– 1 වන පරිච්ඡේදය –
අහෂ්වේරොෂ්ගේ මංගල භෝජනය
1 අහෂ්වේරොෂ් රජ දවසේ මෙවැන්නක් සිදු විය. අහෂ්වේරොෂ්ගේ අධිරාජ්‍යය ඉන්දියාව පටන් එතියෝපියාව දක්වා යටත් විජිත එක සිය විසි හතකින් යුක්ත විය. 2 එකල්හි ඔහු තම රාජ්‍ය කාලයේ තුන් වන වර්ෂයෙහි දී සූසා බලකොටුවේ රාජාසනය පිට වැඩහුන් කල, 3 තමාගේ අධිකාරි මණ්ඩලයේ උසස් නිලධාරීන්ට ද අමාත්‍යවරුන්ට ද පර්සියාවේ හා මේදියාවේ සේනාධිපතිවරුන්ට ද ප්‍රදේශවල ප්‍රභූ ජනයාට හා ආණ්ඩුකාරයන්ට ද තමාගේ ප්‍රධානත්වයෙන් මංගල භෝජන උත්සවයක් පැවැත් වී ය. 4 මෙසේ ඔහු ඔවුන් ඉදිරියෙහි තම ධනය හා තම අධිරාජ්‍යයේ යසඉසුරුත් තම රාජශ්‍රියේ තේජෝමහිමයත් විදහා පාන්නට අදහස් කෙළේ ය. මේ මංගල උත්සවය දවස් කීපයක් තුළ, එනම් දවස් එක සිය අසූවක් තුළ පැවතිණි.
5 මේ දවස් නිම වූ විට රජ තෙමේ සූසා බලකොටුවෙහි සිටි ලොකු කුඩා සියලු සෙනඟට රාජ මාලිගාවට යාබද මළුවෙහි සත් දවසක් මංගල භෝජන උත්සවයක් පැවැත් විය. 6 එහි සුදු පාට හා දම් පාට ඇති ගෙත්තමින් සැරසූ තිර රෙදි, සිහින් හණ නූල්වලින් ද නීලරක්ත නූල්වලින් ද යුත් රිදී මුදු, සුදු කිරි ගරුඬ කුළුණුවල සවිකර තිබුණේ ය. විශිෂ්ට ගල් ද, සුදු කිරි ගරුඬ ද සිප්පි කටු හා නොයෙක් වර්ණවල කුඩා ගල් ද අල්ලන ලද බිමක රන් රිදී යහන් තබා තිබිණි.
7 බොන්නට දුන්නේ රන් කුසලාන් වලිනි. ඒවා එකිනෙකට වෙනස් ව තිබිණි. මුද්‍රික පානය රාජකීය ත්‍යාගිවන්තකම අනුව රජු විසින් බහුල ව සපයා තිබිණි. 8 එහෙත්, රජුගේ නියෝගය අනුව කිසිවකුට බොන්නට බල කිරීමක් නොමැති විය. එක එක අමුත්තාට තමා කැමැති පරිදි කරගන්නට ඉඩ හරින ලෙස රජු විසින් තම ගෘහයේ සියලු සේවකයන්ට නියම කර තිබිණි.
වස්තී බිසොවගේ අකීකරුකම
9 වස්තී බිසොව ද අහෂ්වේරොෂ් රජුගේ මාලිගාවෙහි කාන්තා පක්ෂයට මංගල භෝජනයක් පිළිගැන්වූවා ය. 10 සත් වන දවසෙහි දී රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනා ගිය අවස්ථාවක ඔහු තමාගේ පෞද්ගලික සේවාව සඳහා පත් ව සිටි මෙහුමාන්, බිස්තා, හර්බෝනා, බිග්තා, අබග්තා, සේතර් සහ කර්කස් යන නපුංසකයන් සත් දෙනාට අණ කරමින් වස්තී බිසොවගේ රූපාලංකාරය ජනයාටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස, 11 ඇය රාජ ඔටුන්න පැළඳ රජු ඉදිරියට කැඳවාගෙන එන්නට නියම කෙළේ ය. 12 සැබැවින් ම ඈ ඉතා රූපසම්පන්න ස්ත්‍රියක් වූවා ය. එහෙත්, වස්තී බිසොව නපුංසකයන් විසින් බාර දෙන ලද රජුගේ ආඥාව අනුව එන්නට අකමැති වූවා ය. 13 එබැවින් රජු බොහෝ සේ උදහස් වී කෝපයෙන් දිළිහිණි. උපදෙස් ලබාගැනීම සඳහා ඔහු නීති ශාස්ත්‍රයෙහි නිපුණ ප්‍රඥාවන්තයන් කැඳවූයේ ය. මන්ද, රජුගේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රවීන නීතිඥයන්ගේ හා නීතිවේදීන්ගේ උපදෙස් සෙවීම සිරිතක් වූ හෙයිනි. 14 ඔහු කර්ෂේනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිස්, මෙරෙස්, මර්සේනා සහ මෙමුකාන් යන, රජු හමුවීමට වරප්‍රසාද ලත් රාජ්‍යයේ ප්‍රධාන ස්ථානවල හිඳින පර්සියාවේ හා මේදියාවේ අධිපතීන් සත් දෙනා තමා වෙතට එන්ට සැලසුවේ ය. 15 ඔහු කතා කොට, ”අහෂ්වේරොෂ් රජු නපුංසකයන් මඟින් බාර දුන් ආඥාව වස්තී බිසොව ඉෂ්ට නො කළ බැවින් නීතිය අනුව ඈට කුමක් කළ යුතු දැ”යි ඇසුවේ ය. 16 එවිට, රජු සහ අධිපතීන් ඉදිරියෙහි මෙමුකාන් උත්තර දෙමින්, ”වස්තී බිසොව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රදේශවල විසිර සිටින සියලු ජනයාටත් වරදක් කළා ය. 17 බිසොව ක්‍රියා කළ ආකාරය අන් සියලු ස්ත්‍රීන් විසින් නොඅනුමාන ව දැනගනු ලබන්නේ ය. එවිට අහෂ්වේරොෂ් රජු වස්තී බිසොව තමා ඉදිරියට කැඳවාගෙන එන්නට අණ කළ නමුත් ඈ නොපැමිණියා යයි කියමින් ඔවුන් තමන්ගේ ස්වාමි පුරුෂයන් තමන්ගේ සිත තුළ හෙළා දකිනු ඇත. 18 තවද, අද දින නිම වන්නට පෙර පර්සියාවේ හා මේදියාවේ අධිපතීන්ගේ භාර්යාවන් බිසොවගේ උත්තරය ගැන අසා රජුගේ අධිපතීන්ට එම ආකාරය පෙන්වා කතා කිරීමට බිය නොවනු ඇත. මේ හේතු කොටගෙන නිග්‍රහයත්, උදහසත්, සැම තැන ම පැතිර යන්නේ ය.
19 ”රජු සතුටු නම්, වස්තී බිසොව මින්පසු අහෂ්වේරොෂ් රජු ඉදිරියට නො එන හැටියට රජුගෙන් රාජාඥාවක් පතළ වන්නටත්, එය වෙනස් නොවන පිණිස පර්සියානුවරුන්ගේ හා මේදවරුන්ගේ ව්‍යවස්ථා අතරේ ලියා තබන්නටත් සලසනු ලැබේ වා! ඇගේ බිසෝකම ද ඇයට වඩා සුදුසු තැනැත්තියකට දෙනු ලැබේ වා! 20 රජු විසින් පනවනු ලබන මේ නියෝගය මුළු රාජ්‍යයෙහි පතළ කරනු ලැබිය යුතු ය. එවිට සියලු භාර්යාවෝ උස්පහත්කම් නොබලා තම තමාගේ පුරුෂයන්ට ගෞරවය දක්වන්නෝ ය”යි කීවේ ය.
21 මේ කීම ඇසූ රජ ද අධිපතීහු ද සතුටට පත් වූ හ. රජ මෙමුකාන්ගේ දැනුමැතිකම අනුව කෙළේ ය. එක එක පුරුෂයා තම තමාගේ ගෘහයේ ස්වාමියා වන්නට හැකි වන පිණිස ඔහු අධිරාජ්‍යයේ සියලු ප්‍රදේශවලට ඒ ඒ ප්‍රදේශවල අකුරෙන් ද, එක එක ජාතියට ඒ ඒ ජාතියේ භාෂාවෙන් ද ලියා ඇරියේ ය.
– 2 වන පරිච්ඡේදය –
එස්තර්ට බිසෝ තනතුර ලැබීම
1 මින් ස්වල්ප කලකට පසු තම බලවත් කෝපය සංසිඳුන විට අහෂ්වේරොෂ් රජුට වස්තී ද ඈ හැසුරුණු ආකාරය ද ඒ සම්බන්ධයෙන් ගන්න ලද තීරණයන් ද සිහි විය. 2 එවිට රජු වෙත සිටි සේවකයෝ ඔහුට කතා කොට, ”රූමත් තරුණියන් රජු උදෙසා සොයත් වා! 3 එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් සූසා බලකොටුවෙහි අන්තඃපුරයට රජුගේ නපුංසකයෙකු වූ, ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි යටතේ රැස් කරන පිණිස රජු විසින් තම රාජ්‍යයේ සියලු ප්‍රදේශවල මුලාදෑනීන් පත් කෙරේ වා! ඔහු ඔවුන්ට තමන් අලංකාර කරගැනීමට අවශ්‍ය වන සියලු දේ සපයා දේ වා! 4 එවිට රජු වඩාත් ම කැමැති වන තරුණිය වස්තී වෙනුවට ඔහුගේ බිසොව වේ වා!”යි කීවෝ ය. මේ යෝජනාවට රජ එකඟ වී එසේ ම කෙළේ ය.
5 බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් පිටුවහල් කරන ලද ජුදාහි රජ වූ ජෙකොනියාස් සමඟ ගෙනයනු ලැබූවන් අතරේ, 6 ජෙරුසලමෙන් නෙරපා දමන ලද බෙන්ජමින් ගෝත්‍රයේ කිෂ්ගේ පුත්‍රයා වන ෂමයිගේ පුත් ජයිර්ගේ පුත්‍රයා වන මොර්දෙකායි නම් ලත් ජුදා ජාතිකයෙක් සූසා බලකොටුවෙහි සිටියේ ය. 7 ඔහු හදස්සා හෙවත් එස්තර් නමැත්තියක දරුවෙකු මෙන් ඇතිදැඩි කරගෙන සිටියේ ය. ඔහුගේ බාප්පාගේ දුව වූ ද මවුපිය දෙදෙනා නැති ව අනාථ වූ ද ඈ මනා පෙනුමකින් සහ ශෝභා සම්පන්න මුහුණකින් යුතු ය. ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකායි ඇය තමාට දුවක වශයෙන් හදාගත්තේ ය.
