා කපා විවෘත කොට, පිත, හදවත සහ අක්මාව යන කොටස් පිටතට ගත්තේ ය. ඉන්පසු ඔහු මත්ස්‍යයාගෙන් කොටසක් කෑමට බැද, තව කොටසක් ලුණු දැමීමට වෙන් කෙළේ ය. ඉන්පසු ඔව්හු නැවත මේදියාවට යන තෙක් ඇවිදගෙන ගියෝ ය.
7 එවිට තෝබියස් දේව දූතයාට කතා කොට, ”සහෝදර අසරියස්, මත්ස්‍යයාගේ හදවත, අක්මාව සහ පිත යන කොටස්වලින් කුමන ලෙඩක් සුව කරන්නට පුළුවන් දැ”යි ඇසී ය. 8 දේව දූතයා උත්තර දෙමින්, ”මත්ස්‍යයාගේ හදවත සහ අක්මාව පිළිස්සූ විට, ඉන් පිටවන දුම, යක්ෂයෙක් නැත්නම් භූතාත්මයක් ආවේශ වූ පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ සඳහා පාවිච්චි කළ හැකි ය. එවිට එවැනි පීඩාවක් නිට්ටාවට ම, සදහට ම, තුරන් වෙනු ඇත. 9 තවද, යමෙකුගේ ඇස්වල සුද තිබේ නම්, නේත්‍රාලේපයක් මෙන් පිත පාවිච්චි කළ හැකි ය. එසේ පාවිච්චි කොට, ඇස්වල සුද සුව කිරීමට කළ යුත්තේ ඒවාට පිඹීම පමණකැ”යි කීවේ ය.
10 ඔවුන් මේදියාවට ඇතුළු වී, එක්බතානා නම් ප්‍රදේශයට ආසන්න වන විට 11 රපියල් දේව දූතයා තෝබියස් අමතා, ”සොහොයුරු තෝබියස්” කී විට, ඔහු ද, ”ඇයි?” කියා උත්තර දුන්නේ ය. දේව දූතයා ද කතා කරමින්, ”ඔබේ ඥාතියකු වන රගුවෙල් සමඟ අද රාත්‍රියේ අපි නවතින්නෙමු. ඔහුට සාරා නමැති දුවක් සිටියි. ඇය හැර ඔහුට පුතෙක් හෝ දුවක් හෝ නැත. 12 ඔබ ඇගේ කිට්ටු නෑයා බැවින් ඇය අන් සියල්ලන්ට කලින් ඔබට අයිති ය. ඇගේ පියාගේ උරුමයට ඔබට අයිතියක් ඇත. ඇය කල්පනාකාරී, නිර්භීත, රූපසම්පන්න ගැහැණු ළමයෙකි. ඇගේ පියා ද ඇයට බොහෝ සේ ප්‍රේම කරයි. 13 ඇය සරණ පාවා ගැනීමට ඔබට අයිතියක් ඇත. සොහොයුර, ඇහුම්කන් දෙන්න. අද සවසට ඇය ගැන ඇගේ පියාට කතා කොට, ඔබට විවාහ ගිවිසුම් බස් දීම ගැන ඇය සූදානම් කරමි. රාගේස්වලින් ආපසු පැමිණි විට විවාහ මංගල්‍යය සිදු කළ හැකි ය. ඔබට ඇය පාවා දීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ඇය ගැන වෙන කෙනෙකුට විවාහ ගිවිසුම් දීමට හෝ රගුවෙල්ට අයිතියක් නැති බව මම සහතික කොට කියමි. නෑකම නිසා ඇය ඔබට සරණ පාවා දීමේ පරම අයිතිය ඔහු දැනගත් පසු ව පවා ඔහු එසේ නුදුන්නොත්, මෝසෙස්ගේ ග්‍රන්ථයේ සඳහන් පරිදි ඔහු මරාදැමීමට නියම වේ. එබැවින් සොහොයුර, ඇහුම්කන් දෙන්න. අද සවස ම අපි ගැහැණු ළමයා ගැන කතා කොට, ඇය සරණ පාවා ගැනීමට අවසර ඉල්ලමු. අපි රාගේස්වලින් ආපසු පැමිණි විට, ඇය ලබාගෙන අප සමඟ ගෙදර කැඳවාගෙන යමු”යි කී ය.
14 එවිට තෝබියස් රපියල්ට උත්තර දෙමින්, ”අසරියස් සොහොයුර, ඇය හත් වරක් විවාහ කොට දුන් බවත් ඒ සැම වාරයකදී ම මංගල කුටියෙහි දී ඒ මනාලයන් මියගිය බවත් මට දැනගන්නට ලැබී තිබේ. මනාලයා, ඇගේ කාමරයට ඇතුළු වූ එම රාත්‍රියේ ම මිය ගොස් ඇත. තවද, යක්ෂයකු ඔවුන් මරාදැමූ බව ද මිනිසුන් කියනු මා අසා ඇත. 15 මෙවැන්නක් නිසා මට යම් බියක් ඇත. යක්ෂයා ඇයට ප්‍රේම කරන බැවින් ඇයට අනතුරක් නොකරයි. එහෙත් මිනිසෙකු ඇය වෙත ළඟාවීමට උත්සාහ කළොත් යක්ෂයා ඔහු මරාදමයි. මම මාගේ පියාගේ එක ම පුත්‍රයා ය. මට මැරෙන්නට ආශාවක් නැත. මාගේ පියා සහ මව මියයන්ට සලසන දුකක් ඔවුන්ට දීමට මම ඉතා බිය වෙමි. ඔවුන් භූමදාන කිරීමට වෙන පුත්‍රයෙක් ද නැතැ”යි කී ය. 16 දේව දූතයා කතා කොට, ”ඔබේ පියාගේ අවවාදය ඔබ අමතක කරන්නට යන්නෙහි ද? ඔබේ පියාගේ පවුලේ අයගෙන් බිරිඳක් තෝරාගැනීමට ඔහු ඔබට බල කෙළේ ය. එබැවින් සොහොයුර, සවන් දෙන්න. යක්ෂයා ගැන කරදර නොවන්න. ඇය සරණ පාවාගන්න. අද සවස ම ඇය ඔබට බිරිඳ වශයෙන් දෙනු ලබන බවට මම පොරොන්දු වෙමි. 17 ඔබ මංගල කුටියට ගිය පසු, මත්ස්‍යයාගේ හදවත සහ අක්මාව ගෙන ඒවායින් ටිකක්, දැවෙන සුවඳ දුම් මත තබන්න. එවිට දුමාරය නඟින විට, යක්ෂයාට එහි සුවඳ දැනී ඌ පලා යනු ඇත. 18 ඉන්පසු කවදාවත් ගැහැණු ළමයා සමීපයේ අනතුරක් නොවන්නේ ය. තවද, ඔබ දෙදෙන එකට සයනය කිරීමට පෙර, නැඟිට යාච්ඤා කරන්න. ඔබට උන් වහන්සේගේ වරප්‍රසාදයත්, ආරක්ෂාවත් ලැබෙන පිණිස ස්වර්ගයේ සමිදාණන් වහන්සේගෙන් ඉල්ලන්න. බිය නොවන්න. මුල පටන් ම ඇය නියම වූයේ ඔබට ය. ඇය ගළවන්නේ ද ඔබ ම ය. ඇය ඔබ අනුව එන්නී ය. ඔබට සහෝදරයන් මෙන් වන දරුවන් ඈ ඔබට දෙන බවට මම දිවුරා සහතික කරමි. සැක නොකරන්නැ”යි කී ය. රපියල් මෙසේ කියනු තෝබියස් දැක තම පියාගේ පවුලේ ඥාතියෙකු වන සාරා තමාගේ සහෝදරී බව ඔහු තේරුම්ගත් විට, ඔහු ඇයට කෙතරම් ගැඹුරු ලෙස ප්‍රේම කෙළේ ද යත් තමාගේ හදවත තමාගේ ය යි කියන්නට ඔහුට නො හැකි විය.
