සෑම අම්මා කෙනෙකුගේම එකම අරමුණ තම පුතුන් සමාජයේ ඉහලම තැනකට යනු දැකීමයි. අද දින ශු. සුවිශේෂය පැහැදිලි කරන අන්දමට සෙබදිගේ පුත්‍රයන්ගේ මව ස්වාමින් වහන්සේගෙන් අයැද සිටින්නේ තම පුත්‍රයන් දෙදෙනා හට උන්වහන්සේගේ දකුණු පසේ හා වම් පසේ අසුන් ගන්නට ඉඩ ලබා දෙන ලෙසටය.
නමුත් ස්වාමින් වහන්සේ ඔවුන්ගෙන් පෙරලා අසා සිටින්නේ එය ලබා ගැනීමට අවශ්‍ය කැප කිරීම කරන්නට, දුක් වේදනා විඳින්නට ඔවුන්සුදානම් ද යන්නයි. මිනිස් හදවත් තුල දුක නැතහොත් ශෝකය යන්න පිළිබඳව ඇත්තේ අමිහිරි වූ සංකල්පයකි. සෑම මිනිසෙකුගේම පරම අභිලාෂය වනුයේ සැපවත් ජීවිතයක් ගත කිරීමය.
අද සමාජය දෙස බලන විට අපට පෙනී යන්නේ මිනිසුන් නායකත්වය, බලය ලබා ගැනීමට පොරබදින ආකාරයයි. මන්ද සමාජ මිම්මට අනුව නායකයා යනු අන් අයව පාලනය කිරීමට හැකියාව ඇත්තෙකි. නමුත් නායකත්වයේ පරමාදර්ශය ජේසුස් වහන්සේය. උන් වහන්සේ එදා ගොල්ගොතා කඳු මුදුනේ අපේ පාපයන් උදෙසා කුරුස ගස වැළඳගනු ලැබුවේ නායකත්වයේ ලක්ෂණ පැහැදිලි කරමිනි.
මොහොතකට සිතා බලන්න. මෙම සමාජය තුල, රැකියා කරන ස්ථානය තුල, පවුල තුල, පාසල තුල, අප සැමට නායකයෙකු වීමට පුළුවන. ඔබත් නායකත්වය වැරදි ලෙස භාවිතා කර අන් අය පීඩනයට පත් කරන, ඔවුන්ට රිදවන තැනැත්තෙක්ද? නැතහොත් අන් අයගේ දුකේදී සංවේදී වන, ඒ අයගේ සුභ සිද්ධිය සදහා කැපවුණු සේවකයෙකුද? සැබවින්ම ක්‍රිස්තු චරිතය නායකයින් වන අපට අභියෝගයක් නොවේද?