8 රජුගේ නියෝගය ප්‍රකාශ කරනු ලැබූ කල්හි තරුණියෝ බොහෝ දෙනෙක් සූසාහි බලකොටුවට රැස් කරන ලදුව රාජ මාලිගාවට ගෙනයනු ලැබුවෝ ය. අනෙක් තරුණියන් මෙන් ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි යටතට බාර දෙන ලද මේ තරුණිය ඔහුට ප්‍රසන්න වී ඔහුගේ ප්‍රසාදය ලබා ගත්තා ය. 9 ඔහු ඇයට තමා අලංකාර කරගැනීමට අවශ්‍ය සියලු දේ වන ආහාර පාන හැකි පමණ ඉක්මනින් සපයා දෙන්නට ඕනෑකමින් සිතට ගත්තා පමණක් නොව ඇයට රජ ගෙදරින් තෝරන ලද සේවිකාවන් සත් දෙනෙකු ද දී ඒ සේවිකාවන් සමඟ ඇය අන්තඃපුරයේ වඩා හොඳ කාමර පෙළකට මාරු කෙළේ ය. 10 එස්තර් ඇගේ ජාතිය වත් ඇගේ පරපුර වත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකායි ඇයට අණ කර තිබුණ හෙයිනි. 11 මොර්දෙකායි එස්තර්ගේ සැප සනීප හා ඇයට සිදු විය හැකි සියලු දේ ද දැනගනු සඳහා දිනපතා ම අන්තඃපුරයේ මළුව ඉදිරියේ ඇවිද්දේ ය. 12 එක එක තරුණ ස්ත්‍රීන් සඳහා වූ නියෝගයෙන් නියම කරන ලද කාලයට හෙවත් මාස දොළසකට පසු තමාගේ වාරය අනුව අහෂ්වේරොෂ් රජ ඉදිරියෙහි පෙනී සිටීම අවශ්‍ය විය. මේ සූදානම් වීමේ කාලය මෙසේ ගත කළ යුතු විය. සය මසක් තුළ තරුණියෝ සුවඳ ලාටු තෛලය භාවිත කළෝ ය. තවත් සය මසක් තුළ ගුගුල් ද ස්ත්‍රීන් තමන් අලංකාර කරගැනීම සඳහා සාමාන්‍යයෙන් යොදන සුගන්ධ තෛලය ද පාවිච්චි කළෝ ය. 13 රජු ඉදිරියට යනු පෙර එක එක තරුණිය විසින් තමා කැමැති කොයි දෙයක් වුවත් ඉල්ලිය හැකි විය. එය ඇයට සපයන ලද්දේ ය. ඈ අන්තඃපුරයේ සිට රාජ මාලිගාවට ගිය විට එය තමා සමඟ ගෙන ගියා ය. 14 ඈ එහි ගියේ සවස ය. පසු දින ස්ත්‍රීන්ගේ දෙ වන ගෙට, රජුගේ නපුංසකයා වූ උපභාර්යාවන්ගේ රැකවලා වූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට, හැරී ආවා ය. රජු ඇයට ප්‍රිය ව නම කියා ඇයට අඬ ගැසුවොත් මිස නැත්නම් ඇය රජු ළඟට තවත් පැමිණියේ නැත.
15 එහෙත්, මොර්දෙකායි විසින් දුවක වශයෙන් ඇති කරගන්නා ලද්දා වූ ද තම බාප්පා වූ අබිහයිල්ගේ දුව වූ ද එස්තර්ට රජු වෙත යාමට වාරය පැමිණි විට රජුගේ නපුංසකයා වූ ද ස්ත්‍රීන්ගේ රැකවලා වූ ද හෙගයි නියම කළ දේ හැර අන් කිසිවක් ඈ නොඉල්ලුවා ය. එහෙත්, එස්තර් ඈ දුටු සියලු දෙනාගේ විස්මය දිනා ගත්තා ය. 16 මෙසේ එස්තර්ට අහෂ්වේරොෂ් රජුගේ රජ කාලයේ සත් වන වර්ෂයේ තෝබෙත් නම් දස වන මාසයෙහි දී රජගෙයි ඔහු වෙත ගෙනයනු ලැබුවා ය. 17 රජ ද සියලු ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ප්‍රිය කෙළේ ය. ඈ ඔහු ඉදිරියෙහි අන් සියලු තරුණියන්ට වඩා ප්‍රශංසා ද ලබා ගත්තා ය. එබැවින් ඔහු ඇගේ හිස පිට රාජ ඔටුන්න තබා වස්තී වෙනුවට ඇය බිසෝ තනතුරට තෝරාගත්තේ ය.
18 ඉන්පසු රජ තමාගේ සියලු අධිපතීන්ට හා සේවකයන්ට එස්තර්ගේ මංගල භෝජනය වූ මහා භෝජන උත්සවයක් පවත්වා සියලු ප්‍රදේශවලට නිවාඩු දිනයක් නියම කර රාජකීය ත්‍යාගවන්තකමින් සරු ලෙස පාරිතෝෂිකයන් බෙදා දුන්නේ ය.
මොර්දෙකායි සහ හාමාන්
19 අනෙක් තරුණියන් මෙන් දෙ වන අන්තඃපුරයට මාරු කරනු ලබන විට එස්තර්, මොර්දෙකායි ඇයට අණ කළ පරිදි, 20 ඇගේ ජාතිය වත් පරපුර වත් ඈ නොදන්වා සිටියා ය. ඈ තමා මොර්දෙකායිගේ භාරකාරත්වය යටතේ සිටිය දී මෙන් දැනුදු ඔහු නියම කළ දේ ඉටු කළා ය. 21 එකල්හි මොර්දෙකායි රාජකීය භාණ්ඩාගාරයෙහි සේවාවෙහි යෙදී සිටියේ ය. රජු කෙරෙහි අමනාපයෙන් සිටි නපුංසකයන් වූ බිග්තාන් සහ තෙරෙෂ් යන එළිපත මුරකාවේ දෙදෙනෙක් අහෂ්වේරොෂ් රජු රහසින් මැරීමට කුමන්ත්‍රණය කළෝ ය. 22 මොර්දෙකායි ඒ ගැන එස්තර් බිසවට දැන්වූයේ ය. එස්තර් ද මොර්දෙකායිගේ නාමයෙන් රජුට ඒ ගැන කීවා ය. කාරණය විභාග කරගත් කල්හි එය සැබෑ බව ඔප්පු විය. කුමන්ත්‍රණකාරයෝ දෙදෙනා පෝරකයට යවන ලද්දෝ ය. මේ කාරණය රජු ඉදිරියෙහි දී ම රාජ වංශාවලියෙහි ලියා තබන ලද්දේ ය.
– 3 වන පරිච්ඡේදය –
1 ටික කලකට පසු අහෂ්වේරොෂ් රජ අගාග් දේශයේ හම්මෙදාතාගේ පුත් හාමාන් අනෙක් අය අතරෙන් වෙන්කොට තෝරාගත්තේ ය. ඔහු හාමාන් ගරුත්වයෙන් උසස් කර ඔහුගේ සියලු සමාගම්කරුවන් වූ අනෙක් නිලධාරීන්ට ඉහළ විශිෂ්ටත්වයක් ඔහුට දුන්නේ ය. 2 තවද භාණ්ඩාගාරයේ සේවාවෙහි නියුක්ත වූ රජුගේ සියලු සේවකයන් හාමාන්ට හිස නමා ආචාර කළ යුතු බවට රාජාඥාවක් ඔහු විසින් පනවන ලද්දේ ය. 3 මොර්දෙකායි ආචාර කිරීමට අකමැති වූයේ ය. එවිට භාණ්ඩාගාරයෙහි සිටි රාජ්‍ය සේවකයන් ඔහුට කතා කොට, ”ඔබ රාජාඥාව නොපිළිපදින්නේ මන්දැ”යි ඇසුවෝ ය. 4 ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නමුත් ඔහු ඇහුම්කන් නුදුන්නේ ය. එවිට ඔව්හු මොර්දෙකායි තමාගේ අදහස අනුව තවත් දුරට කරගෙන යන්නේ දැ යි බලන පිණිස මේ බව හාමාන්ට දැන්වූවෝ ය. මන්ද, තමා ජුදෙව්වෙකැ යි ඔහු ඔවුන්ට කියා තිබුණු හෙයිනි. 5 මොර්දෙකායි ආචාර නොකළ බව තමා විසින් ම දුටු හාමාන් අතිශයින් කෝපාවිෂ්ට වූයේ ය. 6 මොර්දෙකායි අයිති වූයේ කුමන ජාතියට දැ යි ඔහු දැනගත් විට මොර්දෙකායිට පමණක් පහර දීම සුළු දෙයක් කොට සලකා මොර්දෙකායි සමඟ අහෂ්වේරොෂ්ගේ මුළු අධිරාජ්‍යයෙහි පදිංචි ව සිටි සියලු ජුදෙව්වරුන් විනාශ කිරීමට ඔහු අරමුණු කර ගත්තේ ය.
ජුදෙව්වරුන් සමූලඝාතනය කිරීමේ ආඥාව
7 අහෂ්වේරොෂ් රජුගේ දොළොස් වන වර්ෂයේ නිසාන් නම් වූ පළමු වන මාසයෙහි දී, දවස හා මාසය දැනගනු සඳහා හාමාන් ඉදිරියෙහි පූර් හෙවත් පස ඇට දමනු ලැබුවේ ය. 8 පස ඇට දොළොස් වන මාසය වූ අදාර් මාසයට වැටුණේ ය. හාමාන් රජුට කතා කොට, 9 ඔබේ රාජ්‍යයේ සියලු ප්‍රදේශවල ගණන් නැති ජනයා අතර අපට සම්බන්ධ කර ගත නොහැකි එක්තරා මනුෂ්‍ය වර්ගයක් පැතිර ගොස් සිටී. ඔවුන්ගේ නීති අනෙක් සියලු ජාතීන්ගේ නීතිවලට වෙනස් ය. ඔවුන් රජුගේ නීති පිළිපදින්නේ නැත. එබැවින් ඔවුන් රුස්සා සිටීම රජුගේ ප්‍රයෝජනය සඳහා නොවේ. ”ඔවුන් විනාශ කිරීමට නියම කිරීම රජුගේ අභිමතය වන්නේ නම් රාජකීය භාණ්ඩාගාරයට බාර දෙන පිණිස මම එහි නිලධාරීන්ට රිදී කාසි දහ දාහක් ගෙවන්නෙමි”යි කීවේ ය.
10 එවිට රජු තමාගේ අතින් පේරැස් මුද්ද ගළවා ජුදෙව්වරුන්ගේ පීඩකයා වූ අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන්ට දී 11 ඔහුට කතා කොට, ”ඔබේ මුදල ඔබට ම තබාගන්න; මේ සෙනඟ සම්බන්ධයෙන් කියම් නම් මම ඔවුන් ඔබට පාවා දෙමි. ඔබ කැමැති දෙයක් කරන්නැ”යි කීවේ ය.
12 එවිට පළමු මාසයේ දස තුන් වන දින රජුගේ ලේකම්වරුන් කැඳවා රැස් කර හාමාන් විසින් රජුගේ දිසාපතීන්ට ද සියලු ප්‍රදේශවල ආණ්ඩුකාරයන්ට ද එක එක ප්‍රදේශයේ අධිපතීන්ට ද රජුගේ නියමයේ පිටපත් එක එක රටේ අකුරුවලින් හා එක එක සෙනඟගේ භාෂාවෙන් පිළියෙළ කර යවනු ලැබුවේ ය. මේ ආඥාව අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා රජුගේ පේරැස් මුද්දෙන් මුද්‍රා කරන ලදී. 13 අදාර් නම් දොළොස් වන මාසයේ දස තුන් වන දින තරුණයන් හා මහල්ලන් ද බාලයන් හා ස්ත්‍රීන් ද යන සියලු ජුදෙව්වරුන් එක දවසේ දී ම නැති කරදමන්නටත් විනාශ කරන්නටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්ටත් අණ කළ ලියවිල්ල දූතයන් මඟින් යවන ලද්දේ ය.
