ජුදිත්

– 1 වන පරිච්ඡේදය –

නෙබුකද්නෙශර් සහ අර්පක්ෂද්

1 නිනිවය නම් විශාල නගරයෙහි අසිරියන්වරුන් කෙරෙහි රජකම් කළ නෙබුකද්නෙශර්ගේ දොළොස් වන වර්ෂය විය. එකල්හි අර්පක්ෂද් තෙමේ, මේදයන් කෙරෙහි එක්බතානාහි රජකම් කෙළේ ය. 2 ඔහු මීටර් එකයි දශම හතක් දික් වූ, කපා පිළියෙළ කරන ලද ගල්වලින් නුවර වටේ තාප්පයක් ඉදි කෙළේ ය. මේ ප්‍රාකාරය මීටර් තිස් දෙකක් උස විය; මීටර් විසි දෙකයි දශම පහක් පළල් විය. 3 වාසල් දොරටු ළඟ ඔහු අඩිතාලමෙහි මීටර් විසි හතක් පළල් වූ ද මීටර් හතළිස් පහක් උස් වූ ද බලකොටු නැංවූයේ ය. 4 ඔහුගේ විශාල සේනාවට පිට වන්නට හැකි වන සේ ද, ඔහුගේ පාබල සේනාවට පෙළපාලි දැක්වීමට ඉඩ ඇති වන සේ ද, වාසල් දොරටු මීටර් තිස් දෙකක් උසට ද, මීටර් දහ අටක් පළලට ද විය.
5 මේ වකවානුවෙහි දී නෙබුකද්නෙශර් රජ රගවූ නම් ප්‍රදේශයෙහි පිහිටි විශාල තැනිතලාවෙහි දී අර්පක්ෂද් රජුට විරුද්ධ ව සටනට ආයේ ය. 6 කඳුකර ප්‍රදේශයේ සියලු ජනයා ද, යුප්‍රටීස් හා හිදාස්පෙස් ගංගා අසල ජීවත් වූ සියලු දෙනා ද ඉලාම්හි රජ වූ අරියොක්ට යටත් වූ තැනිතලාවල ජනයා ද, අර්පක්ෂද් රජුට පක්ෂ ව සිටියෝ ය. මෙසේ කල්දිය වැසියන්ගේ සටනට සහභාගි වීම සඳහා බොහෝ ජාතීහු රැස් වූවෝ ය. 7 අසිරියන්වරුන්ගේ රජ වූ නෙබුකද්නෙශර් පර්සියාවේ සියලු වැසියන්ට ද, සිලිෂිය, දමස්කය, ලෙබනොන්, අන්තිලෙබනොන් යන බටහිර දිශා භාගයෙහි ජීවත් වූ සියලු දෙනාට ද, මුහුද අද්දර ජීවත් වූ සියල්ලන්ට ද, 8 කාර්මල්, ගිලියද්, උත්තර ගලීලය හා එස්දාලොන් මහා මිටියාවත යන තැන්වල ජන සමූහයාට ද 9 සමාරියට හා ඊට යාබද නුවරවලට ද, ජොර්දානයෙන් එතෙර ජෙරුසලම, බෙතානිය, කෙලුස්, කාදෙෂ්, නයිල් ගංගාව, තාපෙන්නෙස්, රමසෙස් සහ මුළු ගෝෂෙන් ප්‍රදේශ ජනයාට ද 10 තානිස්ට හා මෙම්පිස්ට ඔබ්බෙන් විසූ ජනයාට ද, එතියෝපියේ සීමාවන් දක්වා මිසරයේ සියලු වැසියන්ට ද, පණිවුඩයක් යැව්වේ ය. 11 එහෙත් මේ රටවල වැසියෝ අසිරියන්වරුන්ගේ රජ වූ නෙබුකද්නෙශර්ගේ ආරාධනය නොසැලකු හෙයින් යුද්ධ ව්‍යාපාරය සඳහා ඔහුට එකතු නොවූ හ. ඔව්හු ඔහුට බිය නොවූ හ. මන්ද, ඔහු තනි වූ මිනිසෙකු මෙන් ඔවුන්ට පෙනීගිය හෙයිනි. එහෙයින් ඔව්හු, ඔහුගේ තානාපතීන් ලජ්ජාවට පත් කොට හිස් අතින් ආපසු යන්නට හැරියෝ ය. 12 එබැවින් නෙබුකද්නෙශර් මේ සියලු ප්‍රදේශවලට විරුද්ධ ව තද කෝපයෙන් ඇවුළුණේ ය. ඔහු ඔවුන්ගෙන් පළිගෙන සිලිෂිය, දමස්කය, සිරියාව යන මේ සියලු ප්‍රදේශයන් ද මො‍්වබ්වරුන්ගේත් අම්මොනිවරුන්ගේත් ජුදයාවේ සහ මිසරයේත් මුහුදු දෙකේ සීමාවන් දක්වා සියලු ප්‍රදේශ ද, විනාශ කිරීමට තමාගේ සිංහාසනයේ සහ රාජ්‍යයේ නාමයෙන් දිවුරුවේ ය.

අර්පක්ෂද්ට විරුද්ධ වූ යුද්ධ ව්‍යාපාරය

13 දස සත් වන වර්ෂයේ දී ඔහු තම හමුදාවන් සමඟ අර්පක්ෂද් රජුට විරුද්ධ ව සටනට ගොස් මේ සටනේ දී ඔහු පරාජය කෙළේ ය. ඔහු අර්පක්ෂද්ගේ මුළු හමුදාව ද, අශ්ව සේනාව ද, යුද්ධ රථ ද පලවා හැර, 14 ඔහුගේ නුවරවල් යටත් කරගෙන එක්බතානා කරා පැමිණියේ ය. ඔහු එහි වූ බලකොටු අල්ලාගෙන, වෙළඳ පොලවල් කොල්ලකා ඒ නුවර පෙර ශ්‍රී විභූතිය අනුන්ගේ සරදමට ලක් කෙළේ ය. 15 තවද, ඔහු රගවූ නම් කඳුකර ප්‍රදේශයෙහි දී අර්පක්ෂද් අල්වා තම හෙල්ලවලින් ඔහුට ඇන ඔහු සහමුලින් විනාශ කරදැමුවේ ය.
16 ඉන්පසු ඔහු තම භටයන් ද, ඔවුන්ට එකතු වී සිටි සමූහයන් ද කැටුව ආපසු ගියේ ය. ඔව්හු යුද්ධයට සැරසුණු ප්‍රමාණ නොකළ හැකි මිනිස් සන්නිපාතයක් වූ හ. ඔහු ද ඔහුගේ හමුදාව ද කරදරවලින් මිදී දවස් එක සිය විස්සක් උත්සවාකාරයෙන් ගත කළහ.

 

– 2 වන පරිච්ඡේදය –

බටහිර යුද්ධ ව්‍යාපාරය

1 දස අට වන වර්ෂයේ පළමු වන මාසයේ විසි දෙ වන දින අසිරියන්වරුන්ගේ නෙබුකද්නෙශර් රජ, තමා කියා තිබූ පරිදි මුළු ලෝකයෙන් පළිගැනීමට අදහස් කළ බවට ආරංචියක් රජ මාලිගාවෙහි පැතිර ගියේ ය. 2 ඔහු තමාගේ සියලු සේනාපතීන් ද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද කැඳවා ඔවුන් සමඟ රහස් මන්ත්‍රණයක් පවත්වා මේ සියලු රටවල් සහමුලින් විනාශ කරන බවට තමාගේ මුවින් ම ප්‍රකාශනයක් කෙළේ ය. 3 රජුගේ ඉල්ලීම නොපිළිගත් සියලු දෙනා විනාශ කර දමන්නට නියෝගයක් ද කරන ලදි. 4 මන්ත්‍රණය නිම වූ පසු, අසිරියන්වරුන්ගේ රජු වන නෙබුකද්නෙශර් තම ප්‍රධාන සෙන්පතියා වූ ද තමාට පමණක් දෙවැන්නා වූ ද හොලෝපර්නස් කැඳවා, 5 ඔහුට කතා කොට මෙසේ කීයේ ය: ‍
”මුළු ලෝකයේ ස්වාමියා වන මහ රජ තෙම මෙසේ කියයි: ‘ඔබ මෙතැනින් පිටත් ව ගොස් වික්‍රමාන්විතයන් වශයෙන් පිළිගන්නා ලද මිනිසුන් එක සිය විසි දාහකින් යුත් පාබළ සේනාවක් ද, දොළොස් දාහක් අශ්වාරො‍්හකයන් හා අශ්ව බල ඇණියක් ද ඔබ සමඟ ගෙන, 6 මුළු බටහිර ප්‍රදේශයට විරුද්ධ ව ඉදිරියට යන්න. මන්ද, මේ ජනයා මාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. 7 සටනට යෑමට අවශ්‍ය සියල්ල සූදානම් කර තැබීමට ඔවුන්ට අණ කරන්න. මන්ද, මාගේ බලවත් කෝපයෙන් මම ඔවුන්ට විරුද්ධ ව සටනට යන්නෙමි. මාගේ භටයන් මුළු පොළො‍් තලයෙහි ම සැරිසරනු ඇත. මම එය කොල්ලකන්නෙමි. 8 ඔවුන්ගෙන් තුවාළ ලත් අයගෙන් මිටියාවත් හා වියළි දිය පහරවල් පිරී යන්නේ ය. ඔවුන්ගේ මළකඳන් හිර වී ගංගාවෝ උතුරා යන්නො‍් ය. 9 මම ඔවුන් පෘථිවියේ කෙළවර දක්වා වහල්කමට ගෙන යන්නෙමි. 10 දැන් යන්න. මුළු ප්‍රදේශය මට යටත් කර දීමට ආරම්භ කරන්න. ඔව්හු තමන් ම ඔබට යටත් වන්නො‍් නම් ඔවුන්ට දඬුවම් කිරීමට කාලය පැමිණෙන තෙක් ඔවුන් මට ඉතිරි කරන්න. 11 ඔව්හු යටත් නොවන්නො‍් නම් ඔවුන්ගෙන් කිසිවෙකු දෙස අනුකම්පාවෙන් නොබලන්න. ඔබට භාර දෙන ලද මුළු ප්‍රදේශයෙහි ඔවුන් ඝාතනයට ද, කොල්ලයට ද පාවා දෙන්න. 12 මාගේ නාමයෙන් ද මාගේ ජීවමාන රාජ්‍ය බලයෙන් ද මම දිවුරා ඔබට කියමි. මේ සියලු දේ මම මාගේ හස්තයෙන් ඉටු කරන්නෙමි. 13 ඔබ ද ඔබේ ස්වාමියා ඔබට නියම කළ කිසිවක් අතපසු නොකර මාගේ ආඥා තවත් ප්‍රමාද නොකර අකුරට ම ක්‍රියාවේ යොදවන්න’ යනු”යි.
14 මෙය අසා තම මහ රජු ඉදිරියෙන් පිටත් ව ගිය හොලෝපර්නස් තෙමේ සියලු අධිපතීන් ද සේනාධිපතීන් ද, අසිරීය හමුදාවේ නිලධාරීන් ද සැණෙකින් කැඳවූයේ ය. 15 ඔහුගේ ස්වාමියා ඔහුට නියම කළ ප්‍රකාර තෝරාගත් භටයන් එක සිය විසි දාහක් පමණ ද, අශ්වාරො‍්හක දුනුවායන් දොළොස් දාහක් ද ඔහු මේ කටයුත්තට නියම කෙළේ ය. 16 ඔහු, ඔවුන් සියලු දෙනා මහා යුද්ධ ව්‍යාපාරයකට මෙන් සංවිධාන කෙළේ ය. 17 ඉන්පසු ඔහු හමුදාවේ මාර්ගෝපකරණ ගෙනයන පිණිස ඔටුවන්, බූරුවන් හා කොටළුවන් විශාල ගණනක් ද, ආහාරය සඳහා ගණන් නැති තරම් බැටළුවන් ද ගවයන් හා එළුවන් ද පිළියෙළ කෙළේ ය. 18 එක එක භටයාට හොඳට ම සෑහෙන ආහාර කොටසක් ද රාජ භාණ්ඩාගාරයෙන් රන් රිදී මුදල් රාශියක් ද දෙන ලද්දේ ය. 19 ඉන්පසු ඔහු තම රථවලින් ද අශ්වාරො‍්හකයන්ගෙන් හා තෝරාගත් පාබල සේනාවෙන් ද මුළු බටහිර ප්‍රදේශය යටත් කරන පිණිස නෙබුකද්නෙශර් රජුට පෙරටු ව යුද්ධය සඳහා තම මුළු හමුදාව සමඟ පිටත් ව ගියේ ය. 20 පළඟැටියන් හා වැලි හා සමාන, ගණන් කළ නොහැකි, අතිවිශාල මිශ්‍ර සේනාංකයත් හමුදාවේ අවසාන කොටස වශයෙන්, ගමන් කෙළේ ය.

හොලෝපර්නස්ගේ හමුදාවේ නැවතුම් පොළවල්

21 ඔව්හු නිනිවය නුවරින් පිටත් ව දවස් තුනක් තුළ බෙක්තිලෙත් තැනිතලාව දෙසට ගමන් කළහ. ඔව්හු බෙක්තිලෙත් සිට ගොස් ඉහළ සිලිෂියට උතුරෙන් පිහිටි කඳු අසල තමන්ගේ කූඩාරම් ගසාගත්තෝ ය. 22 එහි සිට හොලෝපර්නස් තම මුළු හමුදාව වූ පාබළ භටයන් ද, අශ්වාරො‍්හකයන් ද යුධ රථ ද සමඟ කඳුකර ප්‍රදේශයට නික්ම ගියේ ය. 23 ඔහු පූට් සහ ලූඩ් යන ප්‍රදේශ වනසමින් යමින් කෙලෙයොනට දකුණෙන් වූ පාළුකරය අද්දර විසූ රස්සිස්හි ජනයා ද ඉෂ්මායෙල් ජනයා ද කොල්ලකා, 24 යුප්‍රටීස් ගඟ දිගේ ගොස් මෙසොපොතේමිය හරහා ගමන් කරමින් අබිරොන් ඔය අසල වූ බලකොටු ඇති සියලු නුවරවල් සහමුලින් බිඳ හෙලා මුහුද දක්වා ගියේ ය. 25 ඉන්පසු ඔහු සිලිෂියේ ප්‍රදේශයන්ට පහර දී ඔහුට විරුද්ධ ව නැඟි සියලු දෙනා කැබලි කොට කපා, අරාබිය ඉදිරියෙහි පිහිටි ජපෙත්හි දකුණු සීමාවන් දක්වා ගොස්, 26 සියලු මේදවරුන් වටලා ඔවුන්ගේ කූඩාරම් පුළුස්සාදමා ඔවුන්ගේ බැටළු ගාල් කොල්ලකෑවේ ය. 27 ඉන්පසු ඔහු අස්වැන්න කාලයේ දී දමස්කස් මිටියාවතට බැස ගොස්, කෙත්වලට ගිනි තබා බැටළු රැළවල් හා ගවපට්ටි විනාශ කර, නගර වනසා, පිටිසරබද පළාත් ආලපාළු කර සියලු තරුණයන් කඩුවෙන් මරාදැම්මේ ය. 28 මුහුදු වෙරළ අසල එනම්, සීදොන්හි ද, තීර්හි ද, සුර්හි ද, ඔකිනාහි ද, ජම්නියාහි ද ජීවත් වූ සියලු ජනයෝ බියෙන් ද චකිතයෙන් ද කම්පා වූවෝ ය. අසෝටස්හි ද අස්කෙලොන්හි ද ජනයා භීතියෙන් වෙවුලන්නට වූහ.