– 7 වන පරිච්ඡේදය –
රගුවෙල්
1 ඔවුන් එක්බතානා නම් නගරයට ඇතුළු වන විට ම, තෝබියස් කතා කොට, ”සොහොයුරු අසරියස්, මා ඉක්මනින් අපේ සහෝදර රගුවෙල් වෙත ගෙන යන්නැ”යි කී ය. දේව දූතයා රගුවෙල්ගේ ගෙදරට යෑමට ඔහුට පාර පෙන්වී ය. රගුවෙල් මළුවේ දොර ළඟ වාඩි වී සිටියේ ය. ඔව්හු ඔහුට පළමුවෙන් ආචාර කළ විට, ඔහු පිළිතුරු දෙමින්, ”සොහොයුරනි, සැරදේ! ආයුබෝවන්!” කියා සිය ගෙදරට ඔවුන් කැඳවාගෙන ආවේ ය. 2 රගුවෙල් සිය බිරිඳ වන එඩිනා අමතා, ”මේ තරුණයා මාගේ සහෝදර තෝබිත්ට කොපමණ සමාන දැ යි” කී ය. 3 එඩිනා ද ”කොහෙන් පැමිණියේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ විට, ඔව්හු උත්තර දෙමින්, ”අපි නිනිවය නගරයේ විප්‍රවාසගත ව සිටින නප්තලීගේ පුත්‍රයෝ වෙමු”යි කී හ. 4 ”අපේ සහෝදර තෝබිත් දන්නහු දැ”යි ඇසූ විට ”එසේ ය”යි ඔවුන් කී පසු ”ඔහුගේ සුව දුක් කෙසේ දැ”යි ඈ ඇසුවා ය. 5 එවිට ඔව්හු, ”ඔහු ජීවතුන් අතර යෙහෙන් සිටී”යි කී ය. තෝබියස් තවදුරටත් කතා කොට, ”ඔහු මාගේ පියා ය”යි කී ය. 6 එවිට රගුවෙල් ප්‍රීතියෙන් ඉපිලී ඔහු සිඹගෙන අඬමින්, 7 කතා කරන්ට වචන නොමැති ව ”පුත්‍රය, ඔබට ආශීර්වාද වේ වා! ඔබ උදාර පියෙකුගේ පුත්‍රයෙකි. එතරම් දැහැමි වූ, සත්ගුණවත් ක්‍රියාවලින් හෙබි කෙනෙක් අන්ධ වී යාම කොපමණ දුක් සහිත දෙයක් ද” කියා තම ඥාති වූ තෝබියස්ගේ ගෙල බදාගෙන හැඬී ය. 8 ඔහුගේ බිරිඳ එඩිනා ද එය නිසා හැඬුවා ය. ඔවුන්ගේ දුව සාරා ද එලෙස හැඬුවා ය.
9 රගුවෙල් බැටළුවකු මරා, උණුසුම් ආදරයකින් ඔවුන් පිළිගත්තේ ය. ඔව්හු ද තමන් සිරුරු සෝදාගෙන ස්නානය කොට, මේසයට වාඩි වූ හ. එවිට තෝබියස් රපියල්ට කතා කොට, ”සොහොයුරු අසරියස්, මාගේ සහෝදරිය වූ සාරා මට සරණ පාවා දෙන ලෙස ඔබ රගුවෙල්ගෙන් අසන්නැ”යි කී ය. 10 රගුවෙල් එය අසා, තරුණයා අමතා, ”ආහාරපාන ගෙන මේ සවස් කාලය හොඳින් ගත කරන්න. මාගේ සොහොයුර, මාගේ දුව සාරා සරණ පාවා ගැන්මට ඔබට හැර අන් කිසිවෙකුට අයිතියක් නැත. කෙසේ වෙතත් ඔබ ඇයගේ කිට්ටු ම ඥාතියා බැවින්, ඔබට හැර අන් කෙනෙකුට ඇය සරණ පාවා දීමට මට නිදහසක් නැත. මාගේ දරුව, ඔබ සමඟ ඇත්ත ඇති සැටි කිව යුතු ය. 11 ඇයට සැමියෙකු සොයා දීමට මම සත්වරක් අපේ ඥාතීන් අතර වෑයම් කෙළෙමි. එහෙත් ඔව්හු සියල්ලෝ ම පළමු දින සවස ඇයගේ කාමරයට ඇතුළු වන විට මිය ගියහ. මාගේ දරුව, දැනට කන්න, බොන්න, සමිඳාණන් වහන්සේ තම වරප්‍රසාදයත්, සාමදානයත් ඔබට දානය කරන සේකැ”යි කී ය.
එවිට තෝබියස් කතා කොට, ”මා ගැන ඔබ තීරණයකට පැමිණෙන තුරු කෑමබීම ගැන මම අසන්න කැමැති නොවෙමි”යි කී ය. රගුවෙල් උත්තර දෙමින්, ”එසේ වේ වා! මෝසෙස්ගේ ග්‍රන්ථය නියම කරන බැවින්, ඇය ඔබට සරණ පාවා දෙනු ඇත. ඇය ඔබට අයිති වන බව ස්වර්ගය ම නියම කරයි. එබැවින් ඔබේ සහෝදරිය මම ඔබට බාර දෙමි. මේ මොහොතේ පටන් ඔබ ඇගේ සහෝදරයා ය, ඇය ඔබේ සහෝදරී ය. අද පටන් සදහට ම ඇය ඔබට දෙනු ලැබේ. මාගේ පුත්‍රය, ස්වර්ගයේ සමිඳාණෝ අද රෑ ඔබට කරුණාව දෙන සේක් වා! ඔබට උන් වහන්සේගේ වරප්‍රසාදයත්, සාමදානයත් දෙන සේක් වා!”යි කී ය. 12 රගුවෙල් තම දුව සාරා කැඳවා ඇය අතින් ගෙන, තෝබියස්ට සරණ පාවා දෙමින්, ”මම ඇය ඔබට බාර දෙමි. මෝසෙස්ගේ ග්‍රන්ථයේ සඳහන් ව්‍යවස්ථාව සහ නියමය අනුව ඇය ඔබට බිරිඳ වන්නී ය. ඇය සරණ පාවා ගන්න. සුරක්ෂිත ව ඇය, ඔබේ ගෙදරට, ඔබේ පියාගේ ගෙදරට රැගෙන යන්න. ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ ඔබට සාමදානයෙන් සුබ ගමනක් දානය කරන සේක් වා”යි පැවසී ය. 13 එවිට ඔහු ඇගේ මව වෙත හැරී, ”ලියන කඩදාසියක් ගෙනෙන්නැ”යි කී ය. ඉන්පසු ඔහු මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව තම දුව තෝබියස්ට මනාලියක මෙන් දුන් පිළිවෙත විවාහ ගිවිසුම් පත්‍රයක සටහන් කෙළේ ය.
14 මෙසේ කළ පසු ඔව්හු ආහාරපාන ගන්නට වූ හ. 15 රගුවෙල් තම බිරිඳ එඩිනා කැඳවා, ”මාගේ සොහොයුරිය, දෙ වන කාමරය සූදානම් කොට ඇය එහි ගෙන යන්නැ”යි කී ය. 16 ඇය ගොස් ඔහු කී පරිදි ඒ කාමරයේ යහන සූදානම් කොට ඇගේ දුව එහි ගෙන ගියා ය. ඉන්පසු මව දුව ගැන හඬා, කඳුළු පිස දමමින් ”දියණිය, ධෛර්යවත් ව සිටින්න. ස්වර්ගයේ සමිඳාණෝ නුඹේ දුක ප්‍රීතියට හරවන සේක් වා! දුව, ධෛර්යවත් ව සිටින්නැ”යි කියා ඈ පිටත ගියා ය.