මේ ලියවිල්ලේ පිටපත මෙසේ ය: ”මහා අහෂ්වේරොෂ් රජු විසින් ඉන්දියාව පටන් එතියෝපියාව දක්වා පැතිර පවතින ප්‍රදේශ එක සිය විසි හතේ ආණ්ඩුකාරයන්ට හා ඔවුන්ගේ මුළු සහකාර ප්‍රාදේශීය මුලාදෑනීන්ට ද ලියා එවන වග නම්: බොහෝ ජාතීන් පිට ආධිපත්‍යය දරන්නා වූ ද මුළු ලෝකයේ ස්වාමීන් වූ ද මම, කිසිකලෙක බලයේ අහංකාරයෙන් මත් ව ක්‍රියා නොකරන්නට ද නිතර වැදගත් පැවතුම් ඇති ව හා අනුකම්පා සහගත ව පාලනය කිරීමට ද මේ ආකාරයෙන් මාගේ වැසියන්ට කලබලයක් හෝ කැළඹීමක් නොමැති ව ජීවිතය නිතර භුක්ති විඳීමේ භාග්‍යය ලබා දීමට ද මාගේ රාජ්‍යයට ශිෂ්ටාචාරයේ ලාභ ප්‍රයෝජන හා ඒ රාජ්‍යයේ එක කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා අවහිරයක් නොමැති ව ගමන් කිරීමේ පහසුව ලබා දී සියලු මනුෂ්‍යයන් ආශා කරන සාමය පිහිටුවීමට ද අදහස් කරගෙන සිටිමි. මේ පරමාර්ථ ඉටු කරගත හැක්කේ කෙසේ දැ යි අපේ උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කළ විට මාගේ උපදේශකයන්ගෙන් එක් කෙනෙක් වූ, අප අතර ප්‍රඥාවෙන් විශිෂ්ට වූ ද නොවරදින හිතේසිවන්තකම හා වෙනස් නොවන විශ්වාසවන්තකම සම්බන්ධයෙන් ඔප්පු සාක්ෂි ඇත්තා වූ ද නිලයෙන් අපට පමණක් දෙවැන්නා වූ ද හාමාන් නම් උපදේශකයා ප්‍රකාශ කළ ප්‍රකාර ලෝකයේ සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේ නපුරු අදහස් ඇති මනුෂ්‍ය ජාතියක් මිශ්‍ර වී සිටී. ඔව්හු තමන්ගේ නීතිවලින් අනෙක් සියලු ජාතීන්ට විරුද්ධ ය. ඔව්හු රජුගේ නියමයන් නිතර හෙළා දකිති. පොදු යහපත සඳහා අප විසින් පිහිටු වන ලද පාලනයට ඔව්හු බාධාවකි. වංශයෙන් ඔව්හු අපූර්ව ජාතියකි. ඔවුන්ගේ නොහොබිනා නීති ක්‍රමයෙන් වෙනස් ව සිටින මුළු මනුෂ්‍ය සංහතියට ම ඔව්හු විරුද්ධ වෙති. ඔව්හු අපේ යහපතට සතුරුකම් කරති. අති දුෂ්ට අපරාධ කරමින් අපේ රාජ්‍යයේ චිරස්ථිතිය අන්තරායට පත් කරති. ”මේ නිසා අපේ යහපත රැකබලා ගැනීමට පත් කරන ලද්දා වූ ද අපට දෙ වන පියෙකු හා සමාන වූ ද හාමාන්ගේ ලියවිල්ලෙහි සඳහන් කරන ලද සියලු දෙනා ස්ත්‍රීන් හා දරුවන් ඇතුළු ව ඔවුන්ගේ සතුරන්ගේ කඩුවෙන් කිසි අනුකම්පාවක් හෝ දයාවක් නොමැති ව මේ වර්ෂයේ අදාර් නම් දොළොස් වන මාසයේ දස සතර වන දින දී සම්පූර්ණයෙන් විනාශ කරන ලෙස අපි අණ කරමු. එවිට ඊයේත් අදත් අපේ විරුද්ධකාරයන් වූ මොවුන් එක දවසක දී පාතාල ලෝකයට හෙළාදමනු ලැබූ විට අපේ රජයට සදා ස්ථිරත්වය ද සාමය ද අත්වන්නේ ය.”
14 ඉහත කී දවසට සූදානම් වී සිටින පිණිස සෑම ප්‍රදේශයක ම නීතියක් වශයෙන් ප්‍රකාශ කරනු ලැබිය යුතු මේ නියෝගය සියලු මනුෂ්‍ය වර්ගයාට ප්‍රසිද්ධ කරන ලද්දේ ය. 15 රජුගේ අණ පිට පණිවුඩකාරයෝ වහාම පිටත් ව ගියෝ ය. මේ නියෝගය පළමුවෙන් ම ප්‍රකාශ කරන ලද්දේ සූසා බලකොටුවෙහි ය. රජු සහ හාමාන් ආහාර පානාදියෙන් අධික ලෙස පිනා ගිය අතර සූසා නුවෙරහි කැළඹීම හා ත්‍රාසය රජකම් කෙළේ ය.
– 4 වන පරිච්ඡේදය –
අන්තරාය වැළැක්වීමට උත්සාහ කිරීම
1 සිදු වූ දේ දැනගත් කෙණෙහි ම මොර්දෙකායි ශෝකයෙන් තම වස්ත්‍ර ඉරා, අළු තවරාගෙන, ගෝනි රෙදි ඇන්දේ ය. 2 ඉන්පසු ඔහු මහත් සෝ දුකින් ශබ්ද නඟා වැලපෙමින් ගෝනි රෙදි හැඳගත් කිසිවකුට රජවාසල් ඉදිරියට යන්ට අවසර නැති නමුත් එහි යන තෙක් මුළු නුවර මැදින් ගමන් කෙළේ ය. 3 රාජ නියෝගය ප්‍රකාශ කරනු ලැබූ කෙණෙහි ම සියලු ජුදෙව්වරුන් අතර වැලපීම ද උපවාස ද හැඬීම ද විලාපය ද විය. බොහෝ දෙනෙක් අළු සහ ගෝනි රෙදි පිට වැතිරගත්හ.
4 එවිට එස්තර්ගේ සේවිකාවෝ ද නපුංසකයෝ ද මේ බව ඇයට දැන්වූවෝ ය. බිසව අතිශයින් ශෝකපත් වූවා ය. ගෝනි රෙදි වෙනුවට වෙන වස්ත්‍ර අඳින පිණිස ඈ මොර්දෙකායිට ඇඳුම් යැව්වා ය. එහෙත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කෙළේ ය. 5 එවිට එස්තර් ඇයට සේවය කරන පිණිස රජු විසින් පත් කරන ලද නපුංසකයන්ගෙන් කෙනෙකු වූ හාතාක් කැඳවා කාරණාව කුමක් දැ යි, ඔහු මේ ආකාරයෙන් හැසිරෙන්නේ කුමක් නිසා දැ යි අසන පිණිස මොර්දෙකායි වෙත යැවුවා ය.
6 හාතාක් පිටත් වී ගොස් රජ වාසල ඉදිරිපිට චතුරශ්‍රයෙහි තව ම නැවතී සිටි මොර්දෙකායි වෙත පැමිණියේ ය. 7 එවිට මොර්දෙකායි සිදු වූ සියලු දේ ගැන ද විශේෂයෙන් ජුදෙව්වරුන් විනාශ කිරීම සම්බන්ධයෙන් ඇති වන අලාභය වෙනුවට හාමාන් රාජකීය භාණ්ඩාගාරයට ගෙවන්න පොරොන්දු වූ විශාල මුදල ගැන ද ඔහුට කීයේ ය. 8 තවද ඔහු ජුදෙව්වරුන් විනාශ කරන්ට සූසාහි දී ප්‍රසිද්ධ කරන ලද නියෝග පත්‍රයේ පිටපතක් ද ඔහුට දුන්නේ ය. එස්තර් කාරණය දැන ගන්න පිණිස මේ පිටපත ඇයට පෙන්වීම සෑහේ යයි ඔහු සිතුවේ ය. ඈ රජු වෙත ගොස් ඇගේ සෙනඟගේ කාරණය සම්බන්ධයෙන් ඔහුගේ අනුකම්පාව ඉල්ලා සිටින ලෙස ඔහු ඇයට නියම කෙළේ ය.
ඔහු එස්තර්ට මෙසේ කියා ඇරියේ ය: ”මා මගේ අතින් ම ඔබ පෝෂ්‍ය කළ දවස්වල දී ඔබ සිටි පහත් තත්ත්වය සිහිපත් කරන්න. මන්ද, රාජ්‍යයේ දෙවැන්නා වන හාමාන් අපේ මරණය රජුගෙන් ඉල්ලා තිබෙන හෙයිනි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. අප උදෙසා රජුට කතා කරන්න. මරණයෙන් අප ගළවාගන්න” යනුයි.
9 හාතාක් හැරී ගොස් මොර්දෙකායි කී දේ එස්තර්ට දැන්වූයේ ය. 10 ඈ උත්තර වශයෙන් ඔහුට පණිවුඩයක් යවමින්, 11 ”අඬගසනු නොලැබ මළුවට රජු වෙත යන පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ වුව ද නොනස්නා පිණිස රජු ඒ අය දෙසට රාජ යෂ්ටිය දිගු කළොත් මිස එසේ යන තැනැත්තා සම්බන්ධයෙන් ඇත්තේ එක ම වෙනස් නොවන නියමයක් බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සියලු වැසියෝ ද දනිති. ඇරත් රජු ළඟට යන්නට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමි”යි මොර්දෙකායිට කියන්නට අණ කළා ය.
12 එස්තර්ගේ මේ වචන මොර්දෙකායිට දන්වන ලදී. 13 එවිට ඔහු එස්තර්ට උත්තර යවමින්, ”ඔබ රජ ගෙදර සිටින හෙයින් සියලු ජුදෙව්වරුන් අතරෙන් ඔබ පමණක් ගැළවෙති යි නොසිතන්න. 14 සිදුවන්නේ මෙය නොවේ. තත්ත්වය මෙසේ තිබිය දී ඔබේ අදහසෙහි ඔබ එල්බ සිට නිශ්ශබ්ද වුවහොත් වෙන තැනකින් ජුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් ලැබෙනු ඇත. එහෙත්, ඔබත් ඔබේ පිය වංශයත් නැති වන්නේ ය. ඔබ රාජත්වයට පැමුණුනේ මෙබඳු ප්‍රස්තාවක් නිසා ම නොවේ ද යනු දන්නේ කවරෙක් දැ”යි කියන්නට අණ කෙළේ ය. 15 එස්තර් මොර්දෙකායිට මෙසේ කියා යැව්වා ය. ”ඔබ ගොස් සූසාහි සිටින සියලු ජුදෙව්වරුන් රැස් කරන්න. 16 මා උදෙසා උපවාසයෙන් සිටින්න. දවස් තුනක් හා රාත්‍රි තුනක් නොකා, නොබී සිටින්න. මම ද මාගේ මෙහෙකාරියන් සමඟ එසේ උපවාසයෙන් සිටින්නෙමි. මේ ආකාරයෙන් සූදානම් වී මම නීතිය ගැන නො සලකා රජු වෙත යන්නෙමි. මැරෙන්නට අවශ්‍ය නම් මැරෙන්නෙමි.” 17 මොර්දෙකායි ගොස් එස්තර්ගේ නියමය ලෙස කෙළේ ය.
මොර්දෙකායිගේ යාච්ඤාව
එවිට සමිඳාණන් වහන්සේගේ සියලු පුදුම ක්‍රියාවන් සිහි කර යාච්ඤා කරමින් මොර්දෙකායි මෙසේ කීවේ ය:
”සමිඳුනි, සමිඳුනි, සියල්ල පාලනය කරන රජිඳුනි, ස්වාමීනි, සියල්ල ඔබ බලයට යටත් ය.
ඉශ්රායෙල්වරුන් ගැළවීමට ආශා කරන ඔබ කැමැත්තට එරෙහි ව යත හැකි කෙනෙක් නැත.
