අපි මොහොතක් අපේ ජීවිතය දෙස හැරී බලමු. අපේ ජිවිතයේ වැඩිපුරම ලබා ගැනීමට ආස කරන දේ කුමක්ද ? බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්නයට පිළිතුර වන්නේ සතුට, එහෙමත් නැත්නම් ආදරය. පවුලක මවක් පියෙක් දු දරුවන් වශයෙන් එකට ජිවත් වෙමින් වැඩ රාජකාරි රාශියක නිරත වෙමින් අවසානයේ බලාපොරොත්තු වන්නේ තම පවුලේ ජිවත් වන සියලු දෙනාගේ සතුටයි. එලෙසම පවුල් ජිවිතයේ පමණක් නොව, පුළුල් සමාජ පරිසරය දෙස බැලු විට, පුජක පැවදිවරුන්ද, රටේ නායකයින්ද, විවිධ සේවාවන්හි නිරත වන සියලු දෙනා අවසානයේ අපේක්ෂා කරන්නේ සතුටයි. සතුට යනු තෘප්තිය නොවේ. නමුත් අද අප බොහෝ දෙනෙක් සතුට කියා අවබෝධ කරගෙන ඇත්තේ තෘප්තියයි. කතෝලිකයින් වශයෙන් අප ජිවිතයේ කොපමණ දේව වරප්‍රසාද ලබා තිබුනත් අපි කවුරුත් ජිවිතයේ තෘප්තිමත් නොවන අවස්ථා බහුලයි. එසේම අද දිනට අප සවන් දෙන පළමු වන දේව ප්‍රකාශනය මගින් අපට පෙන්වා දෙන්නේ ඒ හා සමාන සිදුවීමක් ගැනයි. අතීතයේත් ඉශ්රායෙල් ජනතාව පාළුකරයේ ගමන් කරද්දී දෙවි සමිදාණන් ඔවුන්ට කොපමණ දේ ලබා දුන්නද, ඔවුන් ඒ දේවල් තුලින් තෘප්තිමත් නොවුහ. ඒ කෙසේ නමුත් අවසානයේ සියල්ල අවබෝධ කරගත් ඔවුන් දෙවිදුන් වෙත හරි ගොස් එතුමන්ගෙන් සමාවත් සැබෑ ජිවිත සතුටත් අයිති කරගත්හ.
එසේනම් සහෝදරවරුනි, වර්තමානයේ ජිවිත වන ඔබ මම සැබෑ කිතුනු අනුගාමිකයින් වශයෙන් අපගේ ජිවිතයේ සෙවිය යුත්තේ කුමක්ද ? සැබෑ සතුටද ? තෘප්තියද ? ඔබ, මම බලාපොරොත්තු වන සැබෑ සතුට ලබාගත හැක්කේ කාගෙන්ද ? අපේ විශ්වාසයට අනුව සැබෑ ජිවිත සතුට ලැබිය හැක්කේ ජීවමාන දෙවිදුන්ගෙන් පමණි. එය අවබෝධ කර ගැනීමට අපට ශුද්ධාත්ම මග පෙන්වීම අවශ්‍යයි. ශුද්ධාත්ම මග පෙන්වීම තුලින් දෙවිදුන්ගෙන් සැබෑ සතුට අයිති කර ගනිමින් අපේ ජිවිතයේ ලබා ඇති සියලුම වරප්‍රසාදයන්ට දෙවි සමිදුන්ට ස්තුති ප්‍රශංසා කරමින් කිතුනු ජිවිතයට සාක්ෂි දරන්නටත් එදිනෙදා කටයුතුවලදී දෙවිදුන්ව අත්දකින්නටත් මෙම චතාරික සමයේ උත්සහ දරමු.