– 8 වන පරිච්ඡේදය –
සොහොන
1 ඔවුන් ආහාර ගෙන ඉවර කළ පසු, නිදන්නට යන්න වේලාව පැමිණි විට, තරුණයා කෑම කාමරයෙන් යහන් ගබඩාවට ගෙන යන ලදී. 2 තෝබියස්ට රපියල්ගේ අවවාදය මතක් විය. ඔහු මල්ල ළඟට ගොස් මත්ස්‍යයාගේ හදවත සහ අක්මාව එයින් ගෙන, ටිකක් දැවෙන සුවඳ දුම් මත තැබුවේ ය. 3 මත්ස්‍යයාගේ දුමාරය යක්ෂයා සංවේගයට පත් කළ බැවින් ඌ අහසට නැඟ මිසර දේශයට පලා ගියේ ය. රපියල් එහි ඌ ලුහුබැඳ ගොස්, ඌ බැඳ සැණෙකින් ඌට විලංගු දැම්මේ ය.
4 ඒ අතරතුරේ දී ඇගේ දෙමාපියන් පිටතට ගොස් දොර වසාදමා තිබිණි. තෝබියස් ඇඳෙන් නැඟිට, සාරා අමතා, ”මාගේ සොහොයුරිය, නැඟිටින්න. ඔබත් මමත් යාච්ඤා කරමු. සමිඳාණන් වහන්සේගේ වරප්‍රසාදයත්, රැකවරණයත් ලැබෙන පිණිස උන් වහන්සේගෙන් ඉල්ලමු”යි කීවේ ය. 5 ඇය නැඟිට්ටා ය. ඔව්හු රැකවරණය ලැබෙන පිණිස යාච්ඤා කිරීමට පටන් ගත්තෝ ය. තෝබියස් මෙලෙස යාච්ඤාවට මුල පිරී ය.
”අහෝ, අප පියවරුන්ගේ දෙවිඳුනි,
ඔබේ නමට සදා ප්‍රශංසා වේ වා!
සගලෝ ද මැවූ සියල්ල ද සදා ඔබට ප්‍රශංසා කරත් වා!
6 ආදම් මවන ලද්දේ ඔබ වහන්සේ විසින් ය.
ඔහුගේ ආධාරයට, උපකාරයට ඔහුගේ බිරිඳ ඒව මවා වදාළේ ඔබ වහන්සේ ය.
මිනිස් වර්ගය, පැවත ආයේ මේ දෙදෙනාගෙනි.
‘මිනිසා තනි ව විසීම සුදුසු නැත.
ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි’යි වදාළේ ඔබ වහන්සේ ය.
7 එබැවින් කිසිම කාමරාගී චේතනාවකින් මාගේ සොහොයුරිය මම නොගනිමි.
එක හිතකින් මම මෙසේ කරමි.
මා වෙත ද, ඇය වෙත ද කරුණා පාන සේක් වා!
අප දෙදෙන ම එක ම මහළු වියට පමුණුවන සේක් වා!”
8 දෙදෙනා ම එකට ”ආමෙන්, ආමෙන්” කියා පිළිතුරු දී රෑ නිදාගත්හ.
9 එහෙත් රගුවෙල් නැගිට, තම මෙහෙකරුවන් කැඳවී ය. ඔව්හු පැමිණ වළක් කැණීම සඳහා ඔහුට උදව් කළහ. 10 ”ඔහුට මිය නොයෑමට ස්වර්ගයෝ වරම් දෙන සේක් වා! අවමානයෙන් සහ ලජ්ජාවෙන් අප ඇලළී යන්ට පුළුවනැ”යි ඔහු සිතාගෙන තිබිණි. 11 වළ කැණ හමාර කළ පසු රගුවෙල් ආපසු ගෙදර ගොස්, තම බිරිඳ කැඳවා, 12 ”තෝබියස් තවමත් ජීවතුන් අතර දැ යි බැලීමට කාමරයට සේවිකාවක් අරින්න. ඔහු මියගොස් තිබේ නම්, කාත් කවුරුවත් නොදන්න ලෙස අපට ඔහු භූමදාන කරන්න පුළුවන් ය”යි කී ය.
13 සේවිකාවක් කැඳවන ලදී. පහන දල්වන ලදී. දොර ද අරින ලදී. සේවිකාව ද ඇතුළු වූවා ය. 14 දෙන්නා ම හොඳින් නිදා සිටිනු ඇයට දකින්න ලැබිණි. ඇය යළි පිටත අවුත්, ”ඔහු මියගොස් නැත. සියල්ල ම හොඳින් ඇතැ”යි කනට කොඳුරා කීවා ය. 15 එවිට රගුවෙල් මේ වචනවලින් ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය.
”මාගේ දෙවිඳුනි, ඔබට පැසසුම් වේ වා!
හැම සුපිරිසිදු පැසසුමකින් ඔබට පැසසුම් වේ වා!
ඔබට සදා පැසසුම් වේ වා!
16 මට ප්‍රීතිය දුන් බැවින් ඔබට පැසසුම් වේ වා!
මා බිය වූ දේ සිදු වී නැත.
එය වෙනුවට නිම්හිම් නැති දයාව පා ඔබ අපට සත්කාර කළ සේක.
17 මේ එක ම පුතාටත්, මේ එක ම දුවටත් දයා පෑ බැවින් ඔබට පැසසුම් වේ වා!
සමිඳුනි, ඔවුන්ට ඔබේ වරප්‍රසාදය ද රැකවරණය ද දුන මැනව.
ප්‍රීතියෙන් ද වරප්‍රසාද සහිත ව ද ඔවුන්ට යෙහෙන් ජීවත්වීමට හැකි වේ වා!”
18 උදය පහන් වීමට පෙර ඔහු තම මෙහෙකරුවන් ලවා වළ පිරවී ය.
19 ඉන්පසු යහමින් ආහාර පිළියෙළ කරන ලෙස ඔහු තම බිරිඳට කීවේ ය. ඔහු ද රැළට ගොස් හරකුන් දෙදෙනෙකු ද බැටළුවන් හතර දෙනෙකු ද ගෙනැවිත් උන්ගෙන් කෑම පිළියෙළ කිරීමට අණ දුන්නේ ය. එවිට උත්සවය ආරම්භ විය. 20 ඔහු තෝබියස් කැඳවා, ”දෙසතියක් යනතෙක් ඔබ මෙතනින් පිට වී යෑම ගැන මා කැමැති නැත. ඔබ ඉන්න තැන ම නැවතී මා සමඟ ආහාරපාන ගත යුතු ය. මාගේ දුව ඇගේ සියලු කරදරවලින් පසු ඔබ ඇය සතුටු කරන්නෙහි ය. 21 ඉන්පසු මා සතු සියල්ලෙන් බාගයක් රැගෙන කිසි බාධාවක් හෝ අවහිරයක් හෝ නැති ව ඔබේ පියා වෙත ඔබට යන්න පුළුවන. මාත් මාගේ බිරිඳත් මියගිය පසු අනිත් බාගයත් ඔබට අයිති වේ. ම පුත, ධෛර්යවත් ව ඉන්න, ඔබේ පියා මම ය. ඔබේ මව එඩිනා ය. ඔබේ සහෝදරීගේ දෙමාපියන් වන අපි මින් ඉදිරියට ඔබේත් දෙමාපියෝ වෙමු. ම පුත, ධෛර්යවත් ව සිටින්නැ”යි කීවේ ය.
– 9 වන පරිච්ඡේදය –
විවාහ මංගල්‍යය
1 එවිට තෝබියස් රපියල් වෙත හැරී, 2 ”සොහොයුරු අසරියස්, ඔබ සේවකයන් සතර දෙනකු ද, ඔටුවන් දෙදෙනෙකු ද රැගෙන රාගේස් නගරයට පිටත් ව යන්න. 3 ගබයෙල්ගේ නිවෙසට ගොස් කුවිතාන්සිය ඔහුට දී, මුදල් ගැන සලකා බලන්න. ඉන්පසු මගේ විවාහ මංගල්‍යයට ඔබ සමඟ ඔහුට එන්නට ආරාධනා කරන්න. 4 මගේ පියා දවස් ගණන් කරමින් සිටින බව ද ඔහුට කරදර නො දී නැවතීමට එක දවසක් වත් මට බැරි බව ද ඔබ දන්නෙහි ය. 5 රගුවෙල් කරන්නට පොරොන්දු වූ දේ ඔබ දන්නෙහි ය. ඔහුගේ දිවිරීමෙන් මම බැඳී සිටිමි”යි කීවේ ය.