එසේ ය, අහස හා පොළොව ද අහසින් යට සියලු පුදුම දේ ද සෑදුවේ ඔබ ය.
සියල්ලේ සමිඳාණෝ ඔබ ය.
සමිඳුනි, ඔබට විරුද්ධ විය හැකි කිසිවෙක් නැත.
ඔබ සියල්ල දන්නා සේක;
සමිඳුනි, මා කළ දේ කිරීමට අහංකාර හාමාන් අබිමුව වැඳ වැටෙන්නට මා අකමැති වූයේ උඩඟුවෙන් හෝ අහංකාරයෙන් හෝ බොරු ආඩම්බරයෙන් හෝ නොවන බව ඔබ දන්නා සේක.
ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය සඳහා නම්, ඔහුගේ පා සිඹීමට වුව ද මට කැමැති වන්නට තිබිණි.
එහෙත්, මා කළ දේ මා කෙළේ මිනිස් මහිමය දෙවි මහිමයට ඉහළින් නොතබන පිණිස ය.
සමිඳුනි, ඔබ අබිමුව හැර අන් කිසිවෙකු අබිමුව මම වැඳ නොවැටෙමි.
මා එසේ කරන්නේ, අහංකාරයෙන් නොවේ.
දැන් ඉතින් දෙවි සමිඳුනි, රජිඳුනි, ආබ්‍රහම්ගේ දෙවිඳුනි, ඔබ සෙනඟට දයා පෑ මැනව.
මන්ද, මින්පසු අපේ සතුරෝ අප වැනසීමට සොයති;
ඔබ පැරණි උරුමය වැනසීමට මං යොදති.
ඔබ මිසරයෙන් ඔබට ම මුදාගත්, ඔබ උරුමය නොතකා නොසිටිය මැනව.
මා බැගෑපත් යැදුමට කන් දුන මැනව.
ඔබ උරුමයට කරුණාව පා, සමිඳුනි, ඔබ සිරි නමට පසස් ගී ගැයීමට අප ජීවත් වන පිණිස අප දොම්නස සොම්නසට හැරෙව්ව මැනව.
ඔබ පසසන අයගේ තොල් වැනසී යන්නට ඉඩ නෑරිය මැනව.”
සියලු ඉශ්රායෙල් ජනයා තම මුළු ශක්තියෙන් මොරගැසූ හ. මන්ද, ඔවුන් මරණයට මුහුණ දී සිටි හෙයිනි.
මරණ භීතියෙන් වෙළුණු එස්තර් බිසව ද සමිඳාණන් වහන්සේගේ පිළිසරණ සොයන්නට වූවා ය. ඇය තම මාහැඟි ඇඳුම් ඉවත ලා ශෝකය අඟවන ඇඳුම් හැඳගත්තී ය. සිය හිසෙහි ගැල්වූ අනර්ඝ සුවඳ පැන් වෙනුවට අළු හා සත්ත්ව මල තවරා ගත්තී ය. ඇය සිය ශරීරයට හිංසා කරගනිමින් මීට පෙර තම ශරීරය අලංකාර කරගත් තැන්වල ඇගේ කේශ කලාපයෙන් උදුරන ලද කෙස් රොදවල් විසි කරන ලදී. ඇය ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට බැගෑපත් ව යාච්ඤා කරමින් මෙසේ කීවා ය:
එස්තර්ගේ යාච්ඤාව
මා සමිඳුනි, අප රජිඳුනි, ඔබ එක ම තැනැන් වහන්සේ ය.
මා සහයට වැඩිය මැනව.
මම තනි වී සිටිමි.
ඔබ හැර අන් උදව්කරුවකු මට නැත.
මාගේ දිවියට අනතුර මා අත ළඟයි.
සමිඳුන් වන ඔබ සියලු ජාතීන් අතරෙන් ඉශ්රායෙල්වරුන් ද පැරණි ජනයා අතරෙන් අපේ පියවරුන් ද ඔබේ සදා උරුමය වන පිණිස තෝරාගත් බව මම බාල වියෙහි දී මාගේ පවුලේ තුරුල්ලෙහි දී ම ඉගෙනගතිමි.
ඔබ පොරොන්දු වූ පරිදි ඔබ ඔවුන් සැලකුවෙහි ය.
එහෙත්, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
අප සතුරන්ගේ දෙවියන්ට අප ගරු කළ නිසා ඔබ අප ඔවුන් අතට පාවා දුන් සේක.
සමිඳුනි, ඔබ සාධාරණ ය.
එහෙත්, ඔව්හු අප උග්‍ර වහල්කමට පත් කිරීමෙන් සෑහීමට පත් නොවූ හ.
ඔබ මුවින් නික්මුණු නියමය අවලංගු කරන පිණිස ද ඔබ උරුමය මකාදමන පිණිස ද ඔබ පසසන අයගේ කට පියවන පිණිස ද ඔබ පුදසුනත්,
ඔබ මාලිගාවේ මහිමයත් නැති කරන පිණිස ද එය වෙනුවට ජාතීන්ගේ මුඛයන්,
නිෂ්ඵල ප්‍රතිමාවලට ප්‍රශංසා කිරීම සඳහා අරින පිණිස ද මිනිස් රජෙකුට වැඳුම්පිදුම් කරන පිණිස ද ඔව්හු තමන්ගේ පිළිමවල අත් තබා දිවුරන්ට සැලැසූ හ.
සමිඳුනි, පැවැත්මක් රහිත දේට ඔබ රාජ යෂ්ටිය පාවා නුදුන මැනව.
අපේ විනාශය ගැන අන්‍යයෝ අපට සමච්චල් නොකරත් වා!
ඔවුන්ගේ සිතුම් පැතුම් ඔවුන්ට ම එරෙහි ව යැව්ව මැනව.
අපට පහර දීමට මඟ පෙන්වන්නා ආදර්ශයක් කළ මැනව.
සමිඳුනි, අපේ විපත් දවසේ දී අප සිහි කළ මැනව.
ඔබගේ වැඩසිටීම ද අනාවරණය කළ මැනව.
දේවාතිදෙවියනි, සව් බලැති සමිඳුනි, මා දිරිගැන්වුව මැනව.
මා සිංහයාට මූණ පාන විට මා මුවෙහි සිත් ගැන්මෙහි සමත් වදන් තැබුව මැනව.
අපේ සතුරා ද ඔහු වැනි අනෙක් අය ද වැනසෙන පිණිස ඔහුගේ හෘදය තුළ අපේ සතුරාට විරුද්ධ ව වෛරයක් ඇති කළ මැනව.
ඔබේ හස්තයෙන් අප ගළවාලුව මැනව.
සමිඳුනි, මා තනි ව සිටින හෙයින් ද ඔබ හැර අන් කිසිවෙකු මට නැති හෙයින් ද මාගේ සහයට වැඩිය මැනව.
ඔබ සියලු දේ දන්නා සේක.
අභක්තිකයන්ගෙන් ලබාගත හැකි ගරුබුහුමන් මා පිළිකුල් කරන බව ද අචර්මඡේදිතයන්ගේ හා සියලු විදේශිකයන්ගේ යහන මා නීච කොට සලකන බව ද ඔබ දන්නා සේක.
මා බල කරනු ලැබ සිටින බව ද රාජ මාලිගාවෙහි පෙනී සිටින විට මාගේ නළල් පටිය වන මාගේ උතුම් ධුරයේ සලකුණ තුච්ඡ දෙයක් කොට මා සලකන බව ද ඔබ දන්නා සේක.
මම එය කිලුටු කඩමාල්ලක් මෙන් සලකමි;
මාගේ විවේක දිනවල දී මම එය නොපළඳිමි.
ඔබේ මෙහෙකාරිය හාමාන් සමඟ කෑම අනුභව කර නැත.
රාජ මංගල භෝජන අගේ කර නැත.
දෙවිවරුන්ට පිදූ මිදිපැන් පානය කර නැත.
තවද ඔබේ මෙහෙකාරිය තමා උසස් කරනු ලැබූ දින පටන් අද දක්වා ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන ඔබ තුළ පමණක් ප්‍රීති ප්‍රමුදිත වී ඇත.
සියල්ලන් පිට බල පවත්වන සමිඳුනි, බලාපොරොත්තු රහිත වූවන්ගේ හඬට සවන් දුන මැනව.
දුෂ්ටයන්ගේ අතින් අප ගළවාගත මැනව.
මාගේ බියෙන් මා නිදහස් කළ මැනව.
– 5 වන පරිච්ඡේදය –
එස්තර් රාජ මාලිගාවෙහි පෙනී සිටීම
1 යාච්ඤා කිරීම අවසාන කළ විට ඈ තුන් වන දින තම යාචක ඇඳුම් ඉවත ලා අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසුණා ය. මෙසේ ශෝභාවෙන් කාන්තිමත් වූ ඈ සියල්ලන් රැකබලාගෙන ඔවුන් ගළවන දෙවියන් වහන්සේගේ පිහිට ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියා ය. ඉන්පසු ඈ තමා සමඟ මෙහෙකාරියන් දෙදෙනෙකු කැඳවාගත්තා ය. ඈ ඔවුන්ගෙන් එක් තැනැත්තියකට සෞම්‍ය ලෙස හේත්තු වී ගියා ය. අනෙක් තැනැත්තිය ඇගේ එල්ලෙන ඇඳුම් අල්ලාගෙන ගියා ය. ඈ පළමු වන මෙහෙකාරියට මලානික ලෙස මෙන් හේත්තු වී ගිය නමුත්, ඇත්තෙන් ම ඈ එසේ කෙළේ ශරීරයේ දුර්වලකම නිසා කෙළින් සිටීම ඇයට දුෂ්කර වූ හෙයිනි. අනෙක් මෙහෙකාරිය ඇඳුමේ බිම ඇද්දෙන කොටස ඔසවාගෙන ඇයට පිටුපසින් ගියා ය. අගතැන්පත් ඇගේ ශෝභාව නිසා ඈ රතු පැහැති වූවා ය. ඇගේ ප්‍රීතිමත් මුහුණ ප්‍රේමයෙන් හා ප්‍රීතියෙන් කාන්තිමත් විය. එහෙත් ඇගේ හෘදය බියෙන් කම්පා විය.
සියලු දොරටු පසු කර ගිය ඇය දැන් රජු ඉදිරියෙහි සිටියා ය. ඔහු සියලු රාජකීය නිල වස්ත්‍රාභරණවලින් සැරසී රනින් හා මැණික් ගල්වලින් දිළිසෙමින් ඔහුගේ සිංහාසනයෙහි වාඩි වී හුන්නේ ය. එය බියජනක දර්ශනයකි. ඔහු තේජසින් රතු පැහැති තම මුහුණ ඔසවා කෝපයෙන් ඇවිලෙමින් ඇය දෙස බැලුවා ය. බිසව ක්ලාන්ත වූවා ය. ක්ලාන්ත වී සිටිය දී ඇය සුදුමැලි වී තම හිස තමා සමඟ සිටි මෙහෙකාරිය පිට හේත්තු කළා ය. දෙවියන් වහන්සේ රජුගේ සිත වෙනස් කර, ඔහු තුළ කරුණා ගුණයක් ඇති කළ සේක. එවිට රජ හනික තම සිංහාසනයෙන් බැස, ඇය නැවත සිහියට එන තෙක් ම තම අත්වලින් ගෙන සනසන වචනවලින් ඇය අස්වසාලූයේ ය. ”එස්තර්, ඔබට කුමක් වූයේ ද? මම ඔබේ සහෝදරයා වෙමි. ධෛර්යවත් වන්න. ඔබ නොමැරෙන්නෙහි ය. අපේ නියෝගය සාමාන්‍ය ජනයා සම්බන්ධයෙන් පමණකි. මා ළඟට එන්නැ”යි රජ කීයේ ය.
