මනස්ථාපනය වන්න

manasthamanaya-wanna
“කිරි කලයට ගොම බින්දුවක් දැම්මා වගෙයි” යන අප පැරැන්නන්ගේ වැකිය අද එසකියෙල් දිවැස්ප්‍රසාදිතුමා අප හට දෙන පණිවුඩය තුලින් හොදින් පහදලා දෙනවා. ධර්මිෂ්ඨකම, පොඩි කාලයේ ඉදල තියෙන මගේ හොඳ හිත, හැසිරීම, සියලු දෙනාටම එක සේ දැක්වූ ආදරය අද වෙනකොට මා ගාව, ඔබ ගාව තියෙනවාද?

ආදර අම්මේ, තාත්තේ ඔබට මේ ගැන හිතන්න පොඩි වෙලාවක් හරි තියෙයි. ඒත්, දයාබර සොයුර සොයුරිය, ඔබගේ ඔය දුරකථනය පසෙකලා හිතන්න. ඔබගේ ඒ හොඳ හිතට, ආදරණීය ජීවිතයට අද ගොම බිංදු එකතු වී ඇති දැයි කියා? එය එසේ ඔබට සිතෙන්නේ ජීවිතයේ හරි සුවඳ ඔය ගඳ තමයි කියලා හිතෙන හින්දා.

අද මතෙව්තුමාගේ සුවිශේෂයෙන් අපට කියන්නේ “ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව යම්කිසි අමනාපයක් ඇතිව සිටි නම් තමා ගෙන යන පඬුර පූජාසනය ඉදිරියේ තබා ගොස් පළමුකොට සහෝදරයා සමඟ සමඟිව පසුව විත් පඬුර පුදන්න…” කියාය. ඒත් අද සමහර අය පවසන්නේ මට නම් කිසිවෙක් සමඟ ප්‍රශ්න නැහැ කියලයි… දෙවියන් ඉදිරියේ අවංකව හිතන්න ඔබගේ සහෝදරයාට සහෝදරියට ඔබත් සමඟ ප්‍රශ්නයක් නොතිබෙන්නට පුළුවන. ඒත් ඔබගේ හිතේ ඔහුට විරුද්ධව තිබෙන සිතුවිලි… ඒ එක සිතුවිල්ලක් ඇති දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබව විනිශ්චය කරන්නට.

මම, ඔබ, අපි දේව බිය ඇත්තෝ නම්, අධර්මිෂ්ඨකම, පාපි සිතුවිලි හා ක්‍රියා වෙනුවෙන් සමාව ඉල්ලා යාච්ඤා කරන්නට අවශ්‍යයි. අධර්මිෂ්ඨකමින් හැරී ධර්මිෂ්ඨ වී දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් ගැළවීම ලබන්න… නැතහොත්… “අන්තිම සතයටම දඩය ගෙවන තෙක් ඔබව සිරගෙයි දමනු ඇත…” එබැවින් මනස්ථාපනය වන්න …

ෆ්‍රෑන්ක් විලියම් නි.ම.නි. සහෝදරතුමා
පළමු වසර – දර්ශන පීඨය