 

– 3 වන පරිච්ඡේදය –

සාම නියෝජිතයන් යැවීම

1 එවිට සාම ගිවිසුමක් යැද මෙසේ කියන ලෙස ඔහු වෙත ඒ පෙදෙස්වලින් දූතයෝ යවන ලද්දෝ ය: 2 ”අපි මහා නෙබුකද්නෙශර් රජුගේ මෙහෙකරුවෝ වෙමු, අපි ඔබ ඉදිරියෙහි මුණින් වැටී සිටිමු. අප සම්බන්ධයෙන් ඔබ කැමැති දෙයක් කරනු මැනවි. 3 අපගේ ගොවි පොළවල් ද, අපගේ සියලු වතුපිටි ඉඩ කඩම් ද, අපගේ සියලු කෙත්බිම් ද, අපගේ ගවබැටළුවන් ද, අපගේ කඳවුරුවල සියලු බැටළු ගාල් ද ඔබට රිසි දෙයක් කිරීම පිණිස බාර දෙමු. ඔබ කැමැති ලෙස ඒවා භාවිත කරන්න. 4 අපගේ නුවරවල් පවා ද, එහි වැසියෝ ද ඔබේ ප්‍රයෝජනය සඳහා ය. යන්න, ඒවා දෙසට ඔබ කැමැති පරිදි ඉදිරියට යන්න.” 5 මේ මනුෂ්‍යයෝ හොලෝපර්නස් වෙතට ගොස් ඔහු ඉදිරියෙහි පෙනී සිට මේ ආකාරයෙන් තමන්ගේ පණිවුඩය කී හ. 6 ඉන්පසු හොලෝපර්නස් තම හමුදාව සමඟ වෙරළ දෙසට බැස ගොස් බලකොටු ඇති නුවරවල ආරක්ෂක භට පිරිස් නවතින්නට සලසා උදව්කාර පිරිසක් වශයෙන් තෝරාගන්නා ලද මිනිසුන් බඳවාගත්තේ ය. 7 මේ නුවරවල වැසියෝ ද, අවට ප්‍රදේශවල වැසියෝ ද මල්දම් පැළඳ, කිංකිණි සහිත රබන්වල ශබ්දයට නටමින් ඔවුන් ගෞරවයෙන් පිළිගත්තෝ ය. 8 එහෙත් ඔහු ඔවුන්ගේ සියලු පූජ්‍ය ස්ථාන විනාශ කර ඔවුන්ගේ පූජනීය වෘක්ෂයන් කපාදැමී ය. ඔහු මෙසේ කෙළේ සියලු ජාතික දේව රූප විනාශ කිරීමට ද, ජාතීන් ලවා නෙබුකද්නෙශර්ට වන්දනා කරවීමට ද, සියලු භාෂාවන් හා ජාතීන් විසින් ඔහු දෙවියකු මෙන් සැලකීමට බල කිරීමට ද ඔහු ලබා තිබුණු නියෝගය අනුව ය. 9 මෙසේ ඔහු ජුදයාවේ මහා කඳු වැටියට මූණ පාමින් පිහිටි ග්‍රාමයක් වූ දෝතාන් අසල එස්ද්‍රලොන් අද්දරට පැමිණියේ ය. 10 ඔහු ගෙබා හා ශිතොපොලිස් නම් නගර අතර කඳවුරු බැඳ හමුදාවට අවශ්‍ය ආහාර නැවත සම්පූර්ණ කරගනු සඳහා එහි මුළු මාසයක් නැවතුණේ ය.

 

– 4 වන පරිච්ඡේදය –

ජුදයාව සෝදිසියෙන් සිටීම

1 අසිරියවරුන්ගේ රජ වූ නෙබුකද්නෙශර්ගේ ප්‍රධාන සෙන්පතියා වූ හොලෝපර්නස් නොයෙක් මනුෂ්‍ය ජාතීන්ට කළ දේවල් ද, ඔවුන්ගේ පූජ්‍ය ස්ථාන කොල්ලකා ඒවා විනාශ කළ හැටි ද දැනගත් ජුදයාවෙහි වාසය කළ ඉශ්රායෙල්වරු, 2 ඔහු එළඹෙන බව අසා මහත් සන්ත්‍රාසයට පත් ව ජෙරුසලම ගැන ද දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගැන ද බියෙන් වෙවුලන්නට පටන්ගත්හ. 3 ඔවුන් වහල්කමින් මිදී සිය රටට හැරී ආයේ නොබෝදා ය. ජනයා ජුදයාවෙහි පදිංචි කරවීම ද, දූෂිත කරන ලද පූජා භාණ්ඩ හා උපකරණත්, පූජාසනයත්, දේව මාලිගාවත් පවිත්‍ර කිරීම ද මෑත දී වූ සිද්ධියකි. 4 එහෙයින් ඔව්හු මුළු සමරියාවට ද, කොනාට ද, බෙත්හො‍්රොන්ට ද, බෙල්මායින්ට ද, ජෙරිකෝවට ද, කෝබාට ද, එසෝරාට සහ සාලෙම් මිටියාවතට ද අනතුරු ඇඟවූවෝ ය. 5 ඔව්හු උස් කඳු ශිඛර අල්ලාගෙන එහි වූ ග්‍රාමවල ආරක්ෂා සංවිධාන යෙදූහ. කෙත්වල අස්වැන්න කපා රැස් කර තිබුණු හෙයින් වහා සිදුවන්නට යන යුද්ධය සඳහා ආහාර තොග පිළියෙළ කළො‍් ය. 6 එකල ජෙරුසලමෙහි විසූ නායක පූජක ජුවකිම් නමැත්තා, එස්ද්‍රලොන් ඉදිරියෙහි දෝතයින් මිටියාවත දෙසට තිබුණු නුවරවල් වූ බෙතුලියාවේ ද බෙතොමෙස්තායිම්හි ද වැසියන්ට ලියා දන්වමින්, 7 ජුදයාවට ඇති වූ එක ම ප්‍රවේශ මාර්ගය වන කඳුවල පටු කපොලු අත්කර ගන්නට ඔවුන්ට නියම කෙළේ ය. මන්ද, පටු පාරෙන් උරෙන් උර ගැටී, දෙදෙනකුට වඩා එක විට ම යන්නට නොහැකි වීම හේතුකොටගෙන සටනට එන්නන් නැවැත්වීම පහසු වූ හෙයිනි. 8 ඉශ්රායෙල්වරු නායක පූජක ජුවකිම්ගේ හා ප්‍රජා මූලිකයන්ගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ අණට කීකරු වූවෝ ය.

ජනතාව යාච්ඤා කිරීම

9 ඉශ්රායෙල්හි සියලු ජනයා බලවත් උනන්දුවෙන් දෙවියන් වහන්සේට හඬ නඟා උන් වහන්සේ ඉදිරියෙහි යටහත් පහත් වූවෝ ය. 10 ඔව්හු ද, ඔවුන්ගේ භාර්යාවෝ ද, ඔවුන්ගේ දරුවෝ ද, ඔවුන්ගේ ගවබැටළුවෝ ද, ඔවුන් සමඟ ජීවත් වූ විදේශීයයෝ ද, කුලියට ගන්නා ලද කම්කරුවෝ හා වහල්ලු ද, ඉණ වටා ගෝනි රෙදි හැඳගත්හ. 11 ස්ත්‍රීන් හා ළමයින් ඇතුළු ජෙරුසලමේ සියලු ඉශ්රායෙල්වරු ශුද්ධස්ථානය ඉදිරියෙහි මුණින් වැටී සෝ දුකින් තමන්ගේ හිස්වල අළු තවරාගෙන, තමන්ගේ දෑත් සමිඳාණන් වහන්සේ වෙත දිගු කළො‍් ය. 12 ඔව්හු පූජාසනය ද ගෝනි රෙද්දකින් වට කළහ. ඔව්හු මහත් ශබ්ද නඟා එක හෙලා මහත් උද්‍යෝගයෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් තමන්ගේ දරුවන් ඝාතනයට පාවා නොදෙන ලෙස ද, තමන්ගේ භාර්යාවන් බලෙන් පැහැරගෙන යනු නොලබන ලෙස ද, තමන්ගේ උරුමය වූ නුවරවල් විනාශයට පාවා නොදෙන ලෙස ද, ශුද්ධස්ථානය දූෂ්‍ය කිරීමෙන් ද කෙලෙසීමෙන් ද විජාතීන්ට දුෂ්ට ලෙස ප්‍රීති වීමට ඉඩ නොදෙන ලෙස ද ඉල්ලා සිටියෝ ය. 13 සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ හඬට සවන් දී ඔවුන්ගේ සංවේගය ගැන කරුණාන්විත ව බැලූ සේක.
මුළු ජුදාවෙහි ද ජෙරුසලමෙහි ද ජනීජනයා බොහෝ දවස් ගණනක් සර්ව බලධාරී සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය ඉදිරියෙහි උපවාසයෙන් සිටියෝ ය. 14 නායක පූජක ජුවකිම් ද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආවතේව කළ පූජකයන් හා අනෙක් සේවකයන් ද යන මේ සියලු දෙනා ගෝනි රෙදි ඇඳගෙන නිරන්තර දවන යාග පූජා ද, භාර පූජා ද, ජනයාගේ ස්වේච්ඡා පඬුරු ද ඔප්පු කළො‍් ය. 15 තමන්ගේ හිස් වෙළුම් පිට අළු තවරාගෙන ඔව්හු ඉශ්රායෙල් ජාතිය දෙස කරුණාවෙන් බලන ලෙස සමිඳාණන් වහන්සේගෙන් මහත් ඇවිටිල්ලෙන් ඉල්ලා සිටියෝ ය.

 

– 5 වන පරිච්ඡේදය –

හොලෝපර්නස්ගේ කඳවුරෙහි යුද්ධ මන්ත්‍රණය

1 ඉශ්රායෙල් ජනයා යුද්ධයට සූදානම් වෙමින් සිටින්නො‍් යයි ද, ඔව්හු කඳුවල පටු පාරවල් වසාදමා උස් කඳු මුදුන්වල ආරක්ෂා සංවිධාන යොදා මිටියාවත්වල අවහිර පිළියෙළ කළො‍් යයි ද අසිරියන් හමුදාවේ ප්‍රධාන සෙන්පතියා වූ හොලෝපර්නස්ට සැළ කරන ලදී. 2 එවිට ඔහු අතිශයින් කෝපාවිෂ්ට වී මො‍්වබ්වරුන්ගේ සියලු අධිපතීන් ද, අම්මොනිවරුන්ගේ සියලු සෙන්පතීන් ද මුහුදු වෙරළබඩ සියලු ප්‍රාදේශීය පාලකයන් ද කැඳවූයේ ය. 3 ඔහු කානානිය ජනයාට කතා කොට, ”කඳුකර ප්‍රදේශයෙහි වාසය කරන මේ ජනයා කවුරු ද කියා මට දන්වන්න. ඔවුන් වාසය කරන නගර මොනවා ද? ඔවුන්ගේ හමුදාව කෙතෙක් විශාල ද? ඔවුන්ගේ ශක්තිය හා බලය කුමක්හි පිහිටා තිබේ ද? ඔවුන් පාලනය කරන්නා වූ ද, ඔවුන්ගේ සේනාව හසුරුවන්නා වූ ද රජ කවරෙක් ද? 4 බටහිර ප්‍රදේශයේ අනෙක් සියලු වැසියන් කළාක්මෙන් මා හමුවීමට පැමිණීම ඔවුන් සුළු කොට සැලකුවේ මන්දැ”යි විචාළේ ය.
5 සියලු අම්මොනිවරුන්ගේ ප්‍රධානියා වූ අකියෝර් කතා කොට ඔහුට මෙසේ උත්තර දුන්නේ ය: ”ඔබේ මෙහෙකරුවා කියන්නට යන දෙයට මාගේ ස්වාමීනි, කරුණාකර සවන් දෙත් වා! ඔබට ඉතා කිට්ටුවෙන් වසන මේ කඳුකර ප්‍රදේශයේ ජනයා ගැන ඔබට සත්‍ය තොරතුරු දන්වන්නෙමි. ඔබේ මෙහෙකරුවාගේ මුවින් බොරුවක් පිටවනු නැත. 6 මේ ජනයා කල්දිවරුන්ගෙන් පැවත එන්නො‍් ය. 7 අති පුරාණයේ දී කල්දියාවෙහි ජීවත් වූ තමන්ගේ පියවරුන්ගේ දෙවිවරුන් අනුව යන්නට අකමැති වූ හෙයින් ඔව්හු ගොස් මෙසොපොතේමියාවෙහි පදිංචි වූවෝ ය. 8 ඔව්හු තම මුතුන්මිත්තන්ගේ ක්‍රියා මාර්ගය ඉවත ලා තමන් දැනගෙන සිටි ස්වර්ගයේ දෙවියන් වහන්සේට වන්දනා කළො‍් ය. ඔව්හු තමන්ගේ දෙවිවරුන් ඉදිරියෙන් පිටුවහල් කරන ලදුව මෙසොපොතේමියාවට පලා ගොස් බොහෝ කලක් එහි ජීවත් වූවෝ ය. 9 ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔවුන්ට තමන්ගේ වාසස්ථානය හැරදමා කානාන් දේශයට පිටත් ව යන්නට නියම කළ විට ඔව්හු එහි ගොස් පදිංචි වී රන් රිදී ද විශාල ගව පට්ටි ද රැස් කරගත්තෝ ය. 10 ඊළඟට ඔව්හු, කානාන් දේශයෙහි සාගතයක් පැතිර ගිය හෙයින් මිසරයට බැස ගොස් ආහාර ඇති තෙක් එහි ජීවත් ව සිටියෝ ය. එහිදී ඔව්හු අති විශාල ජනකායක් වී ගණන් නොකළ හැකි තරම් මහා ජාතියක් වූවෝ ය. 11 එහෙත් මිසරයේ රජ ඔවුන්ට විරුද්ධ වී ඔවුන් නොනිසි සේ තමාගේ ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ට ගඩොල් සෑදීමට බල කෙළේ ය. ඔහු ඔවුන් සිටි තත්ත්වයෙන් පහත හෙලා ඔවුන් වහල් කමට ගත්තේ ය. 12 ඔවුන් තමන්ගේ දෙවියන් වහන්සේට හඬ නැඟුව විට උන් වහන්සේ මිසර දේශයට සුව කළ නොහැකි වංසගතවලින් පහර දුන් සේක. එවිට මිසර වැසියෝ ඔවුන් රටින් නෙරපා දැමුවෝ ය. 13 දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි රතු මුහුද වියැළී යන්නට සැලැසූ සේක; 14 සීනයි හා කාදෙෂ්-බර්නේය ඔස්සේ ඔවුන්ට මඟ පෙන්වූ සේක. කාන්තාරයේ සියලු වැසියන් එළවාදැමූ පසු, 15 ඔව්හු අම්මොනිවරුන්ගේ දේශයෙහි පදිංචි වී තමන්ගේ ශක්තියෙන් හෙෂ්බොන්හි සියලු වැසියන් සහමුලින් වැනසුවෝ ය. ඉන්පසු ඔව්හු ජො‍්ර්දාන් ගඟෙන් එතෙර වී, 16 මුළු කඳුකර ප්‍රදේශය අල්ලාගෙන තමන් ඉදිරියෙහි කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ජෙබුසිවරුන් ද සෙකිමිවරුන් ද එසේ ම සියලු ගිර්ගාෂිවරුන් ද එළවාදමා බොහෝ අවුරුදු ගණනක් එහි ජීවත් වූවෝ ය. 17 ඔවුන් තමන්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි පව් නොකර සිටි තෙක් සෞභාග්‍යය ඔවුන් සමඟ විය. මන්ද, දුෂ්ටකමට වෛර කරන දෙවි කෙනෙකු ඔවුන්ට සිටි හෙයිනි. 18 එහෙත් උන් වහන්සේ ඔවුන්ට නියම කළ මාර්ගයෙන් ඔවුන් ඉවතට හැරුණු විට ඔවුන්ගෙන් සමහරු නොකඩවා වූ යුද්ධවලින් සම්පූර්ණයෙන් විනාශ වී ගියෝ ය. ඉතිරි අය පරදේශයන්හි වහල්කමට ගෙනයන ලද්දෝ ය. ඔවුන්ගේ දේව මාලිගාව සහමුලින් බිඳ දමන ලද්දේ ය. ඔවුන්ගේ නුවරවල් සතුරන්ගේ බලයට යටත් විය. 19 එවිට ඔව්හු තමන්ගේ දෙවියන් වහන්සේ වෙතට නැවත හැරී තමන්ගේ විප්‍රවාසයෙන් හා තමන් විසිරගිය තැන්වලින් නැවත නැඟ අවුත් ඔවුන්ගේ දේව මාලිගාව තිබෙන ජෙරුසලම නැවත අයිති කරගෙන ජනශුන්‍ය ව තිබුණ කඳුකර ප්‍රදේශයෙහි නැවත ජනයා පදිංචි කෙරෙව්වෝ ය. 20 දැන් ඉතින් අධිපතියාණෙනි, සමිඳුනි, මේ ජනයා තුළ යම් වරදක් ඇත්තේ නම් ඔව්හු තමන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කළො‍් නම් ඔවුන් පරාජය වීමට හේතුවක් ඇත්තේ දැ යි පරිස්සමින් පරීක්ෂා කර බලමු. ඉන්පසු අපි පෙරටුව ගොස් ඔවුන්ට පහර දෙමු. 21 එහෙත් ඔවුන්ගේ ජාතිය නිර්දෝෂ නම් මාගේ සමිඳුනි, ආක්‍රමණයෙන් වැළකෙත් වා! මන්ද, දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් ආරක්ෂා කරන බවට සැකයක් නැති හෙයිනි. එවිට අපි මුළු ලෝකයාගේ සිනහවට භාජනය වන්නෙමු.”
22 අකියෝර් මෙසේ කතාව නිම කළ විට කූඩාරම වටේ රැස් ව සිටි ජන සමූහයා විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට පටන්ගත්තෝ ය. හොලෝපර්නස්ගේ ජ්‍යෙෂ්ඨ මුලාදෑනියෝ ද වෙරළේ සියලු වැසියෝ ද, මො‍්වබ්වරු ද, ඔහු කෑලි කෑලි කොට ඉරා දමන්නට යෝජනා කළො‍් ය. 23 ”අප ඉශ්රායෙල්වරුන්ට බිය වන්නේ කුමට ද? ඔව්හු වනාහි ශක්තියක් හො‍් බලයක් හො‍් නොමැති මනුෂ්‍ය වර්ගයකි. දරුණු ආක්‍රමණයකට විරුද්ධ ව සිටීමට ඔවුන්ට නොපිළිවන. 24 එහෙයින් අපි යමු; පෙරට යමු. අපේ ස්වාමීන් වන හොලෝපර්නස් තුමනි, ඔබේ හමුදාව ඔවුන් එක කටින් ගිලදමනු ඇතැ”යි ඔව්හු කීවෝ ය.