6 එවිට රපියල් සේවකයන් සතර දෙනා සහ ඔටුවන් දෙදෙනා සමඟ මේදියාවේ රාගේස් නුවරට පිටත් ව ගියේ ය. ඔවුන් ගබයෙල් සමඟ නැවතුන පසු රපියල් ඔහුට කුවිතාන්සිය පෙන්වී ය. 7 තවද ඔහු තෝබිත්ගේ පුත්‍ර තෝබියස්ගේ විවාහය ගැන ද ඔහුට දන්වා විවාහ මංගල්‍යයට ඔහුගේ ආරාධනා පත්‍රය ද දුන්නේ ය. ගබයෙල් ගෝනි ප්‍රමාණය ගණන් කරන්නට විය. ඒවායේ මුද්‍රා ද නොකඩා තිබිණි. ඉන්පසු ඔව්හු ඒවා ඔටුවන් පිට පැටවූ හ. 8 පසුදා අලුයම ඔව්හු එක් ව මංගල්‍යයට යන්ට පිටත් වී රගුවෙල්ගේ නිවෙසට ළඟා වූ හ. එහි තෝබියස් ආහාර අනුභව කරමින් සිටියේ ය. ඔහු ගබයෙල්ට ආචාර කිරීමට නැඟිට්ටේ ය. එවිට ගබයෙල් හඬන්න පටන්ගෙන මේ වචනවලින් ඔහුට ආශීර්වාද කරමින්, ”ගනු-දෙනුවල දී සාධාරණ වූ ද, ත්‍යාගශීලී වූ ද කිසි දෝෂාරෝපණයක් රහිත පියෙකුගේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙකි, ඔබ. 9 සමිඳාණන් වහන්සේ ඔබට ද ඔබේ බිරිඳට ද, ඔබේ බිරිඳගේ දෙමාපියන්ට ද ස්වර්ගීක ආශීර්වාදය දානය කරන සේක් වා! මාගේ සහෝදර තෝබිත්ගේ ජීවමාන පිළිරුවක් වැනි මොහු දැකීමට මට වරම් දීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!”යි කීවේ ය.
– 10 වන පරිච්ඡේදය –
1 මේ අතරතුර දිනපතා තෝබිත්, සිය පුතාගේ ගමන ගොස් ඔහු ආපසු එන්නට ගතවන දවස් ගණන් කරමින් සිටියේ ය. ඒ දවස් ගණන ගතවුණ නමුත් ඔහුගේ පුත්‍රයා ආපසු නොපැමිණියේ ය. 2 ”ඔහු එහි ප්‍රමාද වෙන්නට නැතැ යි සිතමි. ගබයෙල් ද මියයන්ට නැතැ යි පතමි. ඇතැම් විට එහි දී ඔහුට මුදල් දෙන්ට කිසිවෙක් නොසිටියා වෙන්ට පුළුවනැ”යි ඔහු සිත සිතා සිටියේ ය. 3 තවද ඔහු කරදර වෙන්නට විය. 4 ඔහුගේ බිරිඳ අන්නා කතා කොට, ”අහෝ! මාගේ පුත්‍රයා මිය ගියේ ය. ඔහු තවත් ජීවතුන් අතර නැතැ”යි කියන්නට වූවා ය. මෙසේ කියා ඈ සිය පුත්‍රයා ගැන හඬන්නටත්, වැලපෙන්නටත් පටන්ගත්තා ය. 5 ”අහෝ, මාගේ පුත්‍රය! මාගේ ඇස් දෙකේ එළිය වන නුඹට මා යන්න දුන්නා නොවේ දැ”යි කියමින් සිටියා ය. 6 එවිට තෝබිත් උත්තර දෙමින්, ”මා සොහොයුරිය, නිහඬ වන්න. එවැනි සිතුවිලි නොසිතන්න. ඔහු යෙහෙන් සිටියි. ඔවුන්ට ප්‍රමාද වීමට යමක් එහි දී සිදු වී ඇත. ඔහුගේ මිතුරා අපට විශ්වාස කළ හැකි කෙනෙකි. ඇරත් ඔහු අපේ ම ඥාතියෙකි. මා සොහොයුරිය, අධෛර්ය නොවන්න. ඔහු හනික එනු ඇතැ”යි කීවේ ය. 7 එහෙත් ඈ කතා කොට, ”මට කරදර නොකරන්න. මා රවටන්නට වෑයම් නොකරන්න. මාගේ දරුවා මියගොස් ඇතැ”යි කීවා ය. තවද දිනපතා ඇගේ පුත්‍රයා නික්ම ගිය පාර දෙස බැලීම සඳහා ඈ හදිසියේ පිටතට යන්නට පුරුදු ව සිටියා ය. ඈ තමාගේ ම දෙනෙත් හැර අන් කෙනෙකු විශ්වාස නොකළා ය. ඉර බැස ගිය පසු ඇය ආපසු ගෙදර එන්නී ය. අවුත් නිදාගන්නට නොහැකි ව, මුළු රාත්‍රියේ ම හඬමින් වැලපෙන්නී ය.
එක්බතානා සිට පිටත්වීම
සිය දුවගේ විවාහ මංගල්‍යය සඳහා උත්සවය පැවැත්වීමට රගුවෙල් දිවුරුම් දී තිබුණු දවස් දස සතර අවසන් වූ පසු තෝබියස් ඔහු වෙත පැමිණ, කතා කොට, ”දැන් මට යන්නට අවසර දෙන්න. මාගේ පියාගෙත් මවගෙත් මා යළි දැකගැනීමේ බලාපොරොත්තු සියල්ල අහෝසි වී යන්නට ඇත. එබැවින්, පියාණෙනි, මාගේ පියාගේ ගෘහයට ආපසු මට යන්නට අවසර දෙන ලෙස ඉල්ලමි. මා ඔහු වෙතින් පිටත් වූ විට ඔහු සිටිය තත්ත්වය මා ඔබට දන්වා ඇතැ”යි කී ය. 8 එවිට රගුවෙල් තෝබියස්ට කතා කොට, ”ම පුත, නවතින්න, මා සමඟ නවතින්න. ඔබ ගැන ආරංචි දීමට ඔබේ පියා වෙත මම පණිවුඩකාරයන් යවමි”යි උත්තර දුන්නේ ය. 9 එහෙත් තෝබියස් ඔහුට පෙරැත්ත කරමින්, ”එසේ නොවේ වා! මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්නට අවසර දෙන ලෙස ඉල්ලමි”යි කීවේ ය. 10 රගුවෙල් ද එවිට තවත් කරදර නොකොට ඔහුගේ මනාලිය වන සාරා ඔහුට භාර දුන්නේ ය. තවද, ඔහු තම වස්තුවෙන් බාගයක් ද සේවක සේවිකාවන් ද ගොනුන් සහ බැටළුවන් ද කොටළුවන් ද ඔටුවන් ද, වස්ත්‍ර, මුදල් සහ ගේදොර බඩුබාහිරාදිය ද තෝබියස්ට දුන්නේ ය. 11 මෙසේ දුන් පසු ඔහු ඔවුන්ට සතුටින් යන්නට අවසර දුන්නේ ය. තෝබියස් නික්ම යන විට රගුවෙල් ඔහුට කතා කොට, ”ම පුත, නිදුක් නිරෝගී ව සතුටින් ගමන යන්න. ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබටත් ඔබගේ බිරිඳ වන සාරාටත් කරුණාව පාන සේක් වා! 12 මා මියයනු පෙර ඔබේ දරුවන් දැකීමට බලාපොරොත්තු වෙමි”යි අවසාන සුබ පැතුම පැතී ය. ඔහු සිය දුව සාරා අමතා, ”දැන් ඔබ ඔබේ මාමණ්ඩිගේ නිවෙසට යන්න. මින්පසු ඔබට ජීවිතය දුන් දෙමාපියන් සේ ම ඔව්හු ද ඔබේ දෙමාපියෝ වන්නෝ ය. මා දුව, සාමදානයෙන් යන්න. මට දිවි ඇති තාක් ඔබ ගැන හොඳ මිසක් වෙන යමක් අසන්නට මම බලා නොසිටිමි”යි කීවේ ය. ඔව්හු මෙසේ ඔවුන්ට සුබ පතා යන්නට හැරියේ ය.