2 ඔහු තම රන්මුවා රාජ යෂ්ටිය ඔසවා, එය ඇගේ ගෙල මත තබා ඇය වැළඳ ගෙන, ”මට කතා කරන්නැ”යි කීවේ ය. ඈ ඔහුට කතා කොට, ”ස්වාමීනි, ඔබ දෙවියන් වහන්සේගේ දූතයෙකුට සමානව සිටිනු මම දිටිමි. එවිට මාගේ හෘදය කැළඹුණේ ය. මම ඔබේ තේජස දැක බිය වීමි. මන්ද, ස්වාමීනි, ඔබ විස්මයජනක වන හෙයිනි. ඔබේ මුහුණ ප්‍රසාදජනක වන හෙයිනි”යි කීවා ය. ඈ මෙසේ කතා කරමින් සිටිය දී මූර්ඡා වූවා ය. රජ කලබල විය. අවට සිටි පිරිවර ඇය ප්‍රාණවත් කිරීමට උත්සාහ කළෝ ය. 3 ”එස්තර් බිසව, ඔබේ කාරිය කිම, ඔබ ඉල්ලන දේ මට කියන්න; රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුවත් ඔබ ඉල්ලූ පමණින් ම ඔබට දෙනු ලැබේ”යි රජ කීවේ ය. 4 එස්තර් උත්තර දෙමින් ”රජතුමාට යෝග්‍යය යි සිතන්නේ නම්, මා රජතුමාට පිළියෙළ කර තිබෙන භෝජන සංග්‍රහයට හාමාන් සමඟ අද එනු මැනවැ”යි කීවා ය. 5 එවිට රජ කතා කොට, ”එස්තර්ගේ ආශාව ඉටු කරනු පිණිස හාමාන්ට වහා එන්නට කියන්නැ”යි දන්වා යැවී ය.
6 මෙසේ රජ ද හාමාන් ද එස්තර් පිළියෙළ කළ භෝජන සංග්‍රහයට ආවෝ ය. භෝජන අනුභව කරන අතර රජ එස්තර්ට නැවත කතා කොට, ”ඔබ ඉල්ලන දේ මට කියන්න. ඔබ ඉල්ලූ පමණින් ම එය ඔබට දෙනු ලැබේ. රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඒ ඉල්ලීම ඉටු කරනු ලැබේ ය”යි කීයේ ය. 7 එවිට එස්තර් කතා කොට, ”මා ආශා කරන්නේ කුමක් ද? 8 මා ඉල්ලන්නේ කුමක් ද? රජතුමාගෙන් මට කරුණාව ලැබී තිබේ නම් එසේ ම මා ඉල්ලන දේ දෙන්නටත්, මාගේ ආශාව ඉටු කරන්නටත්, රජතුමා ප්‍රසන්න වන්නේ නම් මාගේ ඉල්ලීම වනුයේ මා විසින් පිළියෙළ කරන ලද මංගල භෝජනයට හෙට දින දී ඔබ හාමාන් සමඟ පැමිණීම යි. එවිට රජතුමාගේ කීම ලෙස හෙට කරන්නෙමි”යි කීවා ය.
9 හාමාන් ඒ දවසේ දී සන්තෝෂ වී ප්‍රීතිමත් සිතකින් පිටතට ගියේ ය. එහෙත් රජ වාසල ළඟ උන් මොර්දෙකායි තමා ඉදිරියෙහි නැඟිට්ටේ වත්, තමා හුන් තැනින් මඳක් ඉවත් වූයේ වත් නැති බව දැක ඔහු කෙරෙහි උදහසින් ඇවිළුණේ ය. 10 එහෙත්, ඔහු කිසි දෙයක් කෙළේ නැත. ඔහු ගෙදර ආ පසු තම මිතුරන් ද, තම භාර්යාව වූ ශෙරෙෂ් ද ඔවුන් ඉදිරියෙහි තමාගේ වස්තු සම්භාරය ගැන ද, 11 තමාගේ දරුවන් රාශිය ගැන ද, තමා අන් සියලු මහා අධිපතීන්ටත්, සේවකයන්ටත් වඩා උසස් කිරීමට රජු කළ සියලු දේ ගැන ද බොහෝ වේලාවක් කතා කෙළේ ය. 12 තවදුරටත් කතා කරමින්, ”එස්තර් බිසොව පිළියෙළ කළ මංගල භෝජනයට මා මිස රජු සමඟ වෙන කිසිවෙකු කැඳවනු ලැබුයේ නැත. හෙටත් රජු සමඟ එන්නට ඈ විසින් ආරාධනා කරනු ලැබීමි. 13 එහෙත්, මොර්දෙකායි නම් ජුදෙව්වා රජ වාසල ළඟ හිඳිනු මට පෙනෙන කල මේ සියල්ලෙන් ඇති පල කිම් දැ”යි කීයේ ය. 14 එවිට ඔහුගේ භාර්යාව වූ ශෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, ”පණස් රියනක් උස ඇති පෝරකයක් සාදවා මොර්දෙකායි එහි එල්ලා දමන ලෙස හෙට උදේ රජුගෙන් ඉල්ලන්න. ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් සහභාගි වන්නට ඔබට හැකි වන්නේ ය”යි කීවෝ ය. මේ උපදේශයෙන් සතුටට පත් වූ හාමාන් පෝරකය සූදානම් කිරීමට සැලැසුවේ ය.
– 6 වන පරිච්ඡේදය –
හාමාන්ගේ පරාජය
1 ඒ රාත්‍රියෙහි දී රජුට නින්ද නොගිය හෙයින් පසුගිය කාලයේ කරුණු සඳහන් ලේඛන පොත ගෙනවුත් තමාට කියවන්නට ඔහු අණ කෙළේ ය. 2 එවිට අහෂ්වේරොෂ් රජ මරන්නට උපායක් යොදා වරදට පත් වූ දොරටු රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වූ බිග්තාන් ද තෙරෙෂ් ද ගැන මොර්දෙකායි රජුට දැන් වූ වග ලියා තිබී සම්බ විය. 3 ”මේ සම්බන්ධයෙන් මොර්දෙකායිට කුමන ගරුසම්මානයක් හෝ කුමන උසස් තනතුරක් දෙන ලද්දේ දැ”යි රජ ඇසුවේ ය. ”ඔහු උදෙසා කිසිවක් කර නැතැ”යි පිරිවර සේවකයෝ කීවෝ ය. 4 එවිට රජ කතා කොට, ”ප්‍රවේශ ශාලාවෙහි රාජකාරියෙහි යෙදී සිටින්නේ කවරෙක් දැ”යි ඇසුවේ ය. ඒ මොහොතෙහි දී ම හාමාන් තමා විසින් මොර්දෙකායිට සාදන ලද පෝරකයෙහි ඔහු එල්ලා දැමීම ගැන රජුට කතා කරන පිණිස රජ ගෙදරින් පිටත ප්‍රවේශ ශාලාවට පැමිණියේ ය. එහෙයින් රජුගේ සේවකයෝ උත්තර දෙමින්, 5 ”හාමාන් ප්‍රවේශ ශාලාවෙහි සිටී”යි කීවෝ ය. ”ඔහුට ඇතුළට එන්නට ඉඩ දෙන්නැ”යි රජ අණ කෙළේ ය.
6 හාමාන් ඇතුළු වූ කෙණෙහි ම රජ ඔහුට කතා කොට, ”රාජ ගෞරව දක්වන්නට කැමැති මනුෂ්‍යයෙකු සැලකිය යුත්තේ කෙසේ දැ”යි ඇසුවේ ය. ‘රජු ගෞරව කරන්නට කැමැත්තෙන් සිටින්නේ මට මිස වෙන කාට දැ’යි සිතා, 7 හාමාන්, රජුට කතා කොට, ”රජ යමෙකුට ගෞරව කරන්නට කැමැත්තේ නම්, 8 රජු පළඳින වස්ත්‍ර ද, රජු නැඟී යන රාජ ඔටුන්නක් හිසේ දරන අශ්වයෙකු ද ගෙන 9 වස්ත්‍ර ද අශ්වයා ද රජුගේ ඉතා උසස් සේවකයන් මෙන් කෙනෙකුට භාර දෙනු ලැබේ වා! එවිට ඔහු රාජ ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට ඒ වස්ත්‍ර අන්දවා ඔහු අශ්වයා පිට නංවා නුවර මහා වීථිය දිගේ ගෙන යමින්, ‘රාජ ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබෙන්නේ ය’යි ඔහුට පෙරටු ව යමින් කෑගසා කියන්නට සලසන්නැ”යි කීයේ ය. 10 එවිට රජ හාමාන්ට උත්තර දෙමින්, ”ඉක්මන් කර ඔබ කී ලෙස වස්ත්‍ර ද අශ්වයා ද රැගෙන රජ වාසල භාණ්ඩාගාරය සේවයෙහි හිඳින ජුදෙව් ජාතික මොර්දෙකායිට එසේ කරන්න. ඔබ කී සියල්ලෙන් කිසිවක් අඩු නොකෙරේවා”යි කීවේ ය.
11 එවිට හාමාන් වස්ත්‍ර ද අශ්වයා ද රැගෙන මොර්දෙකායි සරසා නුවර මහා වීථිය දිගේ අසු පිටින් යන්නට සලසා, ”රාජ ගෞරවය කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේ ය”යි ඔහුට පෙරටු ව යමින් ශබ්ද නඟා කීවේ ය. 12 ඉන්පසු මොර්දෙකායි රාජකීය භාණ්ඩාගාරයට හැරී ගියේ ය. එහෙත් හාමාන් කැළඹුණු සිත් ඇති ව මුහුණ වසාගෙන තම ගෙදරට ඉක්මනින් ගියේ ය. 13 ඔහු තමාට සිදු වූ සියලු දේ තම භාර්යාව වූ ශෙරෙෂ්ට ද තම සියලු මිතුරන්ට ද කීවේ ය. ඔහුගේ භාර්යාව වූ ශෙරෙෂ් සහ ඔහුගේ මිතුරෝ ඔහුට කතා කොට, ”ඔබ මොර්දෙකායි ඉදිරියේ පිරිහෙන්නට පටන්ගත් හෙයින්, ඔහු ජුදෙව් වංශයේ කෙනෙක් නම්, ඔහුට ඉහළින් සිටින්නට ඔබට බැරි වේ ය. එසේ නොව මේ අන්දමින් පටන්ගත් ඔබ ඔහු නිසා වඩ වඩාත් පහතට වැටෙනු ඇතැ”යි කීවෝ ය. ඔවුන් ඔහු සමඟ කතා කරමින් සිටිය දී ම රජුගේ නපුංසකයෝ අවුත් එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට ඔහු ඉක්මනින් කැඳවාගෙන ගියෝ ය.
– 7 වන පරිච්ඡේදය –
හාමාන් එස්තර්ගේ මංගල භෝජනයට සහභාගි වීම
1 රජ ද හාමාන් ද එස්තර් බිසොවගේ මංගල භෝජනයට පැමිණ සිටියෝ ය. 2 රජ මේ දෙ වන දවසෙහි ද එස්තර්ට නැවත කතා කොට, ”එස්තර් බිසොව, ඔබ ඉල්ලන දේ මට කියන්න. ඔබ ඉල්ලූ පමණින් එය ලැබේ. ඔබ ආශා කරන්නේ කුමක් දැ යි මට කියන්න. ඒ ඉල්ලීම මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද එය ඉටු කරනු ලැබේ”යි කීයේ ය.