 

– 6 වන පරිච්ඡේදය –

අකියෝර් ඉශ්රායෙල්වරුන් වෙත යවනු ලැබීම

1 මන්ත්‍රණ සභාව අවට රැස් වී සිටි ජනයා අතර කලබලය සංසිඳුණු පසු අසිරිය හමුදාවේ ප්‍රධාන සෙන්පති වූ හොලෝපර්නස් විදේශික සමූහයා සහ අමෝරිවරුන් ඉදිරිපිට අකියෝර්ට මහත්සේ දෝෂාරො‍්පණය කරමින් මෙසේ කීවේ ය: ”අකියෝර්, තා ද කුලියට සේවාකම් කරන, 2 තගේ අම්මොනිවරුන් ද අද අප අතර දිවැසිවරුන් මෙන් ක්‍රියා කරන්නටත්, ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව යුද්ධයට යාමෙන් අප වළක්වන්නටත් තෝ කවරෙක් ද? ඔවුන්ගේ දෙවියන් ඔවුන් ආරක්ෂා කරති යි තෝ අඟවන්නෙහි ද? නෙබුකද්නෙශර් නොවේ නම් ඔවුන්ගේ දෙවියෝ කවරෙක් ද? ඔහු තම බලය විදහා පා ඔවුන් පොළොව මතුපිටින් නොපෙනී යන්නට සලසනු ඇත. සත්තකින් ම, ඔවුන්ගේ දෙවියන් ඔවුන් නොගළවනු ඇත. 3 එහෙත් ඔහුගේ මෙහෙකරුවන් වන අපි ඔවුන් එක මිනිසෙකු මෙන් කුඩු කරදමන්නෙමු. අපගේ අශ්වාරො‍්හක හමුදාවේ බලය යටපත් කරන්නට ඔවුන්ට නොහැකි වන්නේ ය. 4 අපි ඔවුන් පුළුස්සා දමන්නෙමු. ඔවුන්ගේ කඳු වැටි ඔවුන්ගේ ලේ උරාගෙන, එයින් පෙඟී යනු ඇත. ඔවුන්ගේ මිටියාවත් ඔවුන්ගේ මළකඳන්වලින් පිරී යනු ඇත. අපට විරො‍්ධය දක්වන්නට නොහැකි ව ඔව්හු පළමුවැන්නා පටන් අන්තිමයා දක්වා සියලු දෙනා මරනු ලබන්නො‍් ය. මුළු ලෝකයට ස්වාමියා වන නෙබුකද්නෙශර් රජ මෙසේ කියයි: ‘ඔහු කතා කළොත්, ඔහුගේ වචන නිෂ්ඵල නොවන්නේ ය. 5 එහෙයින් අකියෝර්, කුලියට සේවා කරන අම්මොනි ජාතිකය, දුරදිග නොබලා මේ කතාව කළ තෝ අද පටන් මිසරයෙන් ගැළවී ආ මේ රොත්තගෙන් මා පළිගන්නා තෙක් මගේ මුහුණ නොදකින්නෙහි ය. 6 එවිට මාගේ භටයන්ගේ කඩු ද, මාගේ මෙහෙකරුවන්ගේ හෙල්ල ද තගේ ඇළපත සිදුරු කරනු ඇත. මා ඉශ්රායෙල්වරුන්ට පහර දෙන විට තුවාළ කරන ලද්දවුන් අතරේ තා ද වැටෙනු ඇත. 7 දැන් මාගේ මෙහෙකරුවෝ තා කඳුකර ප්‍රදේශයට ගෙන ගොස් පර්වත කපොලු මැද පිහිටි නුවරක් ළඟ තබා යන්නො‍් ය. 8 ඔවුන්ගේ විනාශයට කොටස්කාරයකු නොවී තෝ මැරෙන්නෙහි ය. 9 ඒ නුවරවල් අල්ලාගනු නොලබන්නේ ය, යන සැඟවුණ බලාපොරොත්තුවක් තා තුළ ඇත්නම් තගේ මුහුණ මැලවෙන්නේ කුමට ද? මම කතා කෙළෙමි. මාගේ වචනවලින් කිසිවක් නිෂ්ඵල නොවන්නේ ය.’ ”
10 මෙසේ කී පසු අකියෝර් අල්ලා බෙතුලියාවට ගෙන ගොස් ඔහු ඉශ්රායෙල්වරුන්ගේ අත්වලට පාවා දෙන්නට හොලෝපර්නස් තම කූඩාරම් ආවතේවකාරයන්ට අණ කෙළේ ය. 11 ඔව්හු ඔහු අල්ලා කූඩාරමෙන් පිටතට ගෙන මිටියාවත හරහා ගොස් කඳුකර ප්‍රදේශය බලා ගමන් කර බෙතුලියාවට පහළින් පිහිටි උල්පත් කරා පැමිණියෝ ය. 12 නුවර වැසියෝ ඔවුන් දුටු කෙණෙහි ම තමන්ගේ යුද්ධායුධ රැගෙන නුවරින් පිටතට ගොස් කඳු මුදුන් කරා පැමිණියෝ ය. ඒ අතරතුර ගල් විදින්නො‍් හොලෝපර්නස් යැවූ මිනිසුන් කන්දට නැඟීමෙන් වළක්වනු සඳහා ඔවුන් දෙසට ගල් විද්දෝ ය. 13 එහෙත් ඔව්හු කඳු බෑවුම්වලට මුවා වී අකියෝර් බැඳ කන්ද පාමුල තබා තමන්ගේ ස්වාමියා වෙතට හැරී ගියෝ ය.
14 එවිට ඉශ්රායෙල්වරු තමන්ගේ නුවරින් බැස අවුත් ඔහු ළඟ නැවතී ඔහු මුදා බේතුලියාවට ගෙන ගොස් නුවර ප්‍රධානීන් ඉදිරියෙහි ඔහු සිටෙව්වෝ ය. 15 එකල්හි නුවර ප්‍රධානීන් වූවෝ සිමියොන්ගේ ගෝත්‍රයෙහි මීකාගේ පුත් වන උසියා, ගොතොනියෙල්ගේ පුත් වන චබ්රිස් සහ මෙල්කියෙල්ගේ පුත් වන චාර්මිස් යන මොවුහු ය. 16 මොවුහු නුවර ප්‍රජා මූලිකයන් කැඳවුවෝ ය. තරුණයෝත් ස්ත්‍රීහූත් මේ රැස්වීමට කඩිනම් කර ගියහ. අකියෝර් ජනයා විසින් වට කරන ලදුව එහි සිටෙව්වේ ය. උසියා සිදු වූ දේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කෙළේ ය. 17 ඔහු උත්තර දෙමින් හොලෝපර්නස්ගේ මන්ත්‍රී මණ්ඩලයෙහි තමා කී දේවල් ද, අසිරිය අධිපතීන් ඉදිරියේ තමා කී දේවල් ද, හොලෝපර්නස් ඉශ්රායෙල් ජාතියට විරුද්ධ ව කී පාරට්ටුව ද යන මේ සියල්ල ගැන ඔවුන්ට දැන්වූයේ ය. 18 එවිට සෙනඟ මුණින් වැටී දෙවියන් වහන්සේට නමස්කාර කර මහ හඬින් කියන්නාහු, 19 ”සමිඳාණන් වහන්ස, ස්වර්ගයේ දෙවියන් වහන්ස, ඔවුන්ගේ අධිකතර අහංකාරය ගැන සැලකිල්ලෙන් සිතා බලනු මැනව. අපේ ජාතියේ අවමානය ගැන අනුකම්පා කළ මැනව. ඔබට කැපවූවන් දෙස අද දවසේ දී කරුණාවෙන් බැලුව මැනව”යි පැවසුවෝ ය. 20 ඉන්පසු ඔව්හු අකියෝර්ගේ බිය සැක දුරු කර ඔහු සනසා ඔහුට මහත් සේ ප්‍රශංසා කළො‍් ය. 21 රැස්වීමෙන් පසු උසියා ඔහු තමාගේ ගෙදරට කැඳවාගෙන ගොස් ප්‍රජා මූලිකයන්ට භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය. ඒ මුළු රාත්‍රියේ ම ඔව්හු ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ උදව් ඉල්ලා යාච්ඤා කළහ.

 

– 7 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ ව්‍යාපාරය

1 පසු දින හොලෝපර්නස් කඳවුර විසුරුවා හැර බෙතුලියාවට විරුද්ධ ව යන්නට ද, කඳුවල පටු පාරවල් අයිති කරගන්නට ද, මේ ආකාරයෙන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන අරඹන්නට ද, තම හමුදාවටත්, තමාට එකතු වී සිටි ආධාරකාර මුළු භට සමූහයාටත් අණ දුන්නේ ය. 2 යුද්ධයට සැරසුණු සියලු භටයෝ ඒ දවසේ දී ම පිටත් ව ගියහ. ඔවුන්ගේ සංග්‍රාමික බල සේනාව පාබල හේවායන් එක සිය විසි දාහකින් ද අශ්වාරො‍්හක භටයන් දොළොස් දාහකින් ද යුක්ත විය. ඔවුන් සමඟ ම ගමනට අවශ්‍ය බඩු හා උපකරණ ද ඒවා රැක බලාගනිමින් පයින් ගිය අති විශාල පිරිසක් ද වූහ. 3 ඔව්හු බෙතුලියාව අසල මිටියාවතෙහි උල්පතට නුදුරින් කඳවුර පිහිටුවා දෝතාන් පටන් බෙල්බයින් දක්වා පළලට ද, බෙතුලියාව පටන් එස්ද්‍රලොන් ඉදිරිපිට පිහිටි සියමොන් දක්වා දිගට ද විසිරී ගියෝ ය. 4 මේ විශාල ජන සන්නිපාතය දුටු විට ඉශ්රායෙල්වරු භයින් ත්‍රස්ත ව තමන් අතර කතා කරමින්, ”ඔවුන් මුළු දේශය ආලපාළු කරනු ඇත; ඉතා උස් වූ කඳු මුදුන්වලට හො‍් දුර්ග මාර්ගවලට හො‍් හෙල්වලට හො‍් ඔවුන්ගේ මහත් බර උසුලන්නට නොහැකි වේ ය”යි කීවෝ ය. 5 සෑම මිනිසා ම තමාගේ යුද්ධායුධ අතට ගත්තේ ය. ඔව්හු තමන්ගේ උස් අට්ටාල පිට ගිනිමැල දල්වා මුළු රාත්‍රියෙහි ම මුර තබාගෙන සිටියෝ ය.
6 දෙ වන දවසෙහි දී හොලෝපර්නස් බෙතුලියාවෙහි සිටි ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි තම මුළු අශ්වාරො‍්හක හමුදාව විදහා පෙන්වූයේ ය. 7 ඔහු ඔවුන්ගේ නුවරට යන කඳු බෑවුම් පරීක්ෂා කර බැලුවේ ය. ජල උල්පත් තිබුණු තැන් සොයා ඒවා අල්ලාගෙන එහි මුර කණ්ඩායම් පිහිටුවා තම හමුදාව වෙත හැරී ගියේ ය. 8 එවිට ඒසව් ජනයාගේ අධිපතීහු ද මො‍්වබ් ජනයාගේ ප්‍රධානීහු ද වෙරළ ප්‍රදේශයේ සෙන්පතියෝ ද ඔහු හමුවීමට අවුත් ඔහුට මෙසේ කීවෝ ය. 9 ”අපේ ස්වාමීනි, අපට කරුණා කොට සවන් දෙන්නේ නම් ඔහුගේ හමුදාවට එක තුවාළයක් වත් විඳින්නට සිදු නොවන්නේ ය. 10 මේ ඉශ්රායෙල් ජනයා විශ්වාසය තබන්නේ තමන්ගේ හෙල්ල වලට වඩා තමන් ජීවත් වන කඳුවල උස් තැන් පිට ය. 11 ඔවුන්ගේ මේ කඳු මුදුන්වලට නැඟීම සැබැවින් ම පහසු කාර්යයක් නොවේ. 12 එහෙයින් ස්වාමීනි, පෙළගැසී ඔවුන්ට විරුද්ධ ව සටනකට නොයනු මැනවි. එවිට ඔබේ සෙනඟගෙන් එකෙක් වත් නොවැටෙන්නේ ය. ඔබ කඳවුරෙහි නැවතී සිටිනු මැනවි. ඔබේ හමුදාවේ භටයන් ද එහි නවත්වාගනු මැනවි. 13 එහෙත් ඔබේ මෙහෙකරුවෝ කන්ද පා මුලින් නික්මෙන ජල උල්පත අල්ලාගනිත්වා. බෙතුලියාවේ ජනයන්ට ජලය සපයන්නේ ඒවා ය. එවිට පිපාසයෙන් පෙළෙන ලදුව ඔව්හු තමන්ගේ නුවර ඔබට පාවා දෙන්නො‍් ය. ඒ අතරතුර අපි ද අපේ ජනයා ද නුදුරු කඳු මුදුන්වලට නැඟී යමෙකු නුවරින් පිට වී යාම වළක්වනු සඳහා කඳවුරෙන් පිට කුඩා මුර පොළවල් මෙන් කූඩාරම් ගසාගනිමු. 14 සාගින්න ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද ඔවුන්ගේ දරුවන් ද විනාශ කරන්නේ ය. ඔවුන්ට කඩුව වදිනු පෙර, ඔව්හු තමන්ගේ වාසස්ථානවලින් පිට වීථිවල දිගා කරනු ලබන්නො‍් ය. 15 මෙසේ ඔවුන්ගේ බලවත් විරො‍්ධය ගැන ද, සාමදානයෙන් ඔබ හමුවීමට නොපැමිණීම ගැන ද අධික ලෙස වන්දි ගෙවන්නට ඔබ ඔවුන්ට සලසනු ඇත.”
16 මෙසේ කී පසු හොලෝපර්නස් ද, එමෙන් ම හේවා කණ්ඩායම්වල සියලු මුලාදෑනීහු ද මේ වචන සතුටින් පිළිගත්තෝ ය. ඔවුන්ගේ යෝජනාව අනුව කිරීමට ඔහු තීරණය කරගත්තේ ය. 17 එවිට මො‍්වබ් පිරිසක් ද ඔවුන් සමඟ පන්දාහක් අසිරියන්වරු ද පිටත් ව ගියහ. ඔව්හු රහසින් මිටියාවතට ගොස් ඉශ්රායෙල්වරුන්ගේ ජල ප්‍රදේශ ද උල්පත් ද අල්ලාගත්තෝ ය. 18 ඒදොම්වරුන් ද අම්මොන්වරුන් ද නැඟී ගොස් දෝතයින් ඉදිරිපිට කඳුකරයෙහි නියම තැන්වල නැවතී මොක්මුර් මිටියාවතේ කාදෙෂ්ට නුදුරින් එග්රෙබෙල් ඉදිරියෙහි දකුණු හා නැගෙනහිර දෙසට තමන් අතරෙන් මිනිසුන් සමහරෙකු යැව්වෝ ය. අසිරිය හමුදාවේ ඉතිරි අය මිටියාවතෙහි නැවතුණහ. ඔවුන්ගෙන් මුළු ප්‍රදේශය වැසී ගියේ ය. ඔවුන්ගේ සංබ්‍යාව අනල්ප වූ හෙයින් ඔවුන්ගේ කූඩාරම්වලින් ද උපකරණ හා බඩුබාහිරාදියෙන් ද අතිවිශාල කඳවුරක් සෑදුනේ ය.
19 ඉශ්රායෙල්වරු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට හඬ නැඟුවෝ ය. එසේ කෙළේ, සතුරන් ඔවුන් වට කළ හෙයින් ද, සතුරන්ගෙන් බේරී පසුබසින්න මඟක් නැති වූ හෙයින් ද ඔවුන් අධෛර්යට පත් වූ නිසා ය. 20 පුරා දින තිස්හතරක් තුළ අසිරිය හමුදාව වූ පාබල භටයෝ ද රථ හා අශ්වාරො‍්හකයෝ ද, ඔවුන් වටලා සිටියෝ ය. බෙතුලියාවේ වැසියන්ට තිබුණු සියලු වතුර භාජන හිස් විය. ඔවුන්ගේ ළිං හිඳී ගියේ ය. 21 එක දවසක්වත් තම පිපාසය සංසිඳුවාගැනීමට කිසිවෙකුට නොහැකි විය. මන්ද, වතුර සීමා කොට බෙදා දෙනු ලැබූ හෙයිනි. 22 බාල දරුවෝ දුර්වල වූ හ. ස්ත්‍රීහූ ද තරුණයෝ ද පිපාසයෙන් සිහිමූර්ඡා වූ හ. ඔව්හු කිසි ශක්තියක් නොමැති ව වීථිවල ද නුවර ද්වාර මාර්ගවල ද ඇදවැටුණෝ ය.
23 එවිට මුළු සෙනඟ ද, තරුණයෝ ද, ස්ත්‍රීහූ ද බාලයෝ ද උසියා සහ නුවර ප්‍රධානියන් අවට රැස් වී ශබ්ද නඟා කෑගසමින් සියලු ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි කතා කොට, 24 ”දෙවියන් වහන්සේ ඔබ හා අප අතර විනිශ්චය කරන සේක් වා. අසිරියවරුන් සමඟ සාමදානය සඳහා කටයුතු නොකිරීමෙන් ඔබ අපට මහත් හානියක් සිදු කළාහු ය. 25 දැන් අපට සහාය වීමට කිසිවෙක් නැත. පිපාසයෙන් ද ශරීර ශක්තිය ක්ෂය වීමෙන් ද ඔවුන් ඉදිරියෙහි බිම ඇද වැටී සහමුලින් විනාශ වන පිණිස දෙවියන් වහන්සේ අප ඔවුන්ගේ හස්තවලට පාවා දුන් සේක. ප්‍රමාද නොකර ඔවුන් කැඳවන්න. 26 හොලෝපර්නස්ගේ භටයන් විසින් ද ඔහුගේ මුළු හමුදාව විසින් ද පහර දෙනු ලබන පිණිස මුළු නුවර පාවා දෙන්න. 27 මන්ද, හැම අතින් කල්පනා කර බලන විට ඔවුන්ගේ කොල්ලය වීම අපට මීට වඩා යහපත් වන හෙයිනි. මෙසේ අප නොඅනුමාන ව වහලුන් වන නමුත්, අපි ජීවත් වන්නෙමු. අපේ බාලයන්ගේ මරණය අපේ භාර්යාවන්ගේ හා දරුවන්ගේ අන්තිම හුස්ම හෙළීම ද, අපේ ඇස්වලින් නොදකින්නෙමු. 28 එහෙයින් ඔබ අද, දැන් ම මේ ක්‍රියා මාර්ගය යොදාගන්නා ලෙස අපි අහස හා පොළොවේ නාමයෙන් ද අපේ හා අපේ මුතුන්මිත්තන්ගේ පව් නිසා අපට දඬුවම් කරන අපේ පියවරුන්ගේ සමිඳාණන් වහන්සේ වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් ද දිවුරා ඉල්ලා සිටිමු”යි කීවෝ ය. 29 මුළු සභාව ම බොහෝ සේ වැලපෙන්නට පටන් ගෙන සියලු දෙනා දෙවි සමිඳාණන් වහන්සේ දෙසට මහත් ශබ්දයෙන් හඬ නැඟුවෝ ය. උසියා ඔවුන්ට කතා කොට 30 ”සහෝදරවරුනි, ධෛර්යවත් ව සිටින්න. තවත් පස් දවසක් නැවතී සිටිමු. ඒ අතර දී අපගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අනුකම්පාව දක්වනු ඇත. මන්ද, උන් වහන්සේ අප සම්පූර්ණයෙන් ම අත් නොහරින හෙයිනි. 31 මේ දවස් අවසානයෙහි දී අපට යම් සහනයක් නොලැබෙන්නේ නම්, ඔබ මට කී ප්‍රකාර කරන්නෙමි”යි කීයේ ය. 32 ඉන්පසු ඔහු ජනයා තම තමන්ගේ ස්ථානවලට පිටත් කර යැව්වේ ය. ස්ත්‍රීන් ද ළමයින් ද ගෙදර යවමින් පුරුෂයෝ නුවර ප්‍රාකාරවලට ද අට්ටාලවලට ද නැංඟෝ ය. නුවර මහත් සංත්‍රාසයකින් ඇලළී ගියේ ය.