එඩිනා ද තෝබියස් අමතා, ”පෙම්බර පුත්‍රය, සොහොයුර, ඔබ ආපසු මෙහි ගෙන ඒමට සමිඳාණන් වහන්සේ කැමැති වන සේක් වා! මා මියයන්නට පෙර ඔබේ ද මාගේ දුව වන සාරාගේ ද දරුවන් දකිනු පිණිස ජීවත් වීමට හැකි වේ වා! යි ප්‍රාර්ථනා කරමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම මාගේ දුව ඔබට භාර කරමි. ඔබට දිවි ඇති තාක් කවර දිනක වත් ඇය අසන්තෝෂයට පත් නොකරන්න. මාගේ පුත්‍රය සාමදානයෙන් යන්න. මින්පසු මම ඔබේ මව ය. සාරා ඔබේ සහෝදරී ය. අපේ මුළු ජීවිත කාලය තුළ ම අපට යෙහෙන් විසීමට හැකි වේ වා!”යි කීවා ය.
13 තෝබියස් සිත් සතුටින් රගුවෙල්ගේ නිවෙසින් නික්මුණේ ය. සිය ගමන සාර්ථක වූ බැවින් ඔහු සන්තෝෂයෙන්, සියල්ලේ රජාණන් වූ අහසෙත් පොළොවෙත් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. ඔහු මේ ආශීර්වාදය රගුවෙල්ට ද ඔහුගේ බිරිඳ වන එඩිනාට ද දෙමින්, ”මාගේ මුළු ජීවිත කාලය තුළ ම ඔබට ගෞරව කිරීම මාගේ සන්තෝෂය වේ වා!”යි කීවේ ය.
– 11 වන පරිච්ඡේදය –
තෝබිත් නැවත ඇස් පෙනීම ලැබීම
1 ඔවුන් නිනිවය නගරයට ඉදිරිපිටින් පිහිටි කසෙරින් නම් ස්ථානයකට ළඟා වන විට 2 රපියල් කතා කොට ”අපි ඔබේ පියා වෙතින් නික්ම එන විට ඔහු සිටි තත්ත්වය ඔබ දන්නෙහි ය. 3 ඔබේ බිරිඳට කලින් අපි යමු. අපි ගොස් ඇය අනික් අය සමඟ පසුපස එන තෙක් නිවෙස සූදානම් කරමු”යි කීවේ ය. 4 මෙසේ කියා ඔවුන් දෙදෙන එක් ව ගියෝ ය. බල්ලා ද ඔවුන් පසුපස ගමන් කෙළේ ය. මත්ස්‍යයාගේ පිත රැගෙන යාමට රපියල් තෝබියස්ට කලින් දන්වා තිබිණි.
5 අන්නා ද වාඩි වී තම පුත්‍රයා එන මාර්ගය දෙස බලා සිටියා ය. 6 එන තැනැත්තා ඔහු ම යයි ඇයට සහතික වී ඔහුගේ පියා වෙත ගොස්, ”මෙන්න ඔබේ පුත්‍රයා ඔහුගේ මිත්‍රයා සමඟ එන්නේ ය”යි කීවා ය.
7 පියා වෙත යන්නට පෙර රපියල් තෝබියස් අමතා, ”ඔබේ පියාට ඇස් පෙනීම ලැබෙන බව මම සහතික කර කියමි. ඔබ ඔහුගේ ඇස්වලට මත්ස්‍යයාගේ පිත දැමිය යුතු ය. 8 මේ බෙහෙත දැවෙන ගතියක් ඇති කර, ඔහුගේ ඇස්වලින් සුදු පැහැති සිහින් සිවිය අහකට ඇද දමනු ඇත. එවිට ඔබේ පියාට ඇස් පෙනුම ලැබී, එළිය දෙස බැලීමට හැකි වනු ඇතැ”යි කීවේ ය.
9 මව ඉදිරියට දුව ගොස් සිය පුත්‍රයාගේ ගෙල වටා අත් දමා, ”දැන් මට මියයා හැකි ය. මම නැවත නුඹ දැක්කෙමි”යි කියා හඬන්නට වූවා ය. 10 තෝබිත් ද නැඟිට මළුව හරහා දොර මැදින් හැපි හැපී ගමන් කෙළේ ය. තෝබියස් තම අතින් මත්ස්‍යයාගේ පිත රැගෙන ඔහු වෙත ආයේ ය. 11 ඔහු පියාගේ ඇස් දෙකට පිඹ, ඔහු ශක්තිමත් කරමින්, ”පියාණෙනි, ධෛර්යවත් ව සිටින්නැ”යි කියා බෙහෙත ගෑවේ ය. ඉන්පසු එය මඳ වේලාවක් එහි තිබෙන්නට හැර, 12 ඇස් දෙකේ කොන්වලින් සිහින් සිවියක් දෑතින් ගලවා දැමී ය. 13 එවිට ඔහුගේ පියා තම පුත්‍රයාගේ ගෙල බදාගෙන, හඬමින් 14 ”මාගේ පුත්‍රය, මාගේ ඇස් දෙකේ ආලෝකය වන ඔබ මට පෙනේ ය”යි හඬ නඟා කීවේ ය. පසු ව ඔහු තවදුරටත් කතා කොට මෙසේ කී ය:
”දෙවි තුමන්ට පැසසුම් වේ වා!
එතුමන්ගේ උදාර නාමයට පැසසුම් වේ වා!
එතුමන්ගේ සියලු දේව පුත්‍රයන්ට පැසසුම් වේ වා!
සදහට ම එතුමන්ගේ උදාර නාමයට පැසසුම් වේ වා!
15 මන්ද, එතුමන් මට කස පහර දී තිබිණි.
නමුත් දැන් මට දයානුකම්පාව පා ඇත.
මාගේ පුත් රුවන තෝබියස් මම දකිමි.”
16 තෝබිත් තම ලේලි හමුවීමට නිනිවයේ වාසල් දොරටු බලා පිටත් විය. මෙසේ යන විට ඔහු දෙවියන්ට ස්තුති ප්‍රශංසා කෙළේ ය. ඔහු මඟ පෙන්වන්නකු නැති ව යන ආකාරය ද, කලින් කළාක් මෙන් කඩිනම් ව පා තබන අයුරු ද නිනිවයෙහි සෙනඟ දුටු විට ඔව්හු පුදුම වූ හ. 17 දෙවියන් වහන්සේ තමාට දයානුකම්පාව පෙන්වා ඇස් විවෘත කළ අන්දම තෝබිත් ඔවුන්ට විස්තර කෙළේ ය. එවිට තෝබිත්ට, සිය පුත් තෝබියස්ගේ බිරිඳ වන සාරා මුණගැසී ඇයට ආශීර්වාද කරමින්, ”දුව, ආයුබෝවන්, මාගේ දුව, අප වෙත ඔබ එවීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබේ පියාට ආශීර්වාද වේ වා! මාගේ පුත් තෝබියස්ට ආශීර්වාද වේ වා! මාගේ දුව, ඔබට ද ආශීර්වාද වේ වා! ප්‍රීතියෙන් සහ ආශීර්වාද ලබමින් දැන් ඔබ ඔබේ ම නිවෙසට සැපත් වේ වා! මාගේ දුව එන්න” කියා කීවේ ය. 18 එදින ඔහු නිනිවයේ සිටි ජුදා ජාතික සියලු දෙනාට මංගල්‍යයක් පැවැත්විය. ඔහුගේ නෑයන් වූ අහිකාර් ද නාදබ් ද තෝබිත්ගේ ප්‍රීතියට සහභාගි වීමට පැමිණියෝ ය.
