සත්‍ය ඔබ නිදහස් කරන්නේය

11

බොරුව,වංචාව, දුෂණය රජයන මෙවන් වූ කාල වකවානුවක් තුල ” සත්‍යය” යන්න බොහෝ දෙනෙකුට හුදු වචනයක් බවට පත්වී හමාරය. අද බොහෝ දෙනෙකුගේ අදහස් වී තිබෙන්නේ සත්‍ය කතා කිරීම තමාට යහපතක් නොවන බවයි. ඒ නිසා ” පොඩි බොරුවක් කීවට කමක් නැහැ, තමාට යහපතක් වෙනවානම්…” යන්න බහුතරයකගේ අද තේමා පාඨය වී ඇත. අසත්‍ය යනු අසත්‍යයි. කිසිවිටෙක දෙවියන් වහන්සේ අසත්‍යය සත්‍යයක් බවට සාධාරණිකරණය කරන්නට සුදානම් නැත.

තම ජීවිතය ගැන නොසිතා, සත්‍යයට සාක්ෂි දරන, සත්‍ය උදෙසා නැගී සිටින අයව ස්වාමින් වහන්සේ ඉමහත් ලෙස ආශිර්වාද කරන බව දානියෙල් දිවැසිවරයාගේ ග්‍රන්ථයේ ෂදක්, මේෂාක් සහ අබේද්නෙගොගේ කතාවෙන් පිලිබිබු වේ. එලෙසම අද දිනට නියමිත සුපුවත තුලින් අවධාරණය කරනු ලබන්නේ උන්වහන්සේගේ ධර්මයේ පවතින්නටත්, සත්‍ය අවබෝධ කරගන්නටත් කියාය. මන්ද සත්‍ය අප නිදහස් කරන බැවිනි.

ඒ නිසා අසත්‍යට හිස පහත් කරන්නට උගන්වන මෙවන් සමාජයක් තුල දෙමව්පියන් වශයෙන් තම දරුවන්ට සත්‍යය වටහා දීම දෙමව්පිය අප සැමගේ වගකීමයි. දරුවන් ලෙස සත්‍යවාදීව ක්‍රියා කිරීමට ඔබට අද අභියෝගයක් ඇත. එසේනම් සත්‍යට ගරු කරමින් බොරුව ප්‍රතික්ෂේප කරන්නට අදිටන් කර ගනිමු.