සැබෑ උපවාසය යනු කුමක්ද ?

saba-upawaasaya

කිතු සමිදුන් අපට ඇරයුම් කරන්නේ අන් අය වෙනුවෙන් වඩාත් සංවේදී වීමටයි. අද බොහෝ ජනතාවට අන් අයගේ වේදනාවට සංවේදීතාවය දැක්වීමට හුරු පුරුදු වී නැත.

ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය දෙස සුළු මොහොතක් හැරී බැලුවොත් උන්වහන්සේගේ ප්‍රේමය නැමති ජල දහරාව සැමවිටම ගලා ගියේ අසරණ පව්කරුවන් වෙතටය. එදා ස්නාවක ජොහාන්තුමාගේ ගෝලයන් ක්‍රිස්තුන් වහන්සේට උපවාසය නමැති ප්‍රශ්නය යොමු කලේ, එදා ඔවුන් නීති රාමුව තුල කොටුවී උපවාසය හුදෙක් සම්ප්‍රදාය ඉටු කරන්නට පමණක් සීමා කළ නිසයි. එහෙත් ඒ නීති රාමුව උන්වහන්සේ බිද දමා, උපවාසයේ සැබෑ අරුත පහදා දුන් සේක.

උපවාසය යනු ආහාරයට පමණක් සිමා වූ දෙයක් නොවේ. තම හද පත්ලෙන් ඇතිවෙන ආදරණීය, කෘතගුණශීලි සහ යහපත් හැගීම් මත පදනම්ව අන් අය වෙනුවෙන් සංවේදී වීම සැබෑ උපවාසය වේ. නමුත් එය වචනෙන් නොව ක්‍රියාවෙන් ද කළ යුතුය. ලොවට පෙන්වන්නට නොව කයට දැනෙන්නට විය යුතුය. නිවැරදි උපවාසය යෙසායා දිවැසිවරයා අපට පෙන්වයි. උපවාසය හරි හැටි අවබෝධයට නොගෙන අනෙකාට සංවේදී නැති ජිවිතයක් ගත කරනවා නම් එය සැබෑ උපවාසයක් නොවේ.

මෙම සියල්ල කරනකොට ගෙන උන්වහන්සේ මේ පාස්කු සමයේ අපගේ හදවතට තට්ටු කරන්නේ මා අන් අයට සංවේදී වූ පුද්ගලයෙක්ද කියා ප්‍රශ්න කරමිනි. ක්‍රිස්තු අනුගාමිකයින් වන අප, මේ ගැන මොහොතක් සිතිය යුතු වෙමු.

රවී ජෝන් සහෝදරතුමා
පළමු වසර – දර්ශන පීඨය