3 එවිට එස්තර් බිසොව ඔහුට උත්තර දෙමින්, ”රජතුමාණනි, ඔබ ඉදිරියෙහි මට සැබැවින් ම කරුණාව ලැබී තිබේ නම්, එය ඔබට ප්‍රසන්න වන්නේ නම් මට මාගේ ප්‍රාණය දුන මැනව. මාගේ ඉල්ලීම මෙය වේ. 4 මාගේ ජාතියේ ප්‍රාණය ද දෙනු ලැබේ වා! මෙය මාගේ ආශාව යි. මන්ද, මාගේ ජාතියත්, මාත් සම්පූර්ණ විනාශයට ද ඝාතනයට ද නාස්තියට ද නියම ව සිටින හෙයිනි. දාසයන් හා දාසියන් වීමට පමණක් අප නියම වී සිටියා නම්, මම නිශ්ශබ්ද වී සිටින්නෙමි. එහෙත් දැන් තිබෙන තත්ත්වය අනුව රජුට සිදු වන්න යන පාඩුව පිරිමසන්නට පීඩකයාට නොහැකි වන්නේ ය”යි කීවා ය. 5 අහෂ්වේරොෂ් රජ එස්තර් බිසොවගේ කතාව අතරමඟ දී නවත්වමින්, ”ඒ කවු ද? මෙබඳු දුෂ්ට අපරාධයක් කරන්නට සිතූ මිනිසා කවු දැ”යි ශබ්ද නඟා ඇසුවේ ය. 6 එවිට එස්තර් කතා කොට, ”පීඩකයෙක් ද සතුරෙක් ද වන මේ නීච හාමාන් ය”යි කීවා ය. 7 රජු සහ බිසොව ඉදිරියෙහි හාමාන් භයින් ගල්ගැසුණි. කෝපාවිෂ්ට වූ රජ නැඟිට මංගල භෝජනයෙන් ඉවත් ව මාලිගාවේ උයනට ගියේ ය. ඒ අතර රජු තමා විනාශ කරන්නට ඉටාගෙන සිටි බව තේරුම්ගත් හාමාන් තම ප්‍රාණය ඉල්ලා එස්තර් බිසොවට කන්නලව් කරන පිණිස එහි නැවතුණේ ය. 8 රජතෙම උයනේ මංගල භෝජන ශාලාවට හැරී ආ කල එස්තර් ඇලවී සිටි යහනෙහි හාමාන් සිටිනු දුටුවේ ය. එවිට රජ කෑ ගසා, ”මොහු මාගේ මාලිගාවෙහි මා ඉදිරිපිට බිසොවට බලහත්කාරකමක් කරන්නට යන්නේ දැ”යි ඇසුවේ ය. මේ වචන රජුගේ මුවින් පිට වනු සමඟ ම ඔව්හු හාමාන්ගේ මුහුණ රෙදි කඩකින් වැසුවෝ ය. 9 රජුට සේවය කළ නපුංසකයන්ගෙන් කෙනෙක් වූ හර්බෝනා එහි සිටියේ ය. ඔහු කතා කොට, ”රජුගේ ප්‍රාණය ගැළවීම සඳහා ආරංචියක් දැන් වූ අර මොර්දෙකායිට හාමාන් පිළියෙළ කළ පණස් රියනක් උස ඇති පෝරකයක් තිබේ. එය මේ දැන් ඔහුගේ ගෙය ළඟ තිබේ ය”යි කීවේ ය. ”මොහු එල්ලා දමන්නැ”යි රජ අණ කෙළේ ය. 10 මෙසේ හාමාන් විසින් මොර්දෙකායි සඳහා සාදන ලද පෝරකයෙහි හාමාන් එල්ලනු ලැබුවේ ය. රජුගේ කෝපය සංසිඳුණේ ය.
– 8 වන පරිච්ඡේදය –
රාජ අනුග්‍රහය ජුදෙව්වරුන්ට ලැබීම
1 ඒ දවසේ දී අහෂ්වේරොෂ් රජ ජුදෙව්වරුන්ගේ පීඩකයා වූ හාමාන්ගේ ගේදොර එස්තර් බිසොවට දුන්නේ ය. එස්තර් විසින් මොර්දෙකායි සමඟ තමාගේ නෑකම එළිදරව් කරනු ලැබූ හෙයින් මොර්දෙකායි රජු ඉදිරියට පමුණුවනු ලැබුවේ ය. 2 රජු හාමාන්ගෙන් තමාගේ පේරැස් මුද්ද ආපසු ලබාගෙන තිබිණි. ඔහු එය තම ඇඟිල්ලෙන් ගලවා මොර්දෙකායිට දුන්නේ ය. එස්තර් මොර්දෙකායිට හාමාන්ගේ ගෘහයේ පාලනය බාර කෙළේ ය. 3 එස්තර් නැවත වරක් රජුට කතා කරන්නට ගියා ය. ඈ රජුගේ පාමුල වැටී අඬමින් ආගාගිය ජාතික හාමාන් අදහස් කළ නපුරු ක්‍රියා මාර්ගය ද ජුදෙව්වරුන්ට විරුද්ධ ව ඔහු යෝජනා කළ උපාය ද නිශ්ප්‍රභා කරන මෙන් ඉල්ලා කන්නලව් කළා ය. 4 රජ එස්තර් දෙසට රන්මුවා රාජ යෂ්ටිය දිගු කෙළේ ය. එවිට එස්තර් නැඟිට රජු ඉදිරියෙහි කෙළින් සිටියා ය. 5 ඈ ඔහුට කතා කොට, ”එය රජතුමාගේ සතුට වන්නේ නම්, මට රජතුමා ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ නම්, මාගේ ඉල්ලීම සාධාරණ යයි රජතුමාට පෙනී යන්නේ නම්, මා රජතුමාගේ ඇස් හමුවෙහි ප්‍රිය වී නම්, රජතුමාගේ සියලු ප්‍රදේශවල සිටින ජුදෙව්වරුන් විනාශ කරන්නට අගාගිය ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ගේ ලියුම් පැහැදිලි ලෙස අවලංගු කරනු ලැබේ වා! 6 මාගේ ජාතියට සිදු වන්නට යන විපත දැක මා සැනසී සිටින්නේ කෙසේ ද? මාගේ ජාතියේ සම්පූර්ණ විනාශය දැක දැක මා ඉවසා සිටින්නේ කෙසේ දැ”යි ඇසුවා ය.
7 එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසොවට ද ජුදෙව්වරයෙකු වූ මොර්දෙකායිට ද කතා කොට, ”මාගේ සැලකිල්ලට භාජන වූ කාරණයක් වශයෙන් ජුදෙව්වරුන් විනාශ කිරීමට උපායක් යෙදූ හාමාන් පෝරකයෙහි එල්ලනු ලබන්නට මම සලසා ඔහුගේ ගෘහය එස්තර්ට දුනිමි. 8 ඔබ ද සුදුසු යයි ඔබ සිතන දේ රජුගේ නාමයෙන් ඔවුන්ට ලියා යවන්න. ඔබ ලියන දේ රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කර යවන්න. මන්ද, රජුගේ නාමයෙන් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කළ සියලු නියෝගයන් අවලංගු නොකළ හැකි වන හෙයිනි”යි කීයේ ය. 9 එකෙණෙහි ම රජුගේ ලේකම්වරු ද කැඳවනු ලැබුවෝ ය. එදින සීවාන් නම් තුන් වන මාසයේ විසි තුන් වන දින විය. මොර්දෙකායිගේ අණ පිට ඔව්හු ජුදෙව්වරුන්ට ප්‍රදේශ එක සිය විසි හතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා ප්‍රදේශවල දිශාපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද අධිපතීන්ට ද එක එක ප්‍රදේශයේ අකුරුවලින් හා එක එක සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් හා ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යැව්වෝ ය. 10-11 අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කරන ලද මේ ලියුම්, රජුගේ අශ්ව ගොවිපළින් ගත් අශ්වයින් පිට නැඟී ගිය පණිවුඩකාරයන් විසින් ගෙන යන ලද්දේ ය. ”මේ ලියුම මඟින් රජ සියලු ම නගරවල සිටි ජුදෙව්වරුන්ට තමන්ගේ ප්‍රාණය සුරක්ෂිත කරගනු සඳහා රැස්වීමේ අයිතිය ද, සෙනඟ අතුරෙන් හෝ ප්‍රදේශවලින් හෝ සන්නද්ධ ව එන කණ්ඩායම් සමඟ බාලයන් හා ස්ත්‍රීන් ඇතුළු ව සියල්ලන් විනාශ කිරීමටත්, මරන්නටත්, නාස්ති කරන්නටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්නටත් ජුදෙව්වරුන්ට අවසරය දානය කෙළේ ය. 12 මේ නියෝගය වලංගු වන්නට තිබුණේ අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රදේශවල එක ම දිනයෙහි දී ය. එනම්, අදාර් නම් වූ දොළොස් වන මාසයේ දස තුන් වන දින දී ය.
ජුදෙව්වරුන්ගේ අයිතිවාසිකම් ආපසු දීම
මේ ලියුමේ මුල් පිටපත මෙසේ විය: අහෂ්වේරොෂ් මහා රජු ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා පැතිර පවත්නා ප්‍රදේශ එක සිය විසි හතේ දිශාපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද අපේ සියලු පක්ෂපාත වැසියන්ට ද ආමන්ත්‍රණය කරමින් ලියා එවන වග නම්:
තමන්ගේ ආධාරකාරයන්ගේ මහත් ත්‍යාගිවන්තකමින් නැවත නැවතත් ගෞරව කරනු ලැබූ බොහෝ මනුෂ්‍යයෝ ඒ සම්බන්ධයෙන් අහංකාරය දක්වති. ඔව්හු අපේ වැසියන්ට අනතුරු සිදු කිරීමට උත්සාහ කරනු පමණක් නොව, තමාගේ සමෘද්ධිය ඉසිලිය නොහැකි බරක් මෙන් සලකා තමන්ගේ ආධාරකාරයන්ට පවා විරුද්ධ ව කූට උපායයන් යොදති. මනුෂ්‍ය හෘදයෙන් කෘතඥ ගුණය පිටුවහල් කිරීමෙන් සෑහීමට ද පත් නොවී යහපත කුමක් දැ යි නොදන්න මිනිසුන්ගේ ප්‍රශංසා කිරීමෙන් මත් වී සියලු දේ නිතර දෙවියන් වහන්සේගේ බැල්ම යටතේ පවතින බව නොසලකා දුෂ්ටයින්ට එරෙහි වූ උන් වහන්සේගේ යුක්තියෙන් බේරෙන්නට නිෂ්ඵල ලෙස බලාපොරොත්තු වෙති. නීත්‍යනුකූල ව බලධාරීන් විසින් රජයේ කටයුතු පාලනය කිරීමට පත් කරන ලද මිතුරන් විසින් මඟපෙන්වනු ලැබීමට ඉඩ දීමෙන් නිර්දෝෂ රුධිරය සිඳ හෙලීමේ වරදට පංගුකාරයන් වන්නට ද, ප්‍රතිකාරයක් නොකළ හැකි විපත්ති ගැන වගකීමක් දරන්නට ද සිදු වූ අවස්ථා බොහෝ ය. බලධාරීන්ගේ අවංක අදහස් දුෂ්ට අදහස් ඇත්තන්ගේ ව්‍යාජ තර්කවලින් නොමඟ යවනු ලබන්නේ ය. මේ බව අප මතක් කළ පුරාණ ඉතිහාසයෙහි කියා තිබෙන දේවල් පසෙක තබා ඔබ ඉදිරියෙහි දැන් සිදුවන දේවල් දෙස ඇස් ඇර බැලීමෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. වසංගතයක් වැනි වූ අයෝග්‍ය පාලකයන් විසින් කරනු ලබන අපරාධයන් දෙස බලන්න. මතුවට අපි රාජ්‍යයේ සියලු දෙනාට ශාන්ත භාවයත් සාමදානයත් ඇති වන්නට සලසනු සඳහා වෙහෙස වන්නෙමු. මේ සඳහා අපි යෝග්‍ය වූ නව ක්‍රියා මාර්ගයක් යොදාගන්නෙමු. අප වෙත ඉදිරිපත් කරනු ලබන කාරණා අපක්ෂපාත සැලකිල්ලෙන් විනිශ්චය කරන්නෙමු.
