වහල් බැවින් පුත්‍රභාවයට

2
අද සුපුවත් ප්‍රකාශනය තුලින් ශුද්ධවූ සභා මාතාව අපට ඉදිරිපත් කරන්නේ කරුණාවන්ත පියාගේ උපමාවයි. තම පාපී ස්වභාවය අවබෝධ කරගෙන සැබෑ මනස්ථාපනයක් තුල තම පියාණන් සොයා පැමිණි බාලපුත්‍රයා තවදුරටත් පවුකාරයෙකු සේ නොසලකා පියාණන් විසින් ඉමහත් ආදරයෙන් පිළිගත් බවට මෙහි සදහන් වෙයි.

එදිනෙදා ජීවිතයේදී අප පණ පොවන්නාවූ චරිතය කුමක්ද ? අප පණ පොවන්නේ දයාවන්ත පියානන්ගේ චරිතයටද ? තම පාපී හා හිස්භාවය අවභෝධ කරගෙන නැවත හැරී පැමිණි බාලපුත්‍රයාගේ චරිතයටද ? නැතිනම් තම ආත්මාර්ථකාමිත්වය හා ඊර්ෂියාව තුල සහෝදරයාගේ නැවත පැමිණීමේ ප්‍රීතිය තම පියාණන් හා සහෝදරයා සමග බෙදාගැනීමට අපොහොසත් වූ තමා ශුද්ධවන්තයෙකු යයි සිතු වැඩිමහල් පුත්‍රයාගේ චරිතයටද ? මොහොතක් අප දෙස හැරී බලමු.

සමාජය තුල ඇති විවිධාකාර අන්ධකාරයේ බලවේගයන්ට බැලමෙහෙවරකම් කල අපේම සහෝදර සහෝදරියන් සැබෑ මනස්ථාපනයක් තුල නැවත හැරී ස්වාමින් වහන්සේ සොයා එන විට අප ඔවුන් පිළිගැනීමට අපොහොසත් වන්නේද ? එසේනම් අපද උපමාවේ සදහන් වන වැඩිමහල් පුත්‍රයාට පණපොවන්නන් වන්නෙමු.

අපට වැරදි කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි වලටද ස්වාමින් වහන්සේ කමා කරන බව අප හොදින් දන්නා, සෑම දිනකම ස්වර්ගයෙහි වැඩසිටින යාච්ඤාව තුල අප උච්චාරණය කරන සත්‍යයකි. එබැවින් සමාව දෙන, සමාව යදින ක්‍රිස්තුන් වහන්සේගේම හදවතේ අනුරුවක් අප තුල ඇති කර ගන්නට ද, දෙවියන් වහන්සේ සමග මිනිසුන් සමගි කරවීමේ සේවයෙහි නියැලෙන්නට අවැසි ශුද්ධාත්ම මගපෙන්වීම අයැද අපි යාච්ඤාව කරමු.

Advertisements