– 12 වන පරිච්ඡේදය –
රපියල්
1 මංගල්‍යයට පසු තෝබිත් තම පුත් තෝබියස් අමතා, ”මාගේ පුත්‍රය, නුඹ සමඟ ගමන ගිය මිතුරාට නිසි කුලිය ගෙවීමට කල්පනා කළ යුතු ය. ගිවිසගත් කුලියට වඩා වැඩියෙන් දෙන්නැ”යි කීවේ ය. 2 තෝබියස් උත්තර දෙමින්, ”පියාණෙනි, ඔහු කළ උපකාරයට මම කොපමණ දෙන්න ද? ඔහු මා සමඟ ආපසු ගෙනා වස්තුවෙන් බාගයක් ඔහුට දුන්නත්, මට එයින් පාඩුවක් නැත. 3 ඔහු ඔබ වෙත මා යෙහෙන් හා සුවෙන් ගෙනාවේ ය. ඔහු මාගේ බිරිඳ සුවපත් කෙළේ ය. ඔහු මුදල් ද ආපසු ගෙනාවේ ය. දැන් ඉතින් ඔහු ඔබ ද සුවපත් කෙළේ ය. මේ සියල්ල සඳහා මම කොපමණ ඔහුට දෙන්නෙම් දැ”යි ඇසී ය. 4 තෝබිත් කතා කොට, ”ඔහු ආපසු ගෙනා දෙයින් බාගයක් ලැබීමට ඔහු සුදුස්සෙකු වී ඇතැ”යි කීවේ ය. 5 එවිට තෝබියස් තම මිතුරාට කතා කොට, ”ඔබ කළ සියල්ල සඳහා ඔබ ආපසු ගෙනා දෙයින් බාගයක් කුලිය වශයෙන් රැගෙන, සාමදානයෙන් යන්නැ”යි කීවේ ය.
6 එවිට රපියල් දෙදෙනා ම පැත්තකට ගෙන ඔවුන් අමතා, ”දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ ඔබට දානය කළ සියලු ප්‍රසාද ගැන ජීවතුන් සියලු දෙන ඉදිරියෙහි උන් වහන්සේගේ ප්‍රශංසා කියන්න. උන් වහන්සේට ප්‍රශංසා කර, උන් වහන්සේගේ නාමය උතුම් කොට දක්වන්න. සියලු මිනිසුන් ඉදිරියෙහි උන් වහන්සේගේ ක්‍රියාවන්ට ඔබින ලෙස ඒවා ප්‍රකාශ කරන්න. උන් වහන්සේට ප්‍රශංසා කිරීම නොනවත්වා කරන්න. 7 රජ කෙනකුගේ රහස සඟවා තැබීම හරි ය. එහෙත් දෙවියන් වහන්සේගේ ක්‍රියා අනාවරණය කොට ඒවා ප්‍රකාශ කිරීම යුතු ය. උන් වහන්සේට සුදුසු ලෙස ස්තුති කරන්න; යහපත කරන්න; එවිට නපුරක් ඔබට සිදු නොවනු ඇත.
8 ”යාච්ඤා කිරීමත්, උපවාස කිරීමත්, දැහැමි කල්ක්‍රියාවෙන් යුක්ත ව දන් දීමත් දුෂ්ටකමින් ධන සම්පත් ලබාගැනීමට වඩා හොඳ ය. 9 රත්රන් නිදන් කරනවාට වැඩියෙන් දන් දීමට පුරුදු වීම හොඳ ය. දන් දීම මරණයෙන් මුදයි. විවිධාකාර පාපයන්ගෙන් පවිත්‍ර කරයි. දන් දෙන අය චිරාත් කල් ජීවත් වන්නෝ ය. 10 පව්කාර නපුරු ක්‍රියා කරන අය තමන් පිටට අනතුරු පමුණුවා ගන්නෝ ය.
11 ”ඔබෙන් කිසිවක් නොසඟවා සම්පූර්ණ ඇත්ත ඔබට කියන්නට අදහස් කරමි. රජ කෙනෙකුගේ රහස සැඟවීම හොඳ බවත්, දෙවියන් වහන්සේගේ ක්‍රියා සුදුසු ලෙස අනාවරණය කිරීම හොඳ බවත් මා ඔබට කලින් කියා තිබේ. 12 එබැවින් ඔබත් සාරාත් යාච්ඤා කරන විට ඒවා කියෙව්වෙත් දෙවියන් වහන්සේගේ තේජාලංකාරය ඉදිරියෙහි ඔබේ යැදුම් ඔප්පු කෙළෙත් මා බව ඔබ දැනගත යුතු ය. ඔබ මළා වූ අය භූමදාන කරන විට ද මම එසේ කෙළෙමි. 13 මියගිය මිනිසෙකු භූමදාන කරන පිණිස ඔබ මේසයෙන් නැඟිට යාමට ප්‍රමාද නුවූ විට, ඔබේ ඇදහිල්ල පරීක්ෂා කරනු පිණිස මම එවනු ලැබීමි. 14 ඒ වේලාවෙහි ම ඔබත් ඔබේ ලේලි සාරාත් සුව කරනු පිණිස දෙවියන් වහන්සේ මා එවූ සේක. 15 රපියල් වන මම සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය ඉදිරිපිට පැමිණීමට නිතරම සූදානම් ව සිටින දේව දූතයන් සත් දෙනාගෙන් කෙනෙක් වෙමි”යි කීවේ ය.
16 එවිට ඔවුන් දෙදෙනා ම බියෙන් තුෂ්ණිම්භූත වී මුණින් වැටුණේ ය. 17 එහෙත් දේව දූතයා කතා කොට, ”බිය නොවන්න, ඔබට සාමදානය වේ වා! සදහට ම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. 18 මා ඔබ සමඟ සිටිය විට මා එසේ සිටියේ මගේ ම තීරණයකින් නොව දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ය. ඔබට දිවි ඇතිතාක් ඔබ ප්‍රශංසා කළ යුත්තේ උන් වහන්සේට ය. පැසසිය යුත්තේ උන් වහන්සේ ය. 19 මම ආහාර අනුභව කරනු ඔබ දුටුවහු යයි ඔබ සිතනු ඇත. එහෙත් එය පෙනුමට කළ යමක් මිස වෙන දෙයක් නොවේ. 20 දැන් මිහි පිට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කොට, උන් වහන්සේට ස්තුති කරන්න. මා එවූ තැනැත්තා ළඟට ආපසු යන්නට මා දැන් සූදානම් ය. සිදු වූ සියල්ල ලියා තබන්න”යි කීවේ ය. 21 මෙසේ කියා ඔවුන් යළි නැඟිට්ට විට ඔහු ඉන්පසු දර්ශන නො වී ය. ඔව්හු ගී ගයා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය; එයාකාර පුදුම දේ කිරීම ගැන උන් වහන්සේට ස්තුති කළහ. ඔවුන්ට දර්ශන වූයේ දෙවියන් වහන්සේගේ දූතයෙක් නොවේ ද?
– 13 වන පරිච්ඡේදය –
තෝබිත්ගේ පැසසුම් ගීය
1 ඉන්පසු තෝබිත් මෙසේ කීවේ ය. ”සදා ජීවත් වන දෙවි තුමන්ට පැසසුම් වේ වා!
හැම යුගයක් තුළ එතුමන් රජය පවතිනු ඇත.
2 උන් වහන්සේ දඬුවම් දෙන සේක;
ඉන්පසු දයා පාන සේක. එතුමාණෝ පාතාල ලොවේ පතුලට මිනිසුන් යවන සේක;
මහා විනාශයෙන් ඔවුන් ගළවාගන්න සේක.
එතුමන්ගේ බලයෙන් බේරීමට කිසිවෙකුට බැරි ය.
3 එම්බා ඉශ්රායෙල් ජනයෙනි!
ජාතීන් අබිමුව එතුමන්ට පැසසුම් කරන්න.
එතුමාණන් ඔබ ජාතීන් අතර විසුරුවාදැමුව ද
4 එහි දී පවා එතුමාණෝ සිය මහන්තත්ත්වය ඔබට පෙන් වූ සේක.
