මමත්වයට ඉඩදෙනවාද?

8

දෙවි සමිඳාණන් වහන්සේ මෝසෙස්තුමන් හරහා ඉශ්රායෙල් ජනතාවට නීති හා නියෝග නැතහොත් ව්‍යවස්ථාවලිය දානය කලේ හුදෙක්ම ජනතාවගේ අභිවෘධිය සදහාත්, ඒවා පිළිපැදීම කරනකොට ගෙන දෙවි සමිඳාණන්ට කැප වූ ශුද්ධ වූ සෙනගක් වෙමින් ජාතීන් අතර උන් වහන්සේගේ නාමයේ මහිමය පතල කරන්නටත්ය.

එලෙස දුන් ව්‍යවස්ථාවලිය මෙලෙස විකෘති කරදමා තිබෙනු දකින අප සමිඳාණන්ගේ අභ්‍යන්තරය තුල කිනම් වූ සිතුවිල්ලක් නැගෙන්නට ඇතිද? තම තමන්ගේ සිතැඟි පරිදි නීති, නියෝග වෙනස් කර ගනිමින් දෙවි සමිදාණන්ට කැප වූ ශුද්ධ වූ සෙනගක් වී උන් වහන්සේගේ නාමයට මහිමය අත්කරදෙනු වෙනුවට, තම තමන්ගේ මමත්වයේ ආශාවන් පෙරටු කර ගනිමින් දිවි ගෙවූ පිරිසට අද දින සුපුවත තුල අභියෝග කරන කිතු සමිදාණෝ, තමන් වහන්සේ ව්‍යවස්ථාවලියේ පූර්ණයාණන් බව අනාවරණය කරන සේක.

තම තමන්ගේ මමත්වයේ ආශාවන් ඉටු කර ගැනීමට නීති රීති විකෘති කරන, එයිනුත් නොනැවතී තමන් අදහන ධර්මය පවා අත් හරින ජන කොටස් අද අප සමාජය තුල නැතුවා නොවෙයි. අප අයත් වන්නේ කොතැනටද? මම කටයුතු කරන්නේ මා ගැන පමණක් හිතමින්ද? මම අවංකව මා අදහන ධර්මය පිළිපදිනවාද? මම කැපවුණු ජීවිතයක් ගත කරනවාද? මගේ ක්‍රියා තුල මහිමයට පත් වන්නේ කාවද? අද දවස තුල මෙනෙහි කරමු.