මෙසේ පර්සියානු ලේ බින්දුවක් වත් නැත්තා වූ ද, අප මෙන් කරුණාවන්ත නොවූ ද ග්‍රීක් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් අප විසින් ආගන්තුකයෙකු වශයෙන් පිළිගනු ලැබුවේ ය. අප සියලු ජාතීන්ට දක්වන මිත්‍ර ලීලාවෙන් අප විසින් ඔහු සලකන ලද්දේ ය. එපමණක් නොව අපගේ ”පියා” යන ගෞරව නාමය දැරුවේ ය. සිංහාසනයට පමණක් දෙවැන්නා මෙන් සියල්ලන් විසින් දණ නමා නමස්කාර කරනු ලැබුවේ ය. එහෙත් ඔහුට තම උසස් නිලය මදිවූවාක් සේ අපට බලයත් ප්‍රාණයත් අහිමි කරන්නට උත්සාහ කෙළේ ය. අපට ගැළවුම්කාරයෙක් ද නිරන්තර ආධාර කාරයෙක් ද වන මොර්දෙකායි සහ අපේ රාජ්‍යයේ නිර්දෝෂ වල්ලභ ස්ත්‍රියක් වන එස්තර් සිටිති. හාමාන් තම වංක වූ දක්ෂ උපක්‍රමයන් මඟින් අප ලවා ඔවුන් ද ඔවුන් සමඟ ඔවුන්ගේ මුළු ජාතිය ද විනාශ කරන්නට උත්සාහ කෙළේ ය. මේ ආකාරයෙන් අප තනි කිරීමට ද පර්සියානු ආධිපත්‍යය ග්‍රීක්වරුන්ට පාවා දීමට ද ඔහු අදහස් කෙළේ ය.
එහෙත්, මේ ප්‍රයෝගකාර අධමයා විසින් විනාශයට නියම කරන ලද ජුදෙව්වරුන් අපරාධකාරයන් නොව අති සාධාරණ නීතිවලින් පාලනය කරනු ලබන මනුෂ්‍ය වර්ගයක් බව අපට පෙනී ගොස් තිබේ. ඔව්හු උතුම් වූ ද, ජීවමාන වූ ද, මහෝත්තම දෙවියන් වහන්සේගේ දරුවෝ ය. අප ද මුතුන්මිත්තන් ද රාජ්‍යයේ සමෘද්ධි ලබාගත්තෙත් එය පවත්වාගෙන යන්නෙත් උන් වහන්සේ නිසා ය. එහෙයින් හම්මෙදාතාගේ පුත් හාමාන් විසින් ඔබ වෙත එවන ලද ලියුම් අනුව ක්‍රියා නොකිරීම නිවැරදි බව සලකන්න. ඒ ලියුම ලියූ තැනැත්තා ඔහුගේ මුළු පවුල සමඟ සූසාහි වාසල ළඟ දී එල්ලා මරන ලද්දේ ය. මේ වනාහි සියලු දේ හසුරුවා පාලනය කරන දෙවියන් වහන්සේ විසින් ඔහුට නොපමා ව දෙන ලද ඔහුට ම සුදුසු දඬුවමකි. මේ ලියුමේ පිටපතක් සියලු තැන්වල සවි කරන්න. ජුදෙව්වරුන්ට ඔවුන්ගේ සම්පූර්ණ සම්ප්‍රදායයන් අනුව ජීවත් වන්නට ඉඩ හරින්න. ඔවුන් විනාශ කිරීමට මීට කලින් නියම කරන ලද දිනය වන අදාර් හෙවත් දොළොස් වන මාසයේ දහතුන් වන දින ඔවුන්ට පහර දෙන්නට නැඟී සිටින අයට විරුද්ධ ව ඔවුන්ට සහාය දෙන්න. මන්ද, ජුදෙව්වරුන්ගේ විනාශය සඳහා වන්නට තිබුණු මේ දිනය සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් තෝරාගන්නා ලද ජාතිය සඳහා ආනන්දජනක දිනයකට හරවනු ලැබූ හෙයිනි. ජුදෙව්වරුන් වන ඔබ ද, ඔබේ විශිෂ්ට මංගල්‍යයන් අතර මේ සිහි කටයුතු දිනය ද, කෑමබීමාදි සත්කාරයෙන් පවත්වන්න. මෙසේ එය ඔබට ද සුසිත් වූ පර්සියානුවරුන්ට ද, දැනුත් මතුවටත්, ඔබේ ගැළවීමේ සිහි වීමක් ද, ඔබේ සතුරන්ට ඔවුන්ගේ විනාශයේ ස්මාරකයක් ද වන්නේ ය.
මේ නියමයන් නොපිළිපදින නගර ද, සාමාන්‍යයෙන් සැම රටවල් ද අනුකම්පා රහිත ව ගින්නෙන් හා කඩුවෙන් විනාශ කරනු ලැබ මනුෂ්‍යයන්ට ළං විය නොහැකි වූ ද වන මෘගයන්ට හා පක්ෂීන්ට පවා පිළිකුල් වූ ද ස්ථාන වන්නේ ය.
13 නියම කරන ලද දිනයේ දී සතුරන්ගේ පළිගැනීමට ජුදෙව්වරුන් සූදානම් ව සිටිනු සඳහා එක එක ප්‍රදේශයෙහි නීතියක් වශයෙන් ක්‍රියාවේ යොදවන්නට තිබුණු මේ ආඥාව මනුෂ්‍ය ජාතීන් අතර ප්‍රසිද්ධ කරන ලද්දේ ය. 14 පණිවුඩකාරයෝ රාජ සේවයෙහි යෙදුණු අශ්වයන් පිට නැඟී රජුගේ අණ පිට ඉක්මනින් ද කඩිසර ලෙස ද පිටත් ව ගියෝ ය. ආඥාව සූසා බලකොටුවෙහි ද ප්‍රසිද්ධ කරන ලද්දේ ය. 15 මොර්දෙකායි නිල් සුදු රාජ වස්ත්‍රවලින් සැරසී විශාල රන් ඔටුන්නක් දරමින්, රත්-නිල් සිහින් හණ උතුරු සලුවක් පැළඳගෙන රජු වෙතින් පිටත් ව ගියේ ය. 16 මුළු සූසා නුවර ප්‍රීතියෙන් රැව් පිළිරැව් දුන්නේ ය. මේ දවස ජුදෙව්වරුන්ට ආලෝකයේ ද ප්‍රීති සන්තෝෂයේ ද ප්‍රමෝදයේ ද ජයග්‍රහණයේ ද දිනයක් විය. 17 රජුගේ ආඥාව සහ නියෝගය ලැබුණු සියලු ප්‍රදේශවල ද නුවරවල ද සැම තැන්වල ද ජුදෙව්වරුන්ට ප්‍රීතිය සහ සන්තෝෂය ද මංගල භෝජනය ද උත්සවශ්‍රිය ද විය. දේශයේ ජනයා අතරෙන් බොහෝ දෙන ජුදෙව් දහම වැළඳ ගත්හ. මන්ද, ජුදෙව්වරුන් ගැන ජනයා බිය වූ හෙයිනි.
– 9 වන පරිච්ඡේදය –
ජුදෙව්වරුන්ගේ විජයග්‍රහණය
1 රජුගේ ආඥාව සහ නියෝගය අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දින වලංගු බවට පත් වූයේ ය. ජුදෙව්වරුන්ගේ සතුරෝ ඔවුන් විනාශ කරන්නට බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ දවසේ දී තත්ත්වය අනික් අතට පෙරළිණි. ජුදෙව්වරු තමන්ගේ සතුරන් විනාශ කළෝ ය. 2 අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රදේශවල ඔව්හු තමන්ට අනතුරු කරන්නට උපායයන් යෙදූ අයට පහර දෙන පිණිස තමන් වාසය කළ නුවරවල රැස් වූවෝ ය. ඔවුන්ට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නුපුළුවන් විය. මන්ද, ජුදෙව්වරුන් කෙරෙහි බියකින් ඔවුන් මිරිකී සිටි හෙයිනි. 3 ප්‍රදේශවල අධිපතීහු ද දිශාධිපතීහු ද ආණ්ඩුකාරයෝ ද රාජ සේවකයෝ ද යන මේ සියලු දෙනා මොර්දෙකායිට බියෙන්, ජුදෙව්වරුන්ට උපකාර කළෝ ය. 4 මොර්දෙකායි සැබැවින් ම විශිෂ්ට ශ්‍රේෂ්ඨයෙක් ව සිටියේ ය. ඔහුගේ කීර්තිය සියලු ප්‍රදේශවල පැතිර යන්නට විය. මොර්දෙකායිගේ බලය ක්‍රමයෙන් තවත් වර්ධනය විය. 5 එහෙයින් ජුදෙව්වරු තමන්ගේ සියලු සතුරන්ට කඩුවෙන් පහර දුන්නෝ ය. එහි සමූලඝාතනයක් ද මහා විනාශයක් ද විය. 6 ජුදෙව්වරු තමන්ගේ විරුද්ධකාරයන්ට තමන් කැමැති ලෙස කළෝ ය. සූසා කොටුවෙහි දී ජුදෙව්වරු මිනිසුන් පන් සියයක් මරණයට පත් කළෝ ය. ජුදෙව්වරුන්ගේ පීඩකයා වූ හම්මෙදාතාගේ පුත් වන 7 හාමාන්ගේ පුත්‍රයන් දස දෙනා වූ 8 පර්ෂන්දාතා ද දල්පොන් ද අස්පාතා ද පොරතා ද 9-10 අදලියා ද අරිදාතා ද පර්මෂ්තා ද අරීසයි ද අරිදයි සහ ජෙසාතා ද විශේෂයෙන් ඔවුන් අතර වූ හ.