සියල් ජීවතුන් අබිමුව උන් වහන්සේ උසස් කරන්න.
එතුමාණෝ අපේ සමිඳාණෝ ය;
එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය;
එතුමාණෝ අපේ පියාණෝ ය.
එතුමාණෝ සදහට ම දෙවියන් වහන්සේ ය.
5 ඔබේ දුෂ්ටකම්වලට එතුමාණන් දඬුවම් දෙන නමුත් එතුමාණෝ ඔබ හැමට දයාව පාන සේක.
ඔබ කිනම් ස්ථානයකට විසිර ගොස් සිටිතත් එතුමාණෝ සෑම ජාතියකින් ම ඔබ රැස්කරගත් සේක.
6 ඔබේ මුළු සිතින් හා මුළු හදින් එතුමන් වෙත අවංක ව හැසිරෙමින් ඔබ එතුමන් වෙත හැරී එන්නහු නම්, එතුමාණෝ ද ඔබ වෙත හැරී එන සේක;
තවදුරට මුහුණ සඟවා නොගන්න සේක.
කොපමණ හොඳින් ඔබට එතුමාණෝ සත්කාර කළ සේක් ද යන්න ගැන කල්පනා කරන්න.
හඬ නඟා එතුමන්ට තුති දෙන්න.
යුක්තියේ සමිඳුන් පසසන්න.
සදාතන රජතුමාණන් උසස් කරන්න.
7 මම විදේශයක සිට එතුමන් හට ප්‍රශංසා කරමි.
පව් කළ ජාතියකට එතුමන්ගේ බලය සහ මහන්තත්ත්වය දන්වමි.
8 පවිටුනි, එතුමන් වෙත හැරී එන්න.
එතුමන් අබිමුව ඔබේ හැසිරීම දැහැමි වේ වා!
දැහැමි වන විට එතුමාණන් ඔබට කරුණාව පානු ඇත.
ඔබට අනුකම්පාව දක්වනු ඇත.
9 එහෙත් මම දෙවිඳුන් උසස් කරමි.
මාගේ හද සගලොව රජිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වනු ඇත.
සියලු මිනිසුන්ගේ තොල් මත එතුමන්ගේ මහන්තත්ත්වය පවතී වා!
එතුමන්ගේ ගුණ වැණුම සියලු දෙනා ජෙරුසලමෙහි, ගායනා කරත් වා!
එම්බා ජෙරුසලම, එම්බා ශුද්ධ නගරය, ඔබේ පව්කම් නිසා දෙවි තුමාණෝ ඔබට කස පහරවලින් තැළූ සේක.
එහෙත් දැහැමියන්ගේ පුත්‍රයන් හට දයාව පාන සේක.
10 ඔබින ලෙස සමිඳුන් හට තුති පුදන්න.
සදාතන රජිඳුන් පසසන්න.
එවිට ඔබ අතර ප්‍රීතියෙන් ඔබේ මාලිගය ඉදි කරනු ලැබේ.
ඔබ අතර සිටින විප්‍රවාසීගත වූවන් එතුමාණෝ සනසන සේක.
අනාගත හැම පරපුරක් දක්වා ඔබ අතර පීඩා විඳින සියල්ලන්ට එතුමාණෝ ප්‍රේම කරන සේක.
11 මිහි පිට සියලු පෙදෙස් මත දීප්තිමත් එළියක් බබලනු ඇත.
දෙවි සමිඳුන්ගේ ශුද්ධ නාමයට සමීප ව වසන පිණිස බොහෝ දුර සිට ද මිහි පිට සෑම රටකින් ද බොහෝ ජාතීහු, සගලොව රජිඳුන්ට දෙන පිණිස තම අත්වල තෑගිබෝග ඇති ව එන්නාහ.
පරපුරින් පරපුරට ඔබ අතර ජනයා ඔවුන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කරන්නෝ ය.
දෙවිඳුන් තෝරාගත් ජාතියක් වන ඔබේ නාමය සදා පවතිනු ඇත.
12 ඔබට නිගරු කරන්නන්ට සාප වේ වා!
ඔබේ පවුරු බිඳින්නන්ට, කුළුණු බිඳ සමතලා කරන්නන්ට ඔබේ ගෘහයන් දවාලන අයට සාප වේ වා!
ඔබේ නගරය ගොඩනඟන්නන්ට සදා පැසසුම් වේ වා!
13 එවිට දැහැමි අයගේ පුත්‍රයන් ගැන ඔබ කුල්මත් වනු ඇත;
ප්‍රීති ප්‍රමෝද වනු ඇත.
මන්ද, ඔවුන් සියල්ලෝ එකතු කරනු ලබන්නාහ.
සදා සමිඳුන් හට පැසසුම් කරනු ලබන්නාහ.
14 ඔබට ප්‍රේම කරන තැනැත්තෝ වාසනාවන්තයෝ ය.
ඔබේ සාමය ගැන ප්‍රීති ප්‍රමෝද වන්නෝ වාසනාවන්තයෝ ය.
ඔබේ සියලු දඬුවම් ගැන වැලපෙන්නෝ වාසනාවන්තයෝ ය.
මන්ද, ඉදිරියට උදා වන ඔබේ සියලු වාසනාව දැක ඔව්හු විගස ඔබ අතර ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය.
15 ම සිත මහා රජිඳුන් වන සමිඳුන් පසසයි.
16 මන්ද, ජෙරුසලම අලුතින් සාදනු ලැබේ, එහි මාලිගය සදහට ම සාදනු ලැබේ.
ඔබේ තේජාලංකාරය දැක සගලොව රජිඳුන් පසසනු පිණිස මාගේ පරපුරින් පැවතෙන එක් කෙනෙක් වත් ඉතිරි වුවහොත් එය කොතරම් සතුටක් ද?
ජෙරුසලමෙහි වාසල් දොරටු ඉඳුනිල් මිණි කැටවලින් ද මරකත මැණික්වලින් ද ඔබේ පවුරු අගනා මැණික්වලින් ද ගොඩනඟනු ඇත.
ජෙරුසලමෙහි කොත් රනින් ද ඒවායේ අට්ටාල දඹ රනින් ද ගොඩනඟනු ඇත.
17 ජෙරුසලමෙහි වීථිවලට රතු කැට හා අගනා මැණික් ගල් අල්ලනු ලැබේ.
ජෙරුසලමෙහි වාසල් දොරටු ජය ගීත රාවයෙන් ඒකනින්නාද වනු ඇත.
එවිට එහි වසන සියල්ලෝ ‘ආලේලූයා!
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි තුමන්ට ප්‍රශංසා වේ වා!’යි කියන්නෝ ය.
ඔබ අතර සදහට ම ඔව්හු ඒ ශුද්ධ නාමය සඳහට ම පසසන්නෝ ය.”
– 14 වන පරිච්ඡේදය –
1 තෝබිත්ගේ ගීතයේ අවසානය මෙය වේ.
තෝබියස් හා ආනාගේ මරණය
2 තෝබිත් අවුරුදු එක සිය දොළහක් ආයු වළඳා මියගිය පසු නිනිවය නගරයේ ඔහු ගරුබුහුමන් ඇති ව භූමදාන කරන ලදී. ඔහු අන්ධ වන විට ඔහුට වයස හැට දෙකක් විය. 3 ඔහු සුවය ලත් පසු දන්දෙමින් ද දෙවියන් වහන්සේට නිතර ස්තුති කරමින් ද උන් වහන්සේගේ මහිමය වර්ණනා කරමින් ද සුව සේ ජීවත් වූයේ ය. ඔහු මැරෙන්නට ආසන්න වූ විට ඔහු සිය පුත් තෝබියස් කැඳවා පහත දක්වන අවවාද ඔහුට දුන්නේ ය. 4 ”ම පුත, නාහුම් දිවැසිවරයා නිනිවය නුවර ගැන දුන් දේව පණිවුඩය මා විශ්වාස කරන බැවින් ඔබේ දරුවන් රැගෙන මේදියාවට ඉක්මනින් යන්න. ඉශ්රායෙල්හි දිවැසිවරුන් වන දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන් අසිරියාව සහ නිනිවය නුවරට විරුද්ධ ව කලින් කී සියල්ල සත්‍යය, ඒවා සිදු වනු ඇත. ඔවුන්ගේ වචනවලින් එකක් වත් බොරු නොවනු ඇත. යථා කාලයේ දී ඒ සියල්ල සිදු වන්නේ ය. අසිරියාවට හෝ බබිලෝනියට හෝ වඩා මේදියාවේ ඔබට ආරක්ෂාව ලැබෙනු ඇත. දෙවියන් වහන්සේ වදාළ සියල්ල සත්‍ය වන බව මම දනිමි. විශ්වාස කරමි. ඒවා ඉටු වනු ඇත. දිවැස් වැකිවලින් වචනයක් වත් බොරු නොවන්නේ ය.