 

– 8 වන පරිච්ඡේදය –

ජුදිත් වීරවරිය

1 ඒ දවස්වල දී ජුදිත් නම් කාන්තාව මේ සිද්ධීන් ගැන ඇසුවා ය. ඇගේ වංශාවලිය මෙසේ ය: ඉශ්රායෙල්ගේ පුත්‍රයා සරසදේ ය; මොහුගේ පුත්‍රයා සලමියෙල් ය; මොහුගේ පුත්‍රයා නතනායෙල් ය; මොහුගේ පුත්‍රයා එලියාබ් ය; මොහුගේ පුත්‍රයා හිල්කියා ය; මොහුගේ පුත්‍රයා එලියා ය; මොහුගේ පුත්‍රයා ආකිතොබ් ය; මොහුගේ පුත්‍රයා රපායිම් ය; මොහුගේ පුත්‍රයා ගෙදෙයොන් ය; මොහුගේ පුත්‍රයා අනානියාස් ය; මොහුගේ පුත්‍රයා එල්කියා ය; මොහුගේ පුත්‍රයා ඔසීයෙල් ය; මොහුගේ පුත්‍රයා ජො‍්ශප් ය; මොහුගේ පුත්‍රයා ඔක්ස් ය; මොහුගේ පුත්‍රයා මෙරාරි ය; මොහුගේ දුව ජුදිත් වූවා ය. 2 ඇගේ ගෝත්‍රයෙන් හා වංශයෙන් වූ මනස්සේ නම් ඇගේ පුරුෂයා, යව අස්වැන්න කාලයෙහි දී මළේ ය. 3 ඔහු කෙත්වල ගොයම් මිටි බඳිමින් සිටි අය පරිපාලනය කරමින් සිටිය දී තද අව්වේ සිටීමෙන් වූ පීඩාවෙන් ඔත්පල වී මියගියේ ඔහුගේ නුවර වූ බෙතුලියාවේ දී ය. ඔහුගේ මෘත ශරීරය එහි දෝතාන් හා බලමොන් අතර පිට්ටනියෙහි ඔහුගේ පවුලේ සුසාන භූමියෙහි භූමදාන කරන ලද්දේ ය. 4 වැන්දඹුවක් වූ ජුදිත් අවුරුදු තුනකුත් මාස සතරක් තම ගෘහය තුළ ජීවත් වූවා ය. 5 ගෙයි පියස්ස උඩ ඈ තමාට උඩුමහල් කාමරයක් පිළියෙළ කරවාගත්තා ය. 6 ඈ තම ඉඟ වටේ ගෝනි රෙද්දක් දවටාගෙන ශෝකය අඟවන ඇඳුම් හැඳගෙන, සබත් දිනට පෙර දින හා සබත් දිනවල ද අමාවකට පෙර දින හා අමාවක දිනවල ද, ඉශ්රායෙල් ජාතියේ මංගල දිනවල ද හැර ඇගේ කනවැන්දුම් කාලයේ අනික් සෑම දිනවල ම උපවාසයෙන් සිටියා ය. 7 ඈ ශෝභමාන වූ දැකුම්කළු ස්ත්‍රියකි. සිය ස්වාමි පුරුෂයා වූ මනස්සේගෙන් ඇයට රන් රිදී ද, සේවක සේවිකාවන් ද ගව පට්ටි හා කෙත්වතු ද ලැබී තිබුණේ ය. 8 මේ සියලු දේපළ මැද වාසය කළ ඈට විරුද්ධ ව දෝෂාරො‍්පණය කරන්නට කිසිවකුට කිසිවක් ද නොතිබිණි. මන්ද, ඈ දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ගරුබියෙන් යුක්ත ව සිටි හෙයිනි.

ජුදිත් සහ ප්‍රජා මූලිකයෝ

9 ජනයා ජල හිඟයෙන් අධෛර්යයට පත් ව නුවර ප්‍රධානියා වෙත ගොස් මැසිවිලි කී බව ඈ දැනගත්තා ය. උසියා ඔවුන්ට කියූ සියලු දෙයත් දවස් පහකට පසු ව නුවර අසිරියන්වරුන්ට පාවා දෙන බවට ඔහු දිවුරුම් පිට කියා තිබුණු දේත් ඈ දැනගත්තා ය. 10 ඉන්පසු නුවරෙහි ප්‍රජා මූලිකයන් වන චබ්රිස් හා චර්මිස් කැඳවන පිණිස ඈ තමාගේ සියලු දේපළ භාර ව සිටි මෙහෙකාරිය යැව්වා ය. 11 ඔවුන් තමා වෙත ආ කල ඈ මෙසේ කීවා ය: ”බෙතුලියාවේ වැසියන්ගේ ප්‍රධානියෙනි, මට සවන් දෙන්න. ඔබ අද සෙනඟ ඉදිරියෙහි කළාක් මෙන් කතා කිරීමෙන් ද, නියම කරන ලද කාලය තුළ දී සමිඳාණන් වහන්සේ ඔබට සහාය නොවන සේක් නම් නුවර සතුරන්ට පාවා දීමට උන් වහන්සේට විරුද්ධ ව දිවුරුමකින් බැඳීමෙන් ද වරදක් කළහු ය. 12 මේ දවසේ දී දෙවියන් වහන්සේ පරීක්ෂා කරන්නට ද, මනුෂ්‍යයන් අතරෙහි උන් වහන්සේට ඉහළින් උසස් වන්නට ද ඔබ කවරහු ද? 13 ඔබ දැන් සියල්ලන් අතරින් සවි බලැති සමිඳාණන් වහන්සේ පරීක්ෂණයකට භාජනය කරන්නහු ය. ඔබ කිසිවක් කවදාවත් තේරුම් නොගන්නහු ය. 14 මනුෂ්‍ය හෘදය සෝදිසි කර බලන්නට ද ඔහුගේ සිතේ තර්ක විතර්ක විසඳන්නට ද ඔබට නොහැකි නම්, සියලු දේ මැව් දෙවියන් වහන්සේ තේරුම් ගන්නට හො‍් උන් වහන්සේගේ සිත සෝදිසි කර බලන්නට හො‍් උන් වහන්සේගේ අරමුණ අවබෝධ කරගන්නට හො‍් ඔබට හැකි වන්නේ කෙසේ ද? සහෝදරවරුනි, එසේ කිරීමෙන්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කෝපය නොඅවුස්සන්න. 15 මේ දවස් පහ අවසාන වෙන්න පෙර අප ගැළවීම උන් වහන්සේගේ අදහස නොවුවත්, පසු ව උන් වහන්සේ කැමැති දවසක අප ආරක්ෂා කිරීමට උන් වහන්සේට පිළිවන. එසේ ම අපේ සතුරන් ඉදිරියෙහි අප විනාශ කරන්නට ද උන් වහන්සේට පිළිවන. 16 එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ අභිප්‍රායයන් සම්බන්ධයෙන් ඇපවීමක් ඉල්ලීමට ඔබට අයිතියක් නැත. මන්ද, තර්ජනය කර, මිනිසෙකු පොළඹවන්නාක් මෙන් දෙවියන් වහන්සේ පෙළඹවීම කළ නොහැකි හෙයිනි. මිනිසෙකු මෙන් උන් වහන්සේ චාටුවෙන් රවටා ගත නොහැකි හෙයිනි. 17 එහෙයින් අප ගළවන තෙක් උන් වහන්සේ කෙරෙහි ඉවසිල්ලෙන් බලා සිටින අතර අපට සහාය වන ලෙස ඉල්ලා සිටීම හොඳ ය. උන් වහන්සේ කැමැති වන සේක් නම්, අපේ හඬට ඇහුම්කන් දෙනු ඇත.
18 ”ඇත්ත වශයෙන් අපේ පරම්පරාවෙහි ද, මේ වර්තමාන කාලයෙහි ද, අපේ ගෝත්‍රවලින් එකක් වත්, අපේ පෙළපත්වලින් එකක් වත්, අපේ ග්‍රාමවලින් එකක් වත්, අපේ නුවරවලින් එකක් වත් කිසි ලෙසක මනුෂ්‍යයන්ගේ හස්තවලින් සාදනු ලැබූ දෙවිවරුන් ඉදිරියෙහි, පුරාණ කාලයෙහි දී මෙන් වැඳ වැටුණේ නැත. 19 පෙර කල අපේ පියවරුන් කඩුවටත්, කොල්ලයටත් පාවා දෙනු ලැබුයේ ද, ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි දුඃඛිත ලෙස විනාශ වූයේ ද ඒ නිසා ය. 20 එහෙත් අපි උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නොදනිමු. එහෙයින් උන් වහන්සේ අප හෙළා නොදකින සේකැ යි ද අපේ ජාතිය අත් නොහරින සේකැ යි ද බලාපොරොත්තු වන්නට අපට පිළිවන.
21 ”ඔබ බලාපොරොත්තු වන ප්‍රකාර ඔව්හු අප අල්ලාගන්නො‍් නම්, මුළු ජුදාවත් අල්ලාගනු ලබන්නේ ය; අපේ ශුද්ධස්ථානය ද කොල්ලකනු ඇත. එවිට ඔවුන්ගේ මේ කෙලෙසීමට අපි අපේ ලෙයින් ප්‍රත්‍යුත්තර දෙන්නෙමු. 22 අපේ සහෝදරයන් ඝාතනය කරනු ලැබීම ද, දේශයෙන් පිටුවහල් කරනු ලැබීම ද, අපේ උරුමය ජන ශූන්‍ය කරනු ලැබීම ද ජාතීන් අතර සිටින අපේ හිස පිටට පරාවර්තනය වී, අපි ඒ ජාතීන්ගේ වහල්ලු වන්නෙමු නම්, එවිට අපි අපේ අලුත් ස්වාමිවරුන්ට පිළිකුලක් ද ලජ්ජාවට කාරණයක් ද වන්නෙමු. 23 මන්ද, අපේ වහල්කම ඔවුන්ගේ කරුණාව ලබා ගැනීමට මාර්ගයක් නොවන අතර ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ එය ලජ්ජා සහිත දඬුවමක් කරනු ඇත. 24 එහෙයින් සහෝදරවරුනි, අපේ සහෝදරයින්ට හොඳ ආදර්ශයක් දෙමු. මන්ද, ඔවුන්ගේ ප්‍රාණය අප පිට රඳා පවත්නා හෙයිනි. අපට ඇති ඉතා ශුද්ධ වස්තු වන දේව මාලිගයත්, පූජාසනයත් අප පිට රඳා පවත්නා හෙයිනි.
25 ”මේ සියලු හේතු ගැන කල්පනා කර අපේ පියවරුන් පරීක්ෂා කර බැලුවාක් මෙන් අප ද පරීක්ෂා කර බලන අපේ දෙවි ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. 26 උන් වහන්සේ ආබ්‍රහම්ට කළ සියලු දේ ද, ඊසාක්ගේ සියලු දුක් අමාරුකම් ද සිරියානු මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට තම මවගේ සහෝදරයා වූ ලාබාන්ගේ බැටළුවන් බලාගෙන සිටිය දී සිදු වූ සියලු දේවල් ද සිහිපත් කරන්න. 27 මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ගේ හෘදයන් සෝදිසි කර බලනු පිණිස ඔවුන්ට මේ දුක් කරදර ඇති වන්නට ඉඩ දුන්නාක් මෙන් උන් වහන්සේ අපෙන් පළිගන්නවා නොව සමිඳාණන් වහන්සේට ඇලුම් ව සිටින්න අනතුරු ඇඟවීමක් වශයෙන් කලින් පහර දෙන සේක.”
28 මෙය ඇසූ උසියා ඇයට උත්තර දෙමින් මෙසේ කීවේ ය: ”ඔබ දැන් කී හැම දේ අවංක සිතින් කීවෙහි ය. එයට විරුද්ධ ව යමක් කියන්නට කිසිවෙකුට නොපිළිවන. 29 ඔබේ ප්‍රඥාව ප්‍රකාශ කරන ලද පළමු වන වතාව මෙය නොවේ. ඔබේ ජීවිතයේ මුල් අවදියේ පටන් ම මුළු සෙනඟ ඔබේ දක්ෂකම ද ඔබේ හෘදයේ විශිෂ්ටත්වය ද දැනගත්තෝ ය. 30 එහෙත්, ජනයා පිපාසයෙන් පීඩිත ව අප ඔවුන්ට පොරොන්දු වී තිබුණ දේ කිරීමට ද අවලංගු නොකළ හැකි දිවුරුමකින් බැඳීමට ඔව්හු අපට බල කළො‍් ය. 31 ඔබ භක්තිමත් ස්ත්‍රියක වන බැවින් අප ක්ලාන්ත නොවන පිණිස අපේ ළිං පුරවන්නට තද වැස්සක් එවන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න.”
32 ඉන්පසු ජුදිත් උත්තර දෙමින්, ”මට හොඳින් සවන් දෙන්න. අපේ ජාතියේ දරුවන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට සිහි කරනු ලබන ක්‍රියාවක් මම කරන්නට අදහස් කරමි. 33 අද රාත්‍රියෙහි ඔබ නුවර දොරටුව ළඟ සිටිය යුතු යි. මම මාගේ මෙහෙකාරිය සමඟ පිටතට යන්නෙමි. අපේ සතුරන්ට නුවර පාවා දීමට ඔබ කල්පනා කළ දිනයට පෙර මාගේ මැදහත්වීමෙන් සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ගළවාගනු ඇත. 34 එහෙත්, මා කරන්නට අදහස් කරන්නේ කුමක් දැ යි නොඅසන්න. මා එය නිම කරන තුරු ඔබට නොදන්වන්නෙමි”යි කීවා ය. උසියා සහ ප්‍රධානියා ඇයට කතා කොට, ”සාමදානයෙන් යන්න. දෙවියන් වහන්සේ අපේ සතුරන්ගෙන් පළිගන්නට ඔබට මඟ පෙන්වන සේක් වා”යි කී හ. ඔව්හු ද උඩුමහල් කාමරයෙන් පිට වී තම මුර ස්ථානවලට ගියෝ ය.

