බලාපොරොත්තු රහිත තත්වයකදී වුවද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කළේය.

14

සැබෑ කිතුණුවා විශ්වාසයේ සහ බලාපොරොත්තුවේ සාක්ෂිකරුවා වන සේක. විශ්වාසය සහ බලාපොරොත්තුව කිතුනු ජීවිතයේ හරය වන්නේය. අප මේ ජීවත් වන්නේ තාක්ෂණය භීෂණයන් බවට පත්වෙමින්, මානුෂික වටිනාකම් පයට පෑගෙන්නාවූ මිනිස්කම හුදු බලයට හා ධනයට වහල්ව පිරිහී ගොස් ඇති වකවානුවකය. මෙවන් සමාජයක් තුල විශ්වාසය සහ බලාපොරොත්තුව ජීවත් කරවීම අභියෝගයකි. මෙම තාක්ෂණික ලෝකය තුල විශ්වාසය හා බලාපොරොත්තුව තුල පිළිතුරු සොයන්නෝ අතලොස්සකි. නූතන තාක්ෂණය හා බලය හමුවේ කිතුනු වටිනාකම් ගිලිහී ගොස් ඇති වුවද ඒවා නැවත බලාපොරොත්තුවේ සහ විශ්වාසයේ වෙරළට ගෙන ඒම කිතුණු මගෙත් ඔබගේත් වගකීම නොවේද?

මිනිස් සංහතියට ගැළවීම යථාර්ථයක් බවට පත් කල ක්‍රිස්තුන් වහන්සේ, උන් වහන්සේගේ ස්වකීය ජීවිත පරිත්‍යාගය තුල අප සැවොම උන් වහන්සේගේ දේහයේ පංගුකාරයන් බවට පත් කල සේක. ඒ මහා බැඳීම අප තුලින් අනෙකාට විද්‍යමාන වන්නට නම් උන්වහන්සේ වෙනුවෙන් අපගේ ජීවිතද කිතුනු චරිතය හා සමාන විය යුතුය. එසේ වන්නට නම් උන් වහන්සේ වෙනුවෙන් අපගේ ජීවිත පරිත්‍යාග කල යුතුය. ක්‍රිස්තු ජීවිත අභිරහසට ඇතුලත් වීමට අධ්‍යාත්මික සූදානම් වන අවදියක් තුල ගමන් කරන අපි මෙම කාලය තුල අපගේ ජීවිත පෙරළියකට ලක් කරමු. අපගේ අතීතය හා සබැඳි ඒ සියලු අන්ධකාර අත්දැකීම්වලින් මිදී බලාපොරොත්තුව සහ විශ්වාසය තුල නව ජීවිතයක් ආරම්භ කරමු.

එසේම දේව විශ්වාසය සහ බලාපොරොත්තුව තුල බෙලහීනව ජීවත් වන සොයුරු සොයුරියන් වෙනුවෙන් යාච්ඤා කරමු.

Advertisements