11 සූසා බලකොටුවෙහි දී මැරුම් කෑ අයගේ ගණන ඒ දවසෙහි දී ම රජුට සැළ කරන ලද්දේ ය. 12 රජ එස්තර් බිසොවට කතා කොට, ”සූසා බලකොටුවෙහි දී ම ජුදෙව්වරු මිනිසුන් පන්සිය දෙනෙකු ද හාමාන්ගේ පුත්‍රයන් දස දෙනා ද මැරුවෝ ය. රජුගේ අනෙක් ප්‍රදේශවල කුමක් කර ඇත්තේ ද? ඔබ ඉල්ලූ දේ දැන් මට කියන්න. ඉල්ලූ පමණින් එය දෙනු ලැබේ. ඔබ තවත් ආශා කරන්නේ කුමක් ද? එය නිසැක ව ම ඔබට දෙනු ලැබේ”යි කීයේ ය. 13 එස්තර් උත්තර දෙමින්, ”එය රජතුමාගේ සතුට වන්නේ නම්, සූසාහි සිටින ජුදෙව්වරුන්ට අද දවසෙහි කළ ආකාරයෙන් හෙටත් නියෝගය ක්‍රියාවෙහි යොදවන්නට අවසර නොලැබේ ද? හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළසිරුරු පෝරකයෙහි එල්ලනු ලැබේ වා”යි කීවා ය. 14 ඒ විගස ම රජු නියෝගයක් කෙළේ ය. ඒ ආඥාව සූසාහි ප්‍රකාශ කරනු ලැබුවේ ය. හාමාන්ගේ පුත්‍රයන් දස දෙනා එල්ලා තබනු ලැබුවෝ ය. 15 මෙසේ සූසාහි ජුදෙව්වරුන් අදාර් මස දස සතර වන දිනයෙහිත් රැස් වී සූසාහි මිනිසුන් තුන් සියයක් මරාදැමුවෝ ය. එහෙත්, ඔවුන් කොල්ලකෑවේ නැත. 16 රජුගේ ප්‍රදේශවල සිටි ජුදෙව්වරු ද තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා රැස් වූවෝ ය. ඔව්හු තමන්ගේ සතුරන්ගෙන් හැත්තෑ පන්දාහක් මරාදමා තමන්ගේ සතුරන්ගෙන් නිදහස් වූවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලකෑවේ නැත. 17 ඒ අදාර් මාසයේ දස තුන් වන දා ය. දස සතර වන දින ඔව්හු නිවාඩු ගෙන ඒ දවස ප්‍රීතිමත් මංගල දවසක් කරගත්තෝ ය. 18 එහෙත් සූසාහි සිටි ජුදෙව්වරු ඒ මාසයේ දස තුන් වන දිනත් දස සතර වන දිනත් රැස් වී පසළොස් වන දින නිවාඩු ගෙන ඒ දවස ප්‍රීතිමත් මංගල දිනයක් කරගත්තෝ ය. 19 පිටිසර පෙදෙස්වල ද පවුරු නැති නුවරවල ද වාසය කරන ජුදෙව්වරුන් අදාර් මාසයේ දස සතර වන දින ප්‍රීතියෙන් ද මංගල භෝජනවලින් ද තෑගි බෝග හුවමාරු කරගැනීමෙන් ද උත්සවාකාරයෙන් පවත් වන අතර නුවරවල වාසය කරන ජුදෙව්වරුන් ප්‍රීතියෙන් ද තමන්ගේ අසල්වැසියන් සමඟ තෑගි බෝග හුවමාරු කරගැනීමෙන් ද අදාර් මාසයේ පසළොස් වන දින උත්සවාකාරයෙන් පවත්වන්නේ ඒ නිසා ය.
පූරීම් මංගල්‍ය පිහිටු වීම
20 මොර්දෙකායි මේ සිද්ධීන් ලියා අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රදේශවල ළඟ හා දුර සිටි සියලු ජුදෙව්වරුන්ට ලියුම් යැව්වේ ය. 21 සෑම අවුරුද්දේ ම අදාර් මාසයේ දස සතර වන දිනත් පසළොස් වන දිනත් ජුදෙව්වරුන් තමන්ගේ සතුරන්ගෙන් නිදහස් වූ දවස වශයෙන් ද 22 ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ වැලපීම මංගලෝත්සවයටත් හැරුනු මාසය වශයෙන් ද පවත්වන්නට ඔහු ඔවුන්ට නියම කෙළේ ය. මේ දවස් මංගලෝත්සවයේ ද ප්‍රීතියේ ද දවස් වශයෙන් පවත්වමින් ඒ දිනවල තෑගි බෝග හුවමාරු කරගැනීමට ද දුප්පතුන්ට ත්‍යාගවන්ත ලෙස දීමට ද ඔහු ඔවුන්ට ආරාධනා කෙළේ ය.
23 ජුදෙව්වරු සිය කැමැත්තෙන් ම තමන් පිළිපදින්නට පටන්ගත්තා වූ ද, මොර්දෙකායි තමන්ට ලියා එව්වා වූ ද මේ සම්ප්‍රදායයන් දිගට ම කරගෙන යන්නට බාරගත්තෝ ය. 24 මොර්දෙකායි ලීවේ මෙසේ ය: ”සියලු ජුදෙව්වරුන්ගේ සතුරා වූ අගාගීය ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්, ජුදෙව්වරුන් නැති කිරීමට උපායයන් යොදා ඔවුන් පරාජය කිරීමටත්, ඔවුන් විනාශ කිරීමටත් පූර් හෙවත් පස ඇට දැමුවේ ය. 25 එහෙත්, මොර්දෙකායි පෝරකයෙහි එල්ලීමට ඉල්ලනු සඳහා ඔහු රජු වෙතට ගිය විට ඔහු ජුදෙව්වරුන්ට විරුද්ධ ව සිතාගත් උපාය ඔහුගේ හිස පිටට හැරුණේ ය. ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ පෝරකයෙහි එල්ලන ලද්දෝ ය. 26 එබැවින් පූර් යන නාමය අනුව මේ දවස්වලට ‘පූරීම්’ යන නාමය තැබුයේ ඒ නිසා ය. එහෙයින් මොර්දෙකායිගේ මේ ලියුමෙහි සඳහන් වූ වචන අනුව ද, තමන් දැක පිළිගත් දේ අනුව ද තමන්ට සිදු වූ දේ නිසා ද 27 ජුදෙව්වරු තම තමන් විසින් ද තමන්ගේ පරම්පරාවන් විසින් ද තමන්ට එකතු වන අය විසින් ද මේ දවස් දෙක ඒ ගැන ලියා තිබුණු ආකාරයටත්, වර්ෂයක් පාසා නියම දිනවල දී නොකඩවා පවත්වන්නට බැඳුණෝ ය. 28 මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට සියලු පවුල්වල ද සියලු ප්‍රදේශවල ද සියලු නුවරවල ද සිහිපත් කරනු ලැබ උත්සවාකාරයෙන් පැවැත්වෙන මේ පූරීම් දවස් ජුදෙව්වරුන් අතර කිසි කලෙක අතුරුදහන් නොවන්නේ ය. ඒ දිනවල ස්මරණය ඔවුන්ගේ ජාතිය අතර විනාශ නොවී පවතින්නේ ය.
29 අබිහයිල්ගේ දුව වූ එස්තර් බිසව ද මේ දෙ වන ලියුම ස්ථිර කරන පිණිස නිල බලයෙන් ලියා 30 අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍යයේ ප්‍රදේශ එක සිය විසි හතෙහි වාසය කළ සියලු ජුදෙව්වරුන්ට සාමදානයේ ද විශ්වාසකමේ ද වචන වශයෙන් යැව්වා ය. 31 ජුදෙව්වරයෙකු වූ මොර්දෙකායි නියම කළ පරිදි මේ පූරීම් දවස් නියම කාලයෙහි දී ද, ඔවුන්ට හා ඔවුන්ගේ පරම්පරාවලට නියම කරන ලද ආකාරයෙන් ද උපවාසය හා වැලපීම පිළිබඳ ව අතිරේක ව්‍යවස්ථාවන් සමඟ පිළිපැදීමට ඔවුන්ට නියම කරන ලද්දේ ය. 32 මෙසේ එස්තර්ගේ නියෝගයෙන් පූරීම් පිළිවෙත ස්ථිර කරනු ලැබ පොතක ලේඛනගත විය.
– 10 වන පරිච්ඡේදය –
මොර්දෙකායිට ප්‍රශංසා
1 අහෂ්වේරොෂ් රජ දේශයට ද මුහුදේ දිවයින්වලට ද කප්පම් නියම කෙළේ ය. 2 ඔහුගේ බලයේ හා වික්‍රමයේ සියලු විස්තර වීර ක්‍රියා ද, ඔහු විසින් මොර්දෙකායි මහත් ගෞරවයට උසස් කරනු ලැබීමේ විස්තර ද යන සියලු දේ මේදවරුන්ගේ ද පර්සියානුවරුන්ගේ ද රජදරුවන්ගේ ලේඛන පොතෙහි ලියැවී තිබේ.
3 එහි මෙසේ ලියැවී ඇත: ”ජුදෙව්වරයෙකු වූ මොර්දෙකායි අහෂ්වේරොෂ් රජුට පසු පළමුවැන්නා වූයේ ය. ඔහු ජුදෙව්වරුන් විසින් ගෞරවයෙන් සලකන ලද්දේ තම සහෝදර සමූහයට ප්‍රිය වූ කෙනෙකු ව සිටියේ ය. ඔහු තම සෙනඟගේ යහපත සොයමින් තම ජාතියේ ශුභසිද්ධිය සඳහා සිත යෙදෙව්වේ ය.”
4 මොර්දෙකායි මෙසේ කීයේ ය: ”මේ සියල්ල දෙවියන් වහන්සේ කළ දෙයකි. 5 මේ කරුණු ගැන මා දුටු ස්වප්නය මට මතක ය. එයින් කිසිවක් අත් හැරී නැත. 6 ගංගාවකට හැරුණු කුඩා උල්පත ද, බැබලූ ආලෝකය ද සූර්යයා ද ජල ප්‍රවාහයන් ද යන මේ සියලු දේ එහි ය. 7 මේ ගංගාව නම් රජු සරණ පාවාගෙන තම බිසොව කරගත් එස්තර් ය. මකරෝ දෙදෙනා නම් හාමාන් සහ මම යි. 8 ජාතීහු නම් ජුදෙව්වරුන්ගේ නාමය විනාශ කිරීමට එක්රැස් වූ අය යි. 9 දෙවියන් වහන්සේට මොරගසා ගැළවීම ලබාගත් අය මාගේ සෙනඟ වූ ඉශ්රායෙල් ය. එසේ ය, සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟ ගළවාගත් සේක. සමිඳාණන් වහන්සේ මේ සියලු නපුරෙන් අප නිදහස් කළ සේක. දෙවියන් වහන්සේ ජාතීන් අතර කිසි කලෙක සිදු නොවූ ආකාර පුදුමයන් ද ආශ්චර්යයන් ද සිදු කළ සේක. 10 සැබැවින් ම උන් වහන්සේ නියමයන් දෙකක් පිහිටෙවූ සේක. ඉන් එකක් උන් වහන්සේගේ සෙනඟ සම්බන්ධයෙන් ය. අනෙක ජාතීන් සම්බන්ධයෙන් ය. 11 මේ නියමයන් දෙක ම දෙවියන් වහන්සේගේ සැලසුම් අනුව ද සියලු ජාතීන් අතර ද උන් වහන්සේ අදහස් කළ පැයෙහි දී ද, කාලයෙහි දී ද, ක්‍රියාත්මක කරන ලද්දේ ය. 12 මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ තමන් සෙනඟ සිහිපත් කර තමන් උරුමයට සාධාරණකම සැලැසූ සේක. 13 ඔවුන්ට අදාර් මාසයේ දස සතර වන හා පසළොස් වන දින යන මේ දවස් මින්පසු රැස්වීමේ ද, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට සදහට ම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීතියේ හා සන්තෝෂයේ ද දවස් වන්නේ ය.”
– 11 වන පරිච්ඡේදය –
ශ්‍රීක පරිවර්තනය පිළිබඳ සටහන්
1 ටොලමිගේ හා ක්ලියෝපත්‍රාගේ රාජ්‍ය කාලයේ සතර වන වර්ෂයේ දී තමා පූජකයෙකු යයි ද, ලෙවි පූජකයෙකු යයි ද කී දොසිතේයුස් ද ඔහුගේ පුත් ටොලමි ද පූරීම් පිළිබඳ මේ ලියැවිල්ල ගෙනාවෝ ය. ඔව්හු එය විශ්වාස කටයුතු බව ද එහි පරිවර්තනය ජෙරුසලමේ සභාවේ සාමාජිකයෙකු වූ ටොලමිගේ පුත් ලිසිමාකස් විසින් කරන ලද බව ද සහතික කොට කීවෝ ය.