 

– 9 වන පරිච්ඡේදය –

ජුදිත්ගේ යාච්ඤාව

1 ජුදිත් මුණින් වැටී තම හිස පිට අළු අතුරාගෙන තමා හැඳ සිටි ගෝනි රෙදි ඉවත් කොට සමිඳාණන් වහන්සේට මහා හඬින් මොරගැසුවා ය. එය සිදු වූයේ ජෙරුසලමේ දේව මාලිගාවෙහි සන්ධ්‍යා සුවඳ දුම් පූජාව ඔප්පු කරනු ලබන විට ය. ජුදිත් මෙසේ කීවා ය:
2 ”මාගේ පියා වූ සිමියොන්ගේ දෙවි සමිඳුනි කන්‍යාවක ලජ්ජාවට පත් කරමින්, ඇගේ ඉඟ පටිය මුදා ඈ වික්ෂිප්ත කරමින්, ඇගේ ඇලය නග්න කොට ඈට අගෞරව කරමින්, ඇගේ ගර්භය කෙලෙසූ විදේශිකයන්ගෙන් පළිගැනීමට ඔබ පිය සිමියොන් කඩුවකින් සන්නද්ධ කළ සේක.
මන්ද, ‘මෙය නොකළ යුතු ය’යි ඔබ කී නමුත්, ඔවුන් එය කළ හෙයිනි.
3 එහෙයින්, ඔබ ඔවුන්ගේ අධිපතීන් ඝාතනයට පාවා දුන් සේක;
ඔවුන්ගේ වංචාවෙන් දූෂිත වූ යහන මරණයට පාවා දුන් සේක;
ඔබ ඔවුන්ගේ මෙහෙකරුවන්ට අධිපතීන් සමඟම පහර දුන් සේක.
ඔවුන්ගේ වහලුන් සමඟ සිහසුන් අරා සිටි ඔවුන්ගේ අධිපතීන්ට පහර දුන් සේක.
4 ඔබ ඔවුන්ගේ භාර්යාවන් බලයෙන් පැහැරගෙන යනු ලබන්නට ඉඩ දුන් සේක;
ඔවුන්ගේ දූවරුන් වහල් බවට පාවා දුන් සේක;
ඔවුන්ගෙන් කොල්ලකාගත් සියලු දේ, ඔබ උදෙසා ජ්වලිතකමින් ඇවුළුණු ඔවුන්ගේ පරපුරට සිදු කරන ලද කැළල පිළිකුල් කර, තමන්ගේ ආධාරය සඳහා ඔබට අඬගැසූ, ඔබේ පක්ෂපාත ජනයා අතර බෙදාගන්නට සැලැසූ සේක.
දෙවියනි, මාගේ දෙවියනි, මේ අසරණ කනවැන්දුම් ස්ත්‍රියටත් එසේ ම සවන් දුන මැනව.
5 මන්ද, ඔබ අතීතය සකස් කළ හෙයිනි.
දැන් සිදු වන දේවල් ද මතු සිදු වන දේවල් ද සකස් කළ හෙයිනි;
වර්තමානය ද අනාගතය ද ඔබ පිළියෙළ කළ සේක.
දැන් සිදු වී තිබෙන දේ ඔබේ සිත්හි කලින් වූයේ ය.
6 ඔබේ අදහස් මුදුන්පත් වී, ‘අපි මෙහි සිටිමු’යි ඒවා කියයි.
මන්ද, ඔබේ සියලු මාර්ග සූදානම් ව තිබෙන හෙයිනි.
ඔබේ විනිශ්චයන් කල්තියා, දැනුම ඇති ව ප්‍රකාශ කරනු ලබන හෙයිනි
. 7 මෙන්න, අසිරියන්වරුන්ගේ විශාල හමුදාවක් මෙහි ඇත;
ඔව්හු තමන්ගේ අසුන් හා අසරුවන් ගැන උදම් අනති;
තම පාබල සේනා ශක්තිය ගැන පුරසාරම් දොඩති.
ඔව්හු ලංසය හා පලිහ කෙරෙහි බලාපොරොත්තු තැබූ හ.
දුන්න හා ගල් පටිය කෙරෙහි විශ්වාසය තැබූ හ.
ඔබ යුද සිඳබිඳ දමන සමිඳුන් බව ඔව්හු හැඳින නොගත්හ.
8 සමිඳාණෝ යන නාමය ඔබට පමණක් හිමි වන්නේ ය.
ඔවුන්ගේ බලහත්කාරය ඔබගේ වික්‍රමයෙන් වනසනු මැනව.
ඔබේ උදහසින් ඔවුන්ගේ ශක්තිය බිඳදැමුව මැනව.
මන්ද, ඔවුන් ඔබේ ශුද්ධස්ථානයන් දූෂ්‍ය කරන්නට ඉටාගෙන සිටින හෙයිනි;
ඔබේ තේජවන්ත නාමය පිහිටා තිබෙන මණ්ඩපය කෙලෙසන්නට සූදානම් ව සිටින හෙයිනි;
ඔබේ පූජාසනයේ නෙරා ඇති අං කඩුවෙන් පෙරළාදමන්නට බලාපොරොත්තු වන හෙයිනි.
9 ඔවුන්ගේ අහංකාරය බැලුව මැනව. ඔබේ උදහස ඔවුන් හිස පිට වැටෙන්නට සැලසුව මැනව.
මේ කනවැන්දුම් ස්ත්‍රියගේ හස්තයට අවශ්‍ය දිරිය දුන මැනව.
10 මාගේ මුඛයේ කූට උපායෙන් අධිපතියා සමඟ වහලාට පහර දුන මැනව, මෙහෙකරු සමඟ අධිපතියාට පහර දුන මැනව, ස්ත්‍රියකගේ හස්තයෙන් ඔවුන්ගේ අහංකාරය බිඳදැමුව මැනව.
11 ඔබේ ශක්තිය විශාල ජන සමූහයන් පිට රඳා නැත, ඔබේ බලය යෝධ බලැති මිනිසුන් පිට රඳා නැත, ඔබ නිහතමානි අයගේ දෙවිඳාණෝ වන සේක, පීඩිතයන්ගේ ආධාරය වන සේක, දුබලයන්ගේ රුකුල වන සේක.
අසරණයන්ගේ සරණය වන සේක, බලාපොරොත්තු රහිත වූවන්ගේ ගැළවුම්කාරයාණෝ වන සේක.
12 එසේ ය, එසේ ය, මාගේ පියාගේ දෙවිඳුනි, ඉශ්රායෙල්ගේ උරුමයේ දෙවිඳුනි, අහසේත් පොළොවේත් හිමි තුමෙනි, ජලාශයන්ගේ මැවුම්කාරයාණෙනි, ඔබ මැවූ මුළු මැවිල්ලේ රජිඳුනි, ඔබ මාගේ යැදුමට සවන් දුන මැනව,
13 ඔබේ ගිවිසුමට ද ඔබේ ශුද්ධ වාසස්ථානයට ද සියොන් කන්දට ද ඔබගේ ජනයාට අයත් ගෘහයට ද විරුද්ධ ව මෙබඳු දුෂ්ට අරමුණු යොදාගත් අයට තුවාළ කිරීමට ද ඔවුන් මැරීමට ද සටකපට දිවක් මට දුන මැනව.
14 ඔබ සවි බල හා සියලු විකුම් ඇති දෙවි සමිඳාණන් වන බව ද, ඉශ්රායෙල් සෙනඟට ඔබ හැර වෙන ආරක්ෂකයාණන් කෙනෙකු නොමැති බව ද සියලු ජාතීන්ට හා ගෝත්‍රවලට පෙන්නුව මැනව.”

 

– 10 වන පරිච්ඡේදය –

ජුදිත් හොලෝපර්නස්ගේ කඳවුරට යෑම

1 ජුදිත් මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වෙතට හඬ නැඟුවා ය. 2 තම යාච්ඤාව නිම කළ පසු ඈ මුණින් වැටී, හුන් තැනින් නැඟිට, තම මෙහෙකාරිය කැඳවා, සබත් දිනවල දී හා මංගල දිනවල දී ඈ නැවතුණු කාමර පෙළට බැස ගියා ය. 3 එහි දී තමා හැඳ සිටි ගෝනි රෙදි ගලවා කනවැන්දුම් ස්ත්‍රීන් අඳින වස්ත්‍ර ඉවත් කොට හොඳින් ස්නානය කොට වටිනා සුගන්ධ තෛලයෙන් ආලේප වී විසිතුරු ලෙස වරලස පීරා මුතු මැණික් එබ්බ වූ හිස් වෙළුමක් පැළඳගෙන ඇගේ ස්වාමි පුරුෂයා වූ මනස්සේ ජීවත් ව සිටිය දී තමා භාවිත කළ මංගල ඇඳුමෙන් සැරසුණා ය. 4 ඈ තම පාදවල මිරිවැඩි සඟලක් දමා තම මාල ද වළලු හා මුදු ද කඩුක්කම් ද සියලු ආභරණ ද පැළඳගෙන දකින කවරකුගේ වුවත් බැලීම වශී කරගන්නට හැකි වන ලෙස තමා අලංකාර කරගත්තා ය. 5 ඉන්පසු ඈ මිදි පැනින් යුත් සම් භාජනයක් හා තෙල් කුප්පියක් ද යව පිටියෙන් පිළියෙළ කරන ලද තුනී රොටිවලිනුත් වියැළි ගෙඩිවලිනුත් සෑදූ රොටිවලිනුත්, පවිත්‍ර පූපවලිනුත් පිරුණු මල්ලක් ද යන මේ සියලු කෑම බීම අහුරා සකස් කර තම මෙහෙකාරියට දුන්නා ය. 6 ඉන්පසු ඔව්හු පිටත් ව බෙතුලියාවේ වාසල දොරටුව දෙසට ගියෝ ය. ඈ බලාපොරොත්තුවෙන් එහි සිටි උසියා ද නුවර ප්‍රජා මූලිකයන් වූ චබ්රිස් හා චර්මිස් ද ඔවුන්ට හමු වූවෝ ය. 7 ඔවුන් ජුදිත් දුටු විට වෙනස් ඇඳුම්වලින් සැරසී සිටින හෙයින් ද, ඇගේ මුහුණ සම්පූර්ණයෙන් වෙනස් වී තිබුණු හෙයින් ද, ඇගේ රූපශ්‍රීය දුටු ඔව්හු මහත් විස්මයෙන් තුෂ්ණිම්භූත වූවෝ ය. 8 ඔව්හු ඈට කතා කොට,
”අපේ පියවරුන්ගේ දෙවිඳාණෝ ඔබට ප්‍රසාදය දක්වන සේක් වා, ඉශ්රායෙල් ජනයාගේ ජයග්‍රහණය සඳහා ද, ජෙරුසලමේ උත්කර්ෂණීය මහිමය සඳහා ද, උන් වහන්සේ ඔබගේ අරමුණු සඵල කරන සේක් වා!”යි කීවෝ ය.
9 ජුදිත් දෙවියන් වහන්සේට නමස්කාර කළ පසු ඔවුන්ට කතා කොට, ”මා පිටතට ගොස් ඔබ දැන් මට ප්‍රකාශ කළ සියලු ආශාවන් ඉටු කරන්නට හැකි වන පිණිස නුවර දොරටුව ඇර තබන්නැ”යි කීවා ය. ඈ ඉල්ලා සිටි ප්‍රකාර ඈට දොරටුව අරින ලෙස ඔව්හු තරුණ මුරකාරයන්ට අණ කළො‍් ය. 10 ඔව්හු ද එසේ ම කළහ. එවිට ජුදිත් තම මෙහෙකාරිය සමඟ පිටතට ගියා ය. ඈ කන්දෙන් බැස මිටියාවත හරහා යන තෙක් ම නුවර වැසියෝ ඈ දෙස බලා සිටියෝ ය. ඉන්පසු ඈ ඔවුන්ට නොපෙනී ගියා ය.
11 ජුදිත් සහ මෙහෙකාරිය මිටියාවතෙහි කෙළින් ම ගමන් කරමින් සිටින විට, 12 අසිරියවරුන්ගේ මුර පිරිසක් ඔවුන් හමු වීමට ගොස් ජුදිත් අල්ලා ඇගෙන් ”ඔබ කොයි පක්ෂයට අයිති ද? ඔබ ආයේ කොහින් ද? ඔබ යන්නේ කොහි දැ?”යි ප්‍රශ්න කළො‍් ය. ඈ උත්තර දෙමින්, ”මම හෙබ්‍රෙව්වරුන්ගේ දුවක්මි. මම ඔවුන් කෙරෙන් පලා යමි, මන්ද, වැඩි කල් යන්නට පෙර ඔවුන් ඔබේ ගොදුර වන හෙයිනි. 13 ඔබේ හමුදාවේ ප්‍රධානියා වන හොලෝපර්නස් හමු වී විශ්වාසදායක කරුණු ඔහුට දැන්වීම සඳහා මම ඔහු වෙත යමි. එක මිනිසෙකු වත් ජීවිතයක් වත් නැති වන්නට ඉඩ නො දී මුළු කඳුකරය යටත් කරගැනීමට ඔහු යා යුතු මාර්ග මම ඔහුට පෙන්වා දෙන්නෙමි”යි කීවා ය.
14 ඈ කී දෙයට සවන් දුන් මිනිස්සු ඇගේ සිත්ගන්නා සුලු රූපශ්‍රීය දෙස බලා මවිතයට පත් වූවෝ ය. 15 ඔව්හු ඈට කතා කොට, ”අපේ ස්වාමීන් හමු වීමට ඔබේ කැමැත්තෙන් ම මෙසේ බැස යෑම ඔබේ ගැළවීම වන්නේ ය. එහෙයින් ඔහුගේ කූඩාරමට ගොස් ඔහු හමු වන්න. අපේ මිනිසුන්ගෙන් සමහරෙකු ඔබ සමඟ ගොස් ඔබ ඔහුගේ අතට පවරා දෙනු ඇත. 16 ඔබ ඔහු ඉදිරියට පැමිණි කල නොබිය ව සිටින්න. ඔබ අපට කී දේ ඔහුට ද නැවත කියන්න, ඔහු ඔබ ගැන සැලකිල්ලක් දක්වනු ඇතැ”යි කීවෝ ය. 17 ඉන්පසු ඔව්හු ඈ හා ඇගේ මෙහෙකාරිය කැටුව ගොස් ඔවුන් හොලෝපර්නස්ගේ කූඩාරම කරා පමුණු වන පිණිස තමන්ගේ මිනිසුන්ගෙන් එක සිය දෙනෙකුට නියම කළො‍් ය. 18 ඇගේ පැමිණීමේ පුවත කූඩාරම් අතර පැතිර ගිය විට කඳවුරෙහි මහත් කලබලයක් ඇති විය. හොලෝපර්නස්ට හඳුන්වා දෙනු ලැබීමේ බලාපොරොත්තුවෙන් ඈ ඔහුගේ කූඩාරමෙන් පිටත සිටිය දී මහත් සමූහයක් ඈ අවට රැස්වූවෝ ය. 19 ඔව්හු ඇගේ විස්මයජනක රූප ශෝභාව ගැන ප්‍රසාදය දක්වමින් ඈ නිසා ඉශ්රායෙල් ජනයා ද අගේ කොට සලකන්නට පටන්ගත්තෝ ය. ”තමන් අතර මෙබඳු ස්ත්‍රීන් ඇති සෙනඟක් හෙළා දකින්නට හැකි වනුයේ කාට දැ”යි ඔව්හු කීවෝ ය. ”ඔවුන් අතරෙන් එක මිනිසෙකු වත් පණපිටින් ඉතිරි කිරීම නුවණට හුරු නොවේ. නොමැරී ඉතිරි වන අයට මුළු ලෝකය වසඟ කරගන්නට හැකි වනු ඇතැ”යි ඔව්හු තවදුරටත් කීවෝ ය.
20 එවිට හොලෝපර්නස්ගේ ආරක්ෂක පිරිස ද ඔහුගේ සහකාර මුලාදෑනිහු ද පිටතට අවුත් ජුදිත් කූඩාරම තුළට කැඳවාගෙන ගියෝ ය. 21 හොලෝපර්නස් මරකතවලින් හා වටිනා මැණික් ගල්වලින් හෙබි රත් නිල් හා රන්මුවා වියනක් යට තිබුණු යහනක හාන්සි වී හුන්නේ ය. 22 ඈ පැමිණි බව ඔහුට සැළ කරන ලදි. එවිට රිදී පන්දම් දැරූ සේවකයන් පෙරටුව යද්දී ඔහු කූඩාරමේ විවෘත කොටසට ආවේ ය. සෙන්පතියා හා ඔහුගේ සහකාර මුලාදෑනින් ඉදිරියෙහි ජුදිත් හුන් විට ඇගේ මුහුණේ ශෝභාව ඔවුන් සියලු දෙනා වසඟ කෙළේ ය. ඈ මුණින් වැටී ඔහුට ආචාර කළා ය. එහෙත්, ඔහුගේ මෙහෙකරුවෝ ඈ නඟා සිටෙව්වෝ ය.

