නසා තමකම, රැගෙන කුරුසිය, එමි ඔබ පසු පස සමිදේ

thama-kama-nasaa

චතාරික සමය කිතුනුවා ක්‍රිස්තු වටිනාකම් වැළද ගැනීමට උත්සහ කරයි. තම වැරදි වලට පසු තැවී දෙවිදුන් වෙතට හැරී යන්නටත් යාච්ඤාවට හා මර්ධන ක්‍රියා වලට වැඩි නැබුරුවක් දක්වයි.

අද දින ද්විතිය නීති සංග්‍රහය තුලින් මිනිසාට ජීවනයත්, සැපතත් හා මරණයත් විපතත් ගැන කතා කරයි. උන්වහන්සේගේ අණපනත් පිළිපදින්නන් උන්වහන්සේ බහුල ලෙස ආශිර්වාද කරන සේක.

ශුද්ධවූ සුවිශේෂය තුලින් ක්‍රිස්තුන් වහන්සේ උන්වහන්සේගේ මරණය හා පුනර්ජීවනය ගැන කතා කරයි. එම සිදුවීම දිවැසිවරයෙකු මෙන් පවසන අතර අප සැමට විවෘත ආරාධනයක් උන්වහන්සේ මෙම ශුවිශේෂ පාඨය තුලින් ලබා දෙයි. එනම් උන්වහන්සේ අනුව එන්න කැමති අයෙක් වේද ඔහු තමකම නසා එදිනෙදා ජිවිත කුරුසිය රැගෙන එන ලෙසයි. අප ස්වභාවයෙන්ම කැමති වන්නේ මේ ලෝකය තුල හැකිතාක් අප ජිවිත සුන්දර කර ගන්නටයි. ඒ සදහා අප හැකිතාක් කැපවෙයි. මුදල්, බලය, වස්තුව රැස්කරන්නට අප දිවා රෑ වෙහෙසෙයි. එහෙත් ස්වාමින් වහන්සේ ශුද්ධවූ සුවිශේෂය තුලින් අපට අභියෝගාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කරයි. එනම්, මෙම ලෝකය තුල ජීවිතය රැකගන්නට උත්සහ කරන තැනැත්තා එය නැති කර ගන්න අතර උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය නැති කර ගන්න අයෙක් වේද ඒ තැනැත්තා සිය ජීවිතය රැක ගන්නා බවයි.

යොහාන් පෙරේරා ( නි.ම.නි ) සහෝදරතුමා
පළමු වසර – දර්ශන පීඨය