දුක්ඛෝත්සව නොහොත් ගොබ් ඉරුදින

15

දුක්ඛෝත්සව නොහොත් ගොබ් ඉරුදින නමින් හැඳින්වෙන අද දින කිතුනු අපට දෙආකාරයකින් වැදගත් වේ. පළමු කොට අප ස්වාමින් වහන්සේ ජයග්‍රාහී ලීලාවෙන් ජෙරුසෙලමට ඇතුළු වීම අද අපි සමරමු. දෙවනුව කිතුනු ජනවන්දනා වසරේ සුවිශේෂීම සතිය වන ශුද්ධවූ සතියට අපි මහත් භක්තියෙන් ඇතුළු වෙමු.

එදා අප ස්වාමින් වහන්සේ ජෙරුසලමට ඇතුළු වුයේ සිය මරණය ගැන නොදැන නොවේ. මනුෂ්‍ය ඇසින් බලන කල මරණය සොයා එන උන් වහන්සේ විජයග්‍රාහිව ඇතුළුවන්නේ මන්ද? කිතු ඇසින් බලන කල මේ ගමන දෙව් අභිමත පරිදි මනුසත ගලවාලන්නට එන ගමනක්ම විය. මෙයින් උන්වහන්සේ අපට සිහිපත් කරනුයේ දෙව් අභිමත ඉටු කරන්නට අප යන්නාවූ ගමනේ මොන යම් හෝ කම්කටොලු ආවද නොපැකිළ, නොබියව ඉදිරියටම ගමන් කල යුතු බවයි. ඒ ගමනේදී අභියෝග නම් එමටය. එහෙත් ගැළවීම නියතය.

ශුද්ධවූ සතියට ඇතුළුවන්නාවූ අපට මෙම සතියත් වසරේ තවත් එක සතියක් පමණක්ද යන්න ගැටලුවකි. මේ සතියෙන් පසුත් අපි අපමද? සති අගදී අපටත් උත්ථානයක් උරුම නැද්ද? කිතු තුමන්ගේ දුක්ප්‍රාප්ති කතාව ගෙනහැර දක්වන අද සුපුවත මේ ගැටලුවට අගනා පිළිතුරක් ලබා දෙයි. බලාපොරොත්තුවේ ජනතාවක් වන කිතුනු අප එම දුක්ප්‍රාප්ති කතාව තුල පවසන අනේකවිධ අවමානයන්, නින්දා මත රැදෙමින් මෙම සතියත් ගෙවා නිම කරන්නේද? විය යුත්තේ එය නොවේ. අප ස්වාමියාණන් අප වෙනුවෙන් ඉසිලූ ඒ කුරුසියම ආශීර්වාදයක් කරගන්නට අද දින එතුමාණන් අපට ආරාධනා කරයි. අද තැලෙන පොඩි වන අපට සුබ හෙටක් ඇති බවත් මහා සිකුරාදාට පසුව ඉරිදාවක් උදාවන බවත් එතුමාණෝ අපට මතක් කරති.

එන්න, එතුමාණන් සමග අපි ද නව ජෙරුසලමට ඇතුළු වෙමු. ළඟ එන පාස්කුව අර්ථාන්විතව සමරමු.

Advertisements