 

– 11 වන පරිච්ඡේදය –

ජුදිත් හොලෝපර්නස් හමුවීම

1 හොලෝපර්නස් ජුදිත්ට කතා කොට, ”ස්ත්‍රිය, ධෛර්යවත් ව සිටින්න, බිය නොවන්න, මුළු ලෝකයේ රජ වූ නෙබුකද්නෙශර්ට සේවය කිරීමට තෝරාගත් කිසිවකුට මම කවදාවත් අයහපතක් නොකෙළෙමි. 2 දැන් වුව ද කඳුකර වැසියන් වූ ඔබේ ජාතිය මට නිග්‍රහ නොකෙළේ නම්, ඔවුන්ට විරුද්ධ ව ලංසයක් නොඔසවන්නට තිබිණි. වරද මා අතේ නොව ඔවුන් අතේ ය. 3 එහෙත් ඔබ ඔවුන් කෙරෙන් පලා ගොස් අප වෙත ආයේ මන්දැ යි මට කියන්න… ඒ කෙසේ වුව ද මෙය ඔබේ ගැළවීම වන්නේ ය. ධෛර්යවත් ව සිටින්න. ඔබ මේ රාත්‍රියෙහි ද ඉන්පසු අනෙක් රාත්‍රිවල ද ජීවත් වන්නෙහි ය.
4 ” කිසිවෙක් ඔබට අනතුරක් නොකරන්නේ ය. නැත, මාගේ ස්වාමියා වන නෙබුකද්නෙශර් රජුට සේවය කරන සියල්ලන් සලකනු ලබන්නාක් මෙන් ඔබ ද හොඳින් සලකනු ලබන්නෙහි ය”යි කීවේ ය.
5 ජුදිත් මෙසේ කීවා ය: ”ඔබේ දාසියගේ වචන කරුණාවෙන් කල්පනාවට ගන්නට සිතුව මැනව. ඔබේ මෙහෙකාරියට ඔබ ඉදිරියෙහි කතා කරන්නට ද අවසර දුන මැනව. මේ රාත්‍රියෙහි මාගේ ස්වාමීන් ඉදිරියෙහි බොරුවක් නොකියන්නෙමි. ඔබේ මෙහෙකාරියගේ දැනමුතුකම අනුව ක්‍රියා කරන්න. 6 එවිට දෙවියන් වහන්සේ ඔබේ කටයුත්ත සාර්ථක අවසානයකට පමුණුවනු ඇත. මාගේ ස්වාමීන්ගේ ව්‍යාපාර නිෂ්ඵල නොවන්නේ ය. 7 ජීවත් ව සිටින සියලු දෙනා නිවැරදි මාර්ගයෙහි පිහිටු වන්නට ඔබ එවූ මුළු ලෝකයේ රජ වූ නෙබුකද්නෙශර් චිරාත් කාලයක් වැජඹේ වා! ඔහුගේ බලය නොකැඩී පවතී වා! ඔබ නිසා ඔහු මනුෂ්‍යයන් විසින් සේවය කරනු ලබනු පමණක් නොව ඔබේ ශක්තියේ ප්‍රතිඵලයක් වශයෙන් වන මෘගයෝ ද ගව බැටළු රැළවල් ද අහසේ පක්ෂීහු ද නෙබුකද්නෙශර් උදෙසාත් ඔහුගේ වංශය උදෙසාත් ජීවත් වන්නො‍් ය. 8 සැබැවින් ම ඔබේ සහජ බුද්ධිය ගැන ද ඔබේ සිතේ බලපුළුවන්කම් ගැන ද අපි ඇසුවෙමු. විශිෂ්ට සාමර්ථයෙන් ද, විපුල පළපුරුද්දෙන් ද, යුද්ධ කිරීමේ දක්ෂතාවෙන් ද ඔබට සමාන කෙනෙකු අධිරාජ්‍යයෙහි නොමැති බව මුළු ලෝකයෙහි ප්‍රකට වූ සත්‍යයකි. 9 ඔබේ මන්ත්‍රී මණ්ඩලයෙහි දී අකියෝර් කළ කතාව ගැන ද අපි දනිමු. බෙතුලියාවේ ජනයා ඔහු ඉතිරි කළ හෙයින් ඔහු ඔබට කී හැම දේ ඔවුන්ට ප්‍රකාශ කෙළේ ය. 10 එහෙයින් අධිපතියාණෙනි, ස්වාමීනි, ඔහු කී මේ වචන නොසලකා නොහැරිය මැනව. ඒවා ඔබේ සිත්හි නිදන් කර තබා ගන්න. මන්ද, ඒවා සත්‍ය වන හෙයිනි. ඔවුන් තමන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් නොකළොත්, ඔවුන්ගේ සෙනඟ පිට කඩුවට ඇති බලයක් නොවන්නේ ය. 11 එහෙත්, දැන් මාගේ ස්වාමීන්ට පසු බැස්මක් හො‍් බාධාවක් හො‍් ඇති නොවන පිණිස මරණය ඔවුන්ගේ හිස පිට වැටෙන්නට යන්නේ ය. මන්ද, පාපයට ඔවුන් වසඟ වී සිටින හෙයිනි. මේ පාපය කරන හැම විට ම ඔව්හු දෙවියන් වහන්සේගේ උදහස අවුස්සන්නො‍් ය. 12 ඔවුන්ට කෑම හිඟ හෙයින් ද ජලය දුර්ලභ හෙයින් ද ඔව්හු තමන්ගේ ගව එළු බැටළුවන් මැරීමට ද අනුභව කරන්නට ද දෙවියන් වහන්සේ තම නීතියෙන් තහනම් කළ දේවල් භාවිත කිරීමට ද ඉටාගෙන සිටිති. 13 ජෙරුසලමෙහි අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි සේවය කරන පූජකයන් සඳහා ඔවුන් විසින් වෙන් කොට කැප කරන ලද ධාන්‍යවලින් නාඹුල් ඵල ද මුද්‍රික පානයෙන් හා තෙලින් දසයෙන් කොටස ද භුක්ති විඳින්නට ඔවුන් තීරණය කළා පමණක් නොවේ. මේ දේවල් අතින් ස්පර්ශ කිරීමට පවා සෙනඟ අතරෙන් කිසිවකුට අයිතියක් නැත්තේ ය. 14 ඒ හැර, ජෙරුසලමේ වැසියන් පවා මෙසේ කර තිබුණු බැවින් ඔව්හු මේ සඳහා අවශ්‍ය අවසරය ප්‍රජා මූලිකයන්ගේ මණ්ඩලයෙන් ලබාගෙන හැරී එන පිණිස ජෙරුසලමට මිනිසුන් යැවූ හ. 15 එහෙයින් ඔවුන්ට සිදුවන්නට යන දේ මේ ය. අවසරය ලැබ ඔවුන් ඒ අනුව ක්‍රියා කරන විට ඒ දවසෙහි දී ම ඔව්හු තමන්ගේ විනාශය සඳහා ඔබට පාවා දෙනු ලබන්නො‍් ය.
16 ”ඔබේ මෙහෙකාරිය වන මා මේ සියල්ල දැනගත් විට මම ඔවුන් කෙරෙන් පලා ආයෙමි. සිද්ධිය දැනගනු ලැබූ විට මුළු ලෝකය මවිත කරවන දේවල් ඔබ සමඟ කරන පිණිස, දෙවියන් වහන්සේ මා එවූ සේක. 17 ඔබේ මෙහෙකාරිය භක්තිමත් ස්ත්‍රියකි. රෑ දාවල් දෙක්හි ඈ ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රණාමය දක්වන්නී ය. එහෙයින් මාගේ ස්වාමීනි, ඔබ සමඟ නැවතී සිටීමට මම අදහස් කරගෙන සිටිමි. ඔබේ මෙහෙකාරිය වන මම සෑම රාත්‍රියක ම මිටියාවතට ගොස් ඔවුන් තමන්ගේ පාපය සම්පූර්ණ කරන විට ඒ බව මට දන්වන මෙන් ඉල්ලා එහි දී යාච්ඤා කරන්නෙමි. 18 ඉන්පසු මම ඔබ වෙත හැරී අවුත් ඔබට දන්වන්නෙමි. එවිට ඔබේ මුළු හමුදාව සමඟ පිටත් ව යන්නට ඔබට හැකි වන්නේ ය. ඔවුන් අතරෙන් කිසිවෙකුට ඔබට විරුද්ධ ව සිටින්නට නොහැකි වන්නේ ය. 19 ඔබ ජෙරුසලමට පැමිණෙන තෙක් මම ඔබට මුළු ජුදා දේශය හරහා මඟ පෙන්වන්නෙමි. මන්ද, මම නුවර මැද ඔබ සිංහාසනාරූඪ කරවන්නෙමි. එවිට ඔබ, එඬේරෙකු නැති බැටළුවන් මෙන් වූ ඔවුන්ව වටකරනු ඇත. ඔබට බුරන බල්ලෙක් වත් එහි නොසිටින්නේ ය. මේ සියලු දේ ගැන කලින් ඇති වූ හැඟීමක් මට ඇත්තේ ය. මෙය මට ප්‍රකාශ කරන ලදි. ඔබට මෙය දන්වනු පිණිස මම එවනු ලැබුයෙමි.”
20 මේ ස්ත්‍රියගේ කතාව ඇසූ හොලෝපර්නස් සහ ඔහුගේ සහකාර මුලාදෑනීහු සතුටට පත් වූවෝ ය. ඇගේ ප්‍රඥාව ගැන විස්මයට පත් ඔව්හු හඬ නඟා, ”පොළොවේ එක කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා මෙපමණ ශෝභා සම්පන්න, කීමෙහි බිණීමෙහි දක්ෂ, මැය වැනි ස්ත්‍රියක් නොමැත්තේ ය”යි කීවෝ ය. 21 හොලෝපර්නස් ඈට කතා කොට, ”ඔබේ සෙනඟට පෙරටු ව දෙවියන් වහන්සේ විසින් ඔබ මෙහි එවනු ලැබීම අවස්ථාවානුකූල ය. බලය අප අතේ ය. මාගේ ස්වාමීන් හෙළා දුටු ඔවුන්ට විනාශය ම වන්නේ ය. 22 ඔබ ගැන මම යමක් කියන්නෙමි: ඔබ ශෝභමාන වන්නාක් මෙන් කතාවෙහි සුරුබුහුටි වන්නෙහි ය. ඔබ කී ප්‍රකාර ඔබ කරන්නෙහි නම් ඔබේ දෙවියෝ මාගේ දෙවියෝ ද වන්නා හ. නෙබුකද්නෙශර්ගේ මාලිගය ඔබේ වාසස්ථානය වන්නේ ය. ඔබ මුළු ලෝකයෙහි කීර්තිමත් වන්නෙහි ය”යි කීවේ ය.

 

– 12 වන පරිච්ඡේදය –

ජුදිත් සිය ආගමට විශ්වාසී ව සිටීම

1 ඉන්පසු ඔහු කෑම මේසයට ගන්නා රිදී භාණ්ඩ සමූහය පිළියෙළ කර තිබුණු තැනට ඇයට යන්නට ද, ඈට තමාගේ ම ආහාරයෙන් දෙන්නට ද සලසා, තමාගේ ම මිදිපැනින් ඈට පානය කරන්නට දුන්නේ ය. 2 එහෙත් ජුදිත් කතා කොට, ”මේ කෑම අනුභව නොකර සිටීම වඩා යහපතැයි සිතමි. මන්ද, මට එයින් පාපයක් සිදු වෙන්නට පුළුවන. මා සමඟ මා ගෙනා දේ මට සෑහේ ය”යි කීවා ය. 3 ”ඔබේ ආහාර ද්‍රව්‍ය පිරිහී ගියොත් මෙවැනි දේ අප විසින් ඔබට සපයා දිය හැක්කේ කෙසේ ද? ඔබේ ජාතියට අයිති කිසිවෙක් මෙහි නැත්තේ ය”යි හොලෝපර්නස් කීවේ ය.
4 ”කරදර නොවන්න, ස්වාමීනි, ඔබේ මෙහෙකාරිය වන මා මේ සියලු ආහාර ද්‍රව්‍ය ඉවර කරනු පෙර සමිඳාණන් වහන්සේ මා මඟින් තමන් වහන්සේගේ අරමුණ ඉටු කරන සේකැ”යි ජුදිත් කීවා ය. 5 එවිට හොලෝපර්නස්ගේ සහකාරයෝ ඇය කූඩාරමකට කැඳවාගෙන ගියෝ ය. ඈ එහි මැදියම් රෑ වන තෙක් නිදාගත්තා ය. පාන්දර යාමය ආසන්න වූ විට ඈ නැඟිට්ටා ය. 6 තම මෙහෙකාරියට යාච්ඤා කිරීම සඳහා පිටතට යන්නට ඉඩ දෙන ලෙස මාගේ ස්වාමීහු කරුණාකර අණකරත්වා යි ඈ කලින් ම හොලෝපර්නස්ට දන්වා තිබිණි. 7 මෙසේ කිරීමට ඈට බාධා නොකරන ලෙස හොලෝපර්නස් ද තම මුරකරුවන්ට නියම කර තිබිණි. ඈ තෙදිනක් කඳවුරෙහි ම නැවතී සිටියා ය. රාත්‍රියෙහි දී ඈ බෙතුලියාවේ මිටියාවත දෙසට පිට වී ගොස් මුර පොළ අසල තිබුණු දිය උල්පතින් සෝදාගෙන පිරිසිදු වූවා ය. 8 දිය උල්පතෙන් නැඟිට ඈ තම සෙනඟ මුදාගැනීම සම්බන්ධ කාර්යයෙහි දී තමාට මඟපෙන්වන ලෙස ඉල්ලා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කළා ය. 9 පිරිසිදු වීමේ කෘත්‍යය නිම වූ ඉක්බිති ඈ ආපසු ගොස් සවස් භාගයෙහි දී තමාගේ ආහාරය ගෙනෙන තෙක් තම කූඩාරමෙහි නැවතී සිටියා ය.