”ඉශ්රායෙල් දේශයේ වසන අපේ සහෝදරයන්ගේ ජන සංගණනයන් ගනු ලැබේ. ඒ අසිරිමත් දේශයෙන් ඈත දුර රටකට ඔව්හු පිටුවහල් කරනු ලබන්නෝ ය. මුළු ඉශ්රායෙල් දේශය කාන්තාරයක් වනු ඇත. සමාරිය හා ජෙරුසලම කාන්තාරයක් වනු ඇත. දේව මාලිගාව ද කලකට වනසනු ලැබ ගිනිබත් කෙරෙනු ඇත. 5 එවිට නැවතත් දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට ඉශ්රායෙල් දේශයට ඔවුන් ආපසු ගෙනෙනු ඇත. නියමිත කාලය උදා වන තෙක් ඔව්හු උන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනඟන්නෝ ය. එහෙත් එය මුලින් තිබුණාක් මෙන් අලංකාර නොවනු ඇත. ඉන්පසු ඔව්හු වහල්කමෙන් ආපසු පැමිණ ජෙරුසලම සකල ශ්‍රී විභූතියෙන් අනූන ව ගොඩනඟන්නෝ ය. තවද, ඉශ්රායෙල්හි දිවැසිවරුන් කලින් කීවාක් මෙන් ඒ නගරය තුළ දේව මාලිගාව ගොඩනඟනු ලබන්නේ ය. 6 එවිට මිහි පිට සියලු සෙනඟගේ සිත් හරවාගනු ලබන්නේ ය. ඔව්හු අවංක ලෙස දෙවියන් වහන්සේට ගරුබිය පාන්නාහ. ඔවුන් සියල්ලෝ වැරදි අතට තමන් මංමුලා කළ බොරු දෙවිවරුන් අත්හරින්නෝ ය. 7 තමන්ගේ දැහැමි කල්ක්‍රියාවෙන් ඔව්හු සදාතන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නෝ ය. ඒ දවස්වල ඉතිරි වන සියලු ඉශ්රායෙල්වරු අවංක සිතින් දෙවියන් වහන්සේ සිහි කරන්නෝ ය. ඔව්හු ආපසු පැමිණ ජෙරුසලමෙහි රැස් වී ඉන්පසු තමන්ට ම අයිති වන ආබ්‍රහම්ගේ දේශයෙහි සුරැකි ව වසන්නෝ ය. අවංක ලෙස දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය. තවද පාපයන් සහ දුෂ්ටකම් කරන්නෝ මිහි පිටින් තුරන් වන්නෝ ය.
8 ”දැන් ඉතින් මාගේ දරුවෙනි, මම ඔබට මේ වගකීම පවරමි. දෙවියන් වහන්සේට අවංක ලෙස වැඳුම්පිදුම් කොට උන් වහන්සේ කැමැති දේ කරන්න. දැහැමි ලෙස ජීවත් වීමේ ද දන් දීමේ ද දෙවියන් වහන්සේ සිත්හි තබාගෙන නිතර ම අවංක ලෙස මුළු ශක්තියෙන් උන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීමේ ද වගකීම ඔබේ දරුවන් පිට පවරන්න.
9 ”එබැවින් ම පුත, නිනිවය නුවර අත්හැර යන්න. මෙහි නොනවතින්න. 10 ඔබේ මෑණියන් මා ළඟ භූමදාන කළ හැටියේ ම, ඒ දවසේ ම, කවදා හෝ වේවා නික්ම යන්න. විලිබිය රහිත ව දුෂ්ටකම සහ ද්‍රෝහිකම ජය ලබන බව මා දකින මේ දේශයේ ප්‍රමාද නොවන්න. මා දරුව, නාදබ් තම ආරක්ෂක පියා වන අහිකාර්ට කළ සියල්ල කල්පනා කරන්න. පණපිටින් සිටිය දී පවා පොළොව යටට යාමට ඔහුට බල කරනු නොලැබුවේ ද? එහෙත් ඔහු පීඩා දුන් තැනැත්තාගේ ඇස් ඉදිරිපිට ම දෙවියන් වහන්සේ ඒ අපරාධකාරයාට තම සාහසික ක්‍රියාවට වන්දි ගෙවීමට සැලැසූ සේක. මන්ද, අහිකාර් දිවා එළියට ආපසු පැමිණියේ ය. ඔහුගේ ජීවිතයට විරුද්ධ ව කැරලි ගැසූ නිසා දඬුවම් වශයෙන් නාදබ් සදාකාලික අන්ධකාරයට බැස ගියේ ය. අහිකාර්ගේ සත්ගුණවත් ක්‍රියා නිසා නාදබ් ඔහුට තැබූ මාරක උගුලට ඔහු අසු නො වී ය. තවද, නාදබ් ම තමාට විනාශය පමුණුවාගනිමින් ඔහු ම ඒ උගුලට අසු විය.
11 ”එබැවින් මාගේ දරුවෙනි, දන් දීමේ පලවිපාක ද, නපුරුකමේ ප්‍රතිඵලය වන මරණය ද ඔබට පෙනෙනු ඇත. දැන් මට හුස්ම ගැනීම දුෂ්කර ය.” ඔහු මෙසේ කී පසු ඔව්හු ඔහු යහන මත තැබූහ. ඔහු මියගියේ ය. ගරුසම්මාන ඇති ව ඔහු වළලන ලදී.
12 තෝබියස්, තම මව මියගිය පසු තම පියා අසල ඇය භූමදාන කෙළේ ය.
තෝබියස්ගේ මරණය
ඉන්පසු ඔහු තම බිරිඳ සහ දරුවන් රැගෙන මේදියාවට නික්ම ගියේ ය. ඔහු තම මාමණ්ඩි වූ රගුවෙල් සමඟ එක්බතානා නගරයෙහි වාසය කෙළේ ය. 13 ඔහු තම බිරිඳගේ වයස් ගත දෙමාපියන් සැලකිල්ලෙන් සහ ගෞරවයෙන් බලා හදාගෙන ඔවුන් මියගිය පසු මේදියාවේ එක්බතානාහි ඔවුන් භූමදාන කෙළේ ය. තම පියා වන තෝබිත්ගේ සම්පතට අමතර ව රගුවෙල්ගේ සම්පත ද තෝබියස්ට උරුම විය. 14 ඔහු ගරුබුහුමන් ලැබ අවුරුදු එක සිය දාහතක් ආයු වැළඳී ය. 15 ඔහු මියයන්නට පෙර නිනිවය නගරයේ විනාශය දිටී ය. මේදියාවේ රජු වූ සියක්ස්ආරෙස් විසින් නිනිවයෙහි වැසියන් සිරකරුවන් මෙන් මේදියාවට පිටුවහල් කරනු ලැබීම ඔහු දුටුවේ ය. දෙවියන් වහන්සේ නිනිවයෙහි වැසියන්ට ද අසිරියාවේ වැසියන්ට ද කළ සියල්ල ගැන ඔහු උන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. ඔහු මියයන්නට පෙර නිනිවයෙහි ඉරණම ගැන ප්‍රීති ප්‍රමෝද වීමට ඔහුට අවස්ථාව ලැබිණි. ඔහු සදහට ම දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය.
nice