ජුදිත් හොලෝපර්නස්ගේ මංගල භෝජනයට සහභාගිවීම

10 සතර වන දින හොලෝපර්නස් මංගල භෝජනයක් පිළියෙළ කර අධිකාරි මණ්ඩලයේ උසස් මුලාදෑනීන් පමණක් එයට කැඳවී ය. අනෙක් සේවකයන්ගෙන් කිසිවෙක් නොකැඳවන ලද්දෝ ය. 11 හොලෝපර්නස් තම පෞද්ගලික කටයුතු බාරව සිටි බගොවස් නම් නපුංසකයාට කතා කොට, ”නුඹ ගොස් නුඹේ ආරක්ෂාවෙහි සිටින අර හෙබ්‍රෙව් ස්ත්‍රිය, මෙහි පැමිණ අප සමඟ එකතු වී කන්නට ද බොන්නට ද කැමැති කරවාගන්න. 12 ඈ සමඟ කිට්ටු ආශ්‍රයක් නැති ව ඇය වැනි ස්ත්‍රියක යන්න හැරීම අපට මදිකමකි. ඇය දූෂණය නොකළොත් අපි අන්‍යයන්ගේ සිනහවට ලක් වන්නෙමු”යි කී ය. 13 එවිට බගොවස් හොලෝපර්නස් කෙරෙන් පිටත් ව ජුදිත් හමුවීමට ගොස්, ”මේ තරුණ ශෝභන කාන්තාව මාගේ ස්වාමීන් ඉදිරියට පැමිණෙන්ට කරුණා නොකරන්නී ද? ඈ ඔහු අභිමුව ගෞරව ස්ථානයෙහි හිඳිනු ඇත. අප සමඟ මංගල මුද්‍රික පානය බොමින් අද ම නෙබුකද්නෙශර්ගේ මාලිගයෙහි සිටින අසිරියා කාන්තාවක මෙන් සලකනු ලබන්නී ය.”යි කීවේ ය. 14 ජුදිත් උත්තර දෙමින්, ”මාගේ ස්වාමීන්ගේ කැමැත්ත ඉටු නොකිරීමට මා කවරෙක් ද? ඔහුට ප්‍රයෝජන වන කොයි දෙයක් වුවත් මම උද්‍යෝගයෙන් කරන්නෙමි, එසේ කිරීම මාගේ මරණ දිනය දක්වා මාගේ ප්‍රීතියට හේතුවක් වන්නේ ය”යි කීවා ය.
15 මෙසේ කියා ඈ නැඟිට තම ඇඳුම් ආයිත්තම්වලින් ද සියලු කාන්තා ආභරණවලින් ද සැරසුණා ය. ඇගේ මෙහෙකාරිය ඈ පෙරටු ව ගොස් ආහාර අනුභව කිරීමෙහි දී වාඩිවෙනු සඳහා දිනපතා භාවිතයට බගොවස් විසින් දෙන ලද ලෝම කළාලය හොලෝපර්නස් ඉදිරියෙහි බිම දිගහැරියා ය.
16 ජුදිත් ඇතුළු වී තමාගේ නියම තැන ගත්තා ය. ඈ දැක්මෙන් ම හොලෝපර්නස්ගේ හෘදය සම්පූර්ණයෙන් කුල්මත් විය. ඔහුගේ සිත කැළඹුණි. ඇය සමඟ සයනය කිරීමට බලවත් ආශාවක් ඔහු තුළ විනිවිද ගියේ ය. මන්ද, ඇය දුටු පළමු වන දවසේ පටන් ඔහු ඇය දූෂණය කරන්නට යෝග්‍ය අවස්ථාවක් සොයමින් සිටි හෙයිනි. 17 ඔහු ඈට කතා කොට, ”දැන් බොන්න, බොන්න, අපේ ප්‍රීතියට සහභාගි වන්නැ”යි කී ය. ”ස්වාමීනි, මම කැමැත්තෙන් ම එසේ කරමි, මන්ද මා උපන් දා පටන් අද මෙන් මාගේ ජීවිතය කවදාවත් මෙතරම් අගේ කර නැති හෙයිනි”යි කීවා ය. 18 ඈ තම මෙහෙකාරිය තමාට පිළියෙළ කර තිබුණු දේ ගෙන ඔහු ඉදිරියෙහි එයින් කෑවා ය, බීවා ය. හොලෝපර්නස් ඈ කෙරෙහි කොපමණ වශීභූත වී සිටියේ ද යත් ඔහුගේ මුළු ජීවිත කාලයෙහි දී කවදාවත් නොබිවූ තරම් මුද්‍රික පානය එදින ඔහු බීවේ ය.

 

– 13 වන පරිච්ඡේදය –

1 රෑ බෝවී තිබුණු හෙයින් ඔහුගේ උසස් මුලාදෑනීහු කඩිනමින් බැහැර ගියෝ ය. බගොවස් තම ස්වාමීන් ළඟ තව ම පමාවෙමින් සිටි අය ඉවතට යන්නට සලසා කූඩාරම පිටතින් වසාදැමුවේ ය. 2 අධික මද්‍ය පානයෙන් වෙහෙසට පත් ව සිටි ඔව්හු නින්දට ගියෝ ය. මුද්‍රික පානයෙන් තදින් වෙරිමත් වී යහන පිට දිගා වී සිටි හොලෝපර්නස් සමඟ ජුදිත් පමණක් කූඩාරමෙහි සිටියා ය. 3 එවිට ජුදිත් තම මෙහෙකාරියට කතා කොට සෑම දිනක ම කළාක් මෙන් තමා පිටතට එන තෙක් බලාගෙන සයනාගාරය ළඟ පිටතින් සිටින්ට ඈට අණ කළා ය. තමා යාච්ඤා කිරීමට පිටතට යන බවත් ඈ මෙහෙකාරියට ඇඟවූවා ය. බගොවස්ට ද ඈ මේ දේ කියා තිබුණේ ය.
4 සියලු දෙනා හොලෝපර්නස් වෙතින් ඉවතට ගොස් සිටියහ. වැදගත් හො‍් නොවැදගත් හො‍් කිසිවෙක් සයනාගාරයෙහි ඉතිරි නො වී ය. යහන ළඟ සිටගෙන ජුදිත් තමා තුළ ම මෙසේ කියා ගත්තා ය.
5 ”සියලු ශක්තියේ උල්පත වන සමිඳුනි, ජෙරුසලමේ මහිමය සඳහා මේ මොහොතේ දී මාගේ හස්තය කරන්න යන කෘත්‍යය සඵල කළ මැනව.
අපට විරුද්ධ ව නැඟිට සිටින සතුරන් පොඩි කරදමනු සඳහා ඔබේ උරුමය නැවත පිහිටු වීමට ද, මාගේ අරමුණ ඉටු කරගැනීමට ද මොහොත දැන් එළඹ තිබේ ය”යි කීවා ය.
6 මෙසේ කියාගනිමින් ඈ හොලෝපර්නස්ගේ හිස ළඟ යහන් කණුවට ළඟා වී ඔහුගේ කෙටි වකුටු කඩුව ලිහා, 7 යහනට කිට්ටු වී ඔහුගේ කේශ කලාපය අල්ලාගෙන, ”සමිඳාණන් වහන්ස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්ස, මේ දවසේ දී මා ශක්තිමත් කළ මැනවැ”යි කීවා ය. 8 ඈ දෙවරක් ඔහුගේ බෙල්ලේ කුලල් සන්ධියට මුළු ශක්තියෙන් පහර දී ඔහුගේ හිස ගසාදැමුවා ය. 9-10 ඉන්පසු ඈ ඔහුගේ ශරීරය යහනෙන් ඉවතට පෙරළාදමා උඩු වියන ඇඳේ කණුවලින් ඇදදැමුවා ය. ටික වේලාවකට පසු ඈ පිටතට ගොස් හොලෝපර්නස්ගේ හිස තම මෙහෙකාරියට දුන්නා ය. මෙහෙකාරිය ද එය ආහාර මල්ලෙහි දමාගත්තා ය. ඉන්පසු දෙදෙනා ම ඔවුන් යාච්ඤා කිරීමට යන විට නිතර කළාක් මෙන් කඳවුරෙන් පිටතට ගියෝ ය. කඳවුරෙන් පිට වූ පසු ඔව්හු මිටියාවතේ අයින දිගේ බෙතුලියාවේ බෑවුමට නැඟ වාසල් දොරටු කරා පැමිණිය හ.

හොලෝපර්නස්ගේ හිස බෙතුලියාවට රැගෙන යාම

11 ජුදිත් දුර සිට ම දොරටු පාලයන්ට කෑගසා, ”දොරටුව අරින්න, අරින්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේ අද පෙන්වා දී තිබෙන පරිදි උන් වහන්සේගේ ශක්තිය ඉශ්රායෙල්හි විදහා පාමින් ද අපේ සතුරන්ට විරුද්ධ ව තම ශක්තිය දක්වමින් ද තමන් ම අප සමඟ වැඩ සිටින සේකැ”යි කීවා ය. 12 ඇගේ කටහඬ ඇසූ නුවර වාසීහු තමන්ගේ නුවර දොරටු ළඟට හනික බැස ගොස් ප්‍රජා මූලිකයන් කැඳෙවුවෝ ය. 13 ලොකු කුඩා සියලු දෙනා දිව ගියහ. මන්ද, ඔවුන් ඇගේ පැමිණීම බලාපොරොත්තු නොවූ හෙයිනි. ජනයා දොරටු ඇර ස්ත්‍රීන් දෙදෙන ගෞරවාදරයෙන් පිළිගෙන ආලෝකය සඳහා ගින්නක් දල්වා ඔවුන් අවට රැස් වූ හ. 14 ජුදිත් මහත් සේ ශබ්ද නඟා ඔවුන්ට කතා කොට, ”දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. උන් වහන්සේ පසසන්න. ඉශ්රායෙල් වංශය කෙරෙන් තම දයාව ඉවත් නොකර මේ රාත්‍රියේ දී මාගේ හස්තයෙන් සතුරන් සිඳබිඳදැමූ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කීවා ය. 15 ඉන්පසු ඈ මල්ලෙන් හිස එළියට ඇද එය ඔවුන්ට පෙන්වමින් මෙසේ කීවා ය: ”අසිරියන්වරුන්ගේ හමුදාවේ ප්‍රධාන අධිපතියා වූ හොලෝපර්නස්ගේ හිස මෙන්න. ඔහු වෙරිමත් වී වැටී සිටි තැනට ඉහළින් වූ වියන මෙන්න. සමිඳාණන් වහන්සේ ඔහුට ස්ත්‍රියකගේ අතින් පහර දුන් සේක. 16 මාගේ ක්‍රියාවෙහි දී මා ආරක්ෂා කළ සමිඳාණන් වහන්සේට මහිමය වේ වා! මාගේ මුහුණෙන් ඔහු තමාගේ විනාශය සඳහා පමණක් පොළඹනු ලැබුවේ ය. මා ලජ්ජාවට පත් කිරීමට හො‍් මට අපකීර්තියක් සිදු කිරීමට හො‍් ඔහු මා සමඟ පාපයක් නොකෙළේ ය”යි කීවා ය.
17 කිව නොහැකි උද්‍යෝගයකින් ඇලළී ගිය මුළු සෙනඟ මුණින්තලා වැටී දෙවියන් වහන්සේට වන්දනා නමස්කාර කරමින් එකහෙළා හඬ නඟා, ”අපේ දෙවියන් වහන්ස, අද ඔබේ සෙනඟගේ සතුරන් සහමුලින් විනාශ කළ ඔබ හට ප්‍රශංසා වේ වා”යි කී හ. 18 උසියා එවිට ජුදිත් අමතා මෙසේ කීවේ ය:
”මා දියණියනි, පරමො‍්ත්තම දෙවිඳාණෝ මිහි පිට සියලු වනිතාවන්ට වඩා ඔබ හට ආසිරි දෙන සේක් වා!
අහසත් පොළොවත් මවා වදාළ දෙවි සමිඳුන්ට පැසසුම් වේ වා!
මන්ද, එතුමන්ගේ මඟ පෙන්වීමෙන් අප සතුරන්ගේ නායකයාගේ හිස ඔබ සිඳදැමුවෙහි ය.
19 ඔබ විදහා පෑ විශ්වාසවන්ත බව ඔබ සිහි කරන්නන්ගේ මතකයෙන් ද මිනිස් මතකයෙන් ද පහ නොවනු ඇත.
එය නිතර ම දෙවිඳුන්ගේ බලය සිහිගන්වනු ඇත.
දෙවිඳාණෝ නිතර ඔබ ගරු සම්මානයට ලක් කරන සේක් වා!
20 ඔබ හට සෙත් සිරි ප්‍රදානය කරන සේක් වා!
මන්ද, අප ජාතියට දණගැසීමට සිදු වූ විට, ඔබ තම දිවි නොතකා අප දෙවිඳුන් අබිමුව අවංක ව හැසිර;
අපේ විනාශය වැළැක්වූයෙහි ය.”
එවිට ජනතාව ද, ”එසේ ම වේ වා, එසේ ම වේ වා”යි පිළිතුරු දුන්හ.

 

– 14 වන පරිච්ඡේදය –

ජුදෙව්වරුන් අසිරියන්වරුන්ගේ කඳවුරකට පහර දීම

1 ජුදිත් ඔවුන්ට කතා කොට මෙසේ කීවා ය: ”සහෝදරවරුනි, මට සවන් දෙන්න. මේ හිස රැගෙන ඔබේ ප්‍රාකාරයේ ඉතා උස් තැන එල්ලා තබන්න. 2 උදය පැමිණ මිහි පිට හිරු උදා වූ කෙණෙහි ම ඔබ අතරෙන් එකිනෙකා යුද්ධයට සැරසී ශක්තිමත් සියලු දෙනා නුවරින් පිටතට යෙත් වා! මිටියාවතෙහි සිටින අසිරියන්වරුන්ගේ මුරකාවලට විරුද්ධ ව බැස යන ලීලාවක් අඟවමින් මොවුන් පිට අධිපතියෙකු පත් කරගන්න. 3 එහෙත්, ඔවුන්ට විරුද්ධ ව බැස නොයන්න. අසිරියන්වරුන්ගේ කඳවුරට ගොස් තමන්ගේ හමුදාවේ අධිපතීන් පුබුදුවනු ඇත. එබැවින් ඔවුන් හොලෝපර්නස්ගේ කූඩාරමට ඉක්මන් කර ගිය විට ඔහු නොදකිනු ඇත. එබැවින් ඔවුන් භයින් තැතිගෙන ඔබ ඉදිරියෙන් පලා යනු ඇත. 4 ඔබ විසින් ද ඉශ්රායෙල් දේශයෙහි වාසය කරන සියලු දෙනා විසින් ද කළ යුතු ව තිබෙනුයේ ඔවුන් ලුහුබැඳ ගොස් පලා යන ඔවුන්ට පහර දීම පමණකි.
5 ”එහෙත්, ඉන් පෙර අම්මොන් ජාතික අකියෝර් මා වෙත කැඳවන්න. ඉශ්රායෙල් වංශයට නිගා කළා වූ ද මරණයට නියම වූ කෙනෙකු මෙන් තමා අප වෙත එව්වා වූ ද මනුෂ්‍යයා දකින්නට ඔහුට හැකි වන්නේ ය.”
6 එවිට උසියාගේ ගෘහයෙන් අකියෝර් ගෙනෙන ලද්දේ ය. රැස් ව සිටි සෙනඟ අතරින් කෙනෙකුගේ අතෙහි තිබුණු හොලෝපර්නස්ගේ හිස දුටු කෙණෙහි ම ඔහු මූර්ඡා වී බිම ඇද වැටුණේ ය. 7 ඔව්හු ඔහු නඟා සිටෙව්වෝ ය. ඔහු ජුදිත් පාමුල වැඳ වැටී ශබ්ද නඟා,
”ජුදාහි සියලු කූඩාරම්වල ද සියලු ජාතීන් අතර ද ඔබ ආශීර්වාදිත වේ වා!
ඔබේ නාමය උච්චාරණය කරනු අසන්නො‍් භයින් ත්‍රස්ත වන්නො‍් ය”යි කී ය.
8 ”පසුගිය දින ස්වල්පය තුළ දී ඔබ කළ සියලු දේවල් මට කියන්නැ”යි ද ඔහු කී ය. එවිට ජුදිත් මුළු සෙනඟ මැද සිට තමා බෙතුලියාවෙන් පිටත් ව ගිය දා පටන් දැන් කතා කළ මොහොත දක්වා කළ සියලු දේ විස්තර කළා ය. 9 ඈ නිහඬ වූ විට සෙනඟ මහත් සේ ඔල්වරසන් දෙමින් මුළු නුවර ප්‍රීති ඝෝෂාවෙන් ඒකනින්නාද කළො‍් ය. 10 ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ කළ සියලු දේ දුටු අකියෝර් උන් වහන්සේ කෙරෙහි ස්ථිර විශ්වාසය පිහිටුවා චර්මඡේදනය කරන ලදුව ඉශ්රායෙල් ජාතියට නියත වශයෙන් බඳවාගන්නා ලද්දේ ය.
11 අරුණෝදය වූ විට බෙතුලියාවේ ජනයා හොලෝපර්නස්ගේ හිස ප්‍රාකාරයෙහි එල්ලා තැබුවෝ ය. එකිනෙකා තම තමාගේ ආයුධ රැගෙන සියලු දෙනා කණ්ඩායම්වලට බෙදී කන්දේ බෑවුම්වලට ගියහ. 12 මේ දුටු අසිරියන්වරු තමන්ගේ අධිපතීන්ට ඉක්මනින් පණිවුඩ යැව්වෝ ය. ඔව්හු පිළිවෙළින් සේනාව හසුරුවන්නන් වෙත ද, සහශ්‍රාධිපතීන් වෙත ද තමන්ගේ අනෙක් සියලු මුලාදෑනීන් වෙත ද ගියහ. 13 මෙසේ ඔව්හු අන්තිමේ දී හොලෝපර්නස්ගේ කූඩාරම දක්වා ගියහ. ඔව්හු කූඩාරමේ සේවකයාට කතා කොට, ”අපේ ස්වාමීන් නැඟිටුවන්න. මේ වහල්ලු ගරුසරු නැති ව බැස අවුත් අපට පහර දී තමන්ගේ සම්පූර්ණ විනාශය සිදු කරගැනීමට අවුත් සිටිති”යි කී හ. 14 බගොවස් ඇතුළට ගියේ ය. හොලෝපර්නස් ජුදිත් සමඟ සයනය කරති යි සිතූ ඔහු කූඩාරම වෙන් කරන තිරයට තට්ටු කළේ ය. 15 එහෙත්, කිසිවෙකුට කිසිවක් නොඇසුණාක් ලෙස පෙනීගිය හෙයින්, ඔහු තිරය ඇර සයනාගාරය තුළට ගිය විට හොලෝපර්නස් මැරී එළිපත උඩ විසි කරන ලදුව සිටි බව ද හිස ශරීරයෙන් වෙන් කොට පැහැරගෙන ගොස් තිබුණු බව ද දුටුවේ ය. 16 එවිට ඔහු කෑගසා, හඬමින් ඉකි ගසමින් මොරහඬ දුන්නේ ය; දුකින් තම වස්ත්‍ර ඉරාගත්තේ ය. 17 ඉන්පසු ඔහු ජුදිත් සිටි කූඩාරමට ගොස් බැලූ නමුත් ඈ එහි නොසිටි බව දිටී ය. 18 එවිට ඔහු එහි රැස් වූ අය මැදට වේගයෙන් දිව ගොස්, ”අහො‍්! මේ වහල්ලු අප රැවටූ හ. එක හෙබ්‍රෙව් ස්ත්‍රියක් නෙබුකද්නෙශර්ගේ වංශය පිට අපකීර්තිය පැවරුවා ය. හොලෝපර්නස්, හිස ගසාදමන ලදුව බිම වැටී සිටී ය”යි කී ය. 19 මේ වචන ඇසූ අසිරියන් හමුදාවේ අධිපතීහු සම්පූර්ණයෙන් කැළඹුණු සිත් ඇත්තාහු පුදුමයෙන් තමන්ගේ වස්ත්‍ර ඉරාගත්හ. මුළු කඳවුර ඔවුන්ගේ කෑගැසීමෙන් ද මොරගැසීමෙන් ද රැව් පිළිරැව් දුන්නේ ය.

 

– 15 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල්වරුන්ගේ ජයග්‍රහණය

1 තවමත් තමන්ගේ කූඩාරම්වල සිටි අය මේ පුවත ඇසූ විට බියපත් වූ හ. 2 භයින් තැතිගත් ඔවුන් අතරෙන් දෙදෙනකුට එක් වී සිටින්නට නොහැකි විය. පරාජය සම්පූර්ණ කරමින් ඔවුන් එකා මෙන් හිස් ලූ ලූ අත මිටියාවත හරහා අඩි පාරවලින් ද කඳුකරය මැදින් ද පලා ගියහ. 3 බෙතුලියාව අවට කඳුකර ප්‍රදේශයෙහි මුරවාඩිවල සිටි අය ද පලා ගියහ. එවිට ඉශ්රායෙල්ගේ යුද්ධ භටයෝ ඔවුන් පිටට කඩා පැන්නො‍් ය.
4 එවිට උසියා, බෙතොමෙස්තායිම්ට ද, බෙබායිට ද, කොබායිට හා කෝලාවට ද ඉශ්රායෙල්හි මුළු කඳුකර ප්‍රදේශයට ද පණිවුඩකාරයින් හනික යවමින් සිදු වූ සියලු දේ ඔවුන්ට දන්වා සතුරන් පිටට පැන ඔවුන් සම්පූර්ණයෙන් විනාශ කරන ලෙස ඔවුන් පෙළඹවූයේ ය. 5 ඉශ්රායෙල් ජනයා මේ ගැන ඇසූ කෙණෙහි ම නික්ම ගොස් එකා මෙන් ඔවුන් අතරට වැදී කොබායිට යන තෙක් ඔවුන්ට පහර දුන්නො‍් ය. ජෙරුසලමේ ජනයාත් කඳුකර ප්‍රදේශයේ සියලු ජනයාත් ඔවුන්ට එකතු වූ හ. මන්ද, සතුරු කඳවුරෙහි සිදු වූ දේ ගැන ඔවුන් ද දැනගත් හෙයිනි. එවිට ගිලියද්හි ජනයා ද ගලීලයේ ජනයා ද පසෙකින් විත් ඔවුන් වටකර දමස්කයටත් ඒ අද්දර ප්‍රදේශයටත් යන තෙක් ඔවුන්ට තදින් පහර දුන්හ. 6 බෙතුලියාවෙහි නැවතී සිටි අය අසිරියන්වරුන්ගේ කඳවුරට කඩා පැන එය කොල්ලකා බොහෝ ධනවත් වූ හ. 7 මනුෂ්‍ය සංහාරයෙන් හැරී ආ ඉශ්රායෙල්වරු ඉතිරි වී තිබුණ සියලු දේ පැහැරගත්හ. කඳුකර ප්‍රදේශයේ හා මිටියාවතේ ද ගම් නියම්ගම්වල ද සිටි අය මහත් කොල්ලයක් අත් කරගත්හ. මන්ද, විශාල බඩු තොගයක් එහි තිබුණු හෙයිනි.

ඉශ්රායෙල්වරුන්ගේ ස්තෝත්‍රය

8 ජෙරුසලමෙහි සිටි නායක පූජකයා වූ ජුවකිම් සහ ජෙරුසලමේ ප්‍රජා මූලිකයන්ගේ මුළු මන්ත්‍රණ සභාව ඉශ්රායෙල්වරුන්ට සමිඳාණන් වහන්සේ විසින් කරන ලද උදාර උපකාර නිරීක්ෂණය කරන පිණිස ද, ජුදිත් දැක ඈට තමන්ගේ සතුට ප්‍රකාශ කරන පිණිස ද ගියෝ ය. 9 ඇගේ ගෙට ඇතුළු වූ ඔව්හු සියලු දෙනා ම එකහෙළා ඈට ප්‍රශංසා කරමින් මෙසේ කීවෝ ය:
”අප ජාතියේ උත්තරීතර ගෞරවය ඔබයි;
ඔබ ජෙරුසලමෙහි මහිමය වේ;
ඔබ ඉශ්රායෙල්වරුන්ගේ උදාර කීර්තිය වේ.
10 ඔබේ හස්තයෙන් මේ සියල්ල කිරීමෙන් ඔබ ඉශ්රායෙල්වරුන්ගේ පැසසුමට සුදුස්සියක් වූයෙහි ය.
ඔබ කළ දේ දෙවියන් වහන්සේට ප්‍රසන්න යැ යි උන් වහන්සේ පිළිගත් සේක.
මතු පරම්පරාවන්හි දී සව් බලැති සමිඳාණෝ ඔබට ආසිරි දෙන සේක් වා!”
එවිට සියලු දෙනා, ”එසේ ම වේ වා!”යි පිළිතුරු දුන්හ.
11 ජනයා තිස් දවසක් මුළුල්ලෙහි කඳවුර කොල්ලකෑවෝ ය. ඔව්හු ජුදිත්ට හොලෝපර්නස්ගේ කූඩාරම ද ඔහුගේ සියලු රිදී භාණ්ඩ ද ඔහුගේ යහන ද භාජන හා කුසලාන ද ඔහුගේ සියලු බඩුබාහිරාදිය ද දුන්නො‍් ය. ඈ මේවා රැගෙන තම කොටළුවා පිට පටවාගෙන තම රථවලට අශ්වයන් යොදවා ඒවා තුළ සියලු දේ පැටෙව්වා ය. 12 ඉශ්රායෙල්හි සියලු කාන්තාවෝ ඈ බලන්නට දිව යමින් ඇගේ ගෞරවය සඳහා නැටුම් කණ්ඩායම් සකස් කළහ. ජුදිත් කොළඅතු ගෙන තමා සමඟ ගමන් කළ කාන්තාවන්ට දුන්නා ය. ජුදිත් සහ ඇගේ මිතුරියෝ ඔලිව් වඩම් පැළඳගත්හ. ඉන්පසු ඈ සෙනඟ පෙරටු ව ගමන් කරමින් ස්ත්‍රීන්ගේ නැටුම් කණ්ඩායම් හැසිරෙව්වා ය. 13 ඉශ්රායෙල්හි සියලු පුරුෂයෝ සන්නද්ධ ව මල්දම් පැළඳ ගී ගයමින් ඈ සමඟ ගියහ. 14 සියලු ඉශ්රායෙල්වරුන් තමා අවට සිටිය දී ජුදිත් මේ තුති ගීය ස්වර නඟා ගයන්නට පටන්ගත්තා ය. මුළු සෙනඟ ද හඬනඟා එම ගීය ගැයූහ.

 

– 16 වන පරිච්ඡේදය –

ජුදිත්ගේ පැසසුම් ගීය

1 ”කිකිණි සහිත රබන්වලින් මා දෙවිඳුන් පසසන්න.
අත්තාලම් ඇති ව සමිඳුන්ට ගී ගයන්න.
එතුමන් උදෙසා ශුද්ධ ගීතය හා සංගීතය මුසු කරන්න.
එතුමන්ගේ නාමය මහිමයට පමුණුවන්න.
ඒ නම කියා අයැදින්න.
2 මන්ද, එතුමාණෝ යුද සුණු විසුණු කරන සමිඳාණෝ ය.
මා සතුරන් අතින් ගළවන පිණිස එතුමාණෝ තම සෙනඟ අතරේ තම කඳවුර පිහිටෙවූ සේක.
3 අසිරියන්වරු උතුරේ කඳුවලින් බැස ආහ;
හමුදාවේ ශත සහශ්‍ර භටයන් සමඟ ආහ.
ඔහුගේ සේනාවෝ ඇල දොළ අවහිර කළ හ;
ඔහුගේ අසරුවෝ මිටි කඳු වසා ලූ හ.
4 මාගේ දේශයට ගිනි තැබීමට ද, මාගේ තරුණයන් කඩු මුවහතින් වැනසීමට ද, මාගේ කිරි දරුවන් පොළොවේ ගසා මැරීමට ද, මාගේ බාලයන් ගොදුරට ගැනීමට ද, මාගේ තරුණියන් බලයෙන් පැහැර ගැනීමට ද ඔව්හු කුමන්ත්‍රණ කළහ.
5 එහෙත් සව් බලැති සමිඳාණෝ ස්ත්‍රියකගේ අතින් ඔවුන්ගේ අදහස නිශ්ප්‍රභා කළ සේක.
6 ඔවුන්ගේ වීරයා තරුණයන්ගේ අතින් නොවැටුණේ ය.
ඔහුට පහර දුන්නො‍් අතිබලවතුන්ගේ පුත්‍රයෝ නොවෙත්.
ඔහු ආක්‍රමණය කළො‍් උදාර යෝධයෝ නොවෙත්.
එහෙත් එසේ කෙළේ, මෙරාරීගේ දියණිය වන ජුදිත් ය.
ඇය තම මුහුණේ සෝභාවෙන් ඔහු නිරායුධ කළා ය.
7 ඉශ්රායෙල්හි පීඩිතයන්ගේ සහනය සඳහා ඈ තම කනවැන්දුම් ඇඳුම පසෙක තැබුවා ය;
තම මුහුණ සුගන්ධ තෛලයෙන් ආලේප කළා ය,
8 හිස් වෙළුමක් යට තම කේශ කලාපය හිර කළා ය.
ඔහු දිනාගැනීමට හණ පිළියක් ඇන්දා ය.
9 ඇගේ මිරිවැඩි සඟල ඔහුගේ බැල්ම වශී කෙළේ ය.
ඇගේ රූපශ්‍රීය ඔහුගේ සිත වසඟ කෙළේ ය.
කොට වකුටු කඩුව ඔහුගේ බොටුව ගසාදැමී ය.
10 පර්සියන්වරු ඇගේ නිර්භීතකම ගැන වෙවුලුවෝ ය.
මේදවරු ඇගේ ධෛර්යය ගැන කලකිරුණෝ ය.
11 මාගේ නිහතමානී ජනයා කෑගැසූ විට ඔව්හු තැතිගත්තෝ ය.
මාගේ දුබලයන් මොරගැසූ විට ඔව්හු භයින් ත්‍රස්ත වූවෝ ය.
ඔවුන් මහත් හඬින් ඝෝෂා කළ විට ඔව්හු පසු බැස්සෝ ය.
12 බෙලහීන ස්ත්‍රීන්ගේ පුත්‍රයෝ ඔවුන් මැරුවෝ ය;
සේවයෙන් පැන යන්නන්ගේ දරුවන් මෙන් ඔවුන් සිදුරු කළො‍් ය.
ඔව්හු මාගේ සමිඳුන්ගේ සටනෙහි දී විනාශ වූවෝ ය
. 13 මම මාගේ දෙවිඳුන් හට නව ගීතයක් ගයමි.
ඔබ උතුම් වන සේක; තේජවන්ත වන සේක;
ශක්තියෙන් අරුමපුදුම වන සේක;
පරාජය නොකළ හැකි වන සේක.
14 ඔබේ මුළු මැවිල්ල ඔබට සේවය කෙරේ වා!
ඔබ වචනය වදාළ සේක, සියල්ල මවනු ලැබී ය.
ඔබේ හුස්ම හෙළූ සේක, ඒවා නිර්මිත වූයේ ය.
ඔබේ වචනයට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නොපිළිවන.
15 මුහුදේ තරංග සමඟ එකතු වීමට කඳු පෙරළී වැටුණත් ඔබ ඉදිරියෙහි පර්වත ඉටි මෙන් උණු වී ගියත්, ඔබ කෙරෙහි භය භක්තිය ඇත්තන්ට ඔබ නිතර කරුණාව පෙන්වන සේක.
16 මිහිරි සුවඳ පූජාව සැබැවින් ම සුළු දෙයකි.
දවන යාගයක් මෙන් ඔබට ඔප්පු කෙරෙන තෙල ඊටත් වඩා සුළු දෙයකි.
එහෙත්, සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තා සදහට ම උසස් වන්නේ ය.
17 මාගේ ජාතියට විරුද්ධ ව නැඟිටින ජාතියට වන විපතක මහත!
සව් බලැති සමිඳාණෝ විනිශ්චය දිනයෙහි දී ඔවුන්ට දඬුවම් කරන සේක.
උන් වහන්සේ ඔවුන්ගේ මාංසය තුළට ගින්න ද පණුවන් ද එවන සේක.
ඔව්හු සදහට ම වේදනාවෙන් වැලපෙන්නො‍් ය.”
18 ජෙරුසලමට පැමිණි විට සියලු දෙනා දෙවියන් වහන්සේ ඉදිරියෙහි මුණින් වැටී, තමන් පවිත්‍ර වූ පසු, තමන්ගේ දවන යාග පූජාව ද, ස්වේච්ඡා පූජා ද, පඬුරු ද ඔප්පු කළො‍් ය. 19 ජනයා විසින් දෙන ලද හොලෝපර්නස්ගේ සියලු බඩුබාහිරාදිය ද, ඔහුගේ යහනෙන් තමා ම රැගෙන ගිය වියන ද දෙවියන් වහන්සේට කැප වූ පඬුරක් මෙන් ජුදිත් භාර කළා ය. 20 ජනයා ජෙරුසලමෙහි දේව මාලිගාව ඉදිරිපිට තුන් මසක් විනො‍්දයෙන් ගත කළො‍් ය. ජුදිත් ද ඔවුන් සමඟ සිටියා ය.

ජුදිත්ගේ මහලු විය හා මරණය

21 මේ කාලය නිම වූ විට එකිනෙකා තම තමාගේ ගෙදර බලා නික්ම ගියේ ය. ජුදිත් බෙතුලියාවට ගොස් තමාගේ වතුයායෙහි පදිංචි වූවා ය. ඈ ජීවත් ව සිටි තෙක් තම මුළු දේශයෙහි මහත් කීර්තියක් ලබාගත්තා ය.
22 ඇගෙන් විවා බස් ඉල්ලූ අය බොහෝ වූහ. එහෙත් ඇගේ පුරුෂයා වූ මනස්සේ මැරී භූමදාන කරනු ලැබූ දින පටන් මුළු කාලයෙහි ම ඈ වෙන පුරුෂයෙකු නොගත්තා ය. 23 පුරුෂයාගේ ගෘහයෙහි ඈ වයසින් වැඩෙනු සමඟ ම ඇගේ කීර්තිය වඩ වඩාත් වර්ධනය විය. ඈ අවුරුදු එකසිය පහක් ජීවත් වූවා ය. ඈ තම මෙහෙකාරියට නිදහස දී බෙතුලියාවෙහි මිය ගියා ය. තම පුරුෂයා වූ මනස්සේ තැන්පත් කරන ලද ගුහාවෙහි ඇය භූමදාන කරන ලදි. 24 ඉශ්රායෙල් වංශය ඈ උදෙසා සත් දවසක් වැලපුණෝ ය. ඇගේ මරණයෙන් පෙර ඈ තම දේපළ තම පුරුෂයා වූ මනස්සේගේ ඥාතීන් අතර ද, තමාගේ ම ඥාතීන් අතර ද බෙදා හැරියා ය.
25 ජුදිත්ගේ කාලයේ දී හො‍් ඇගේ මරණයෙන් පසු දීර්ඝ කාලයක දී හො‍් කිසිවෙක් ඉශ්රායෙල් ජනයාට කරදර නොකළො‍් ය.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s