චතාරික සමයට අත්වැලක්

introductionසිත හැරී මා එනතුරා ඔබ බලා සිටියා

දයාබර සහෝදර සහෝදරියෙනි, චතාරික සමය යනු මේ දුවිලි පොළොවේ පය ගසා ඇවිදින අපි අපේ ජිවිත වෙනස් කරගත යුතු කාලයයි. එනම් ජේසුස් වහන්සේගේ කුරුසියේ බර සැහැල්ලු කිරීමට ඔබ, මම දරන ප්‍රයත්නයයි. මේ කුරිරු ලෝකයේ බොහෝ විට අප පාපයට වැටෙන්නේ දැන දැනමය. සමහරවිට අපට මේ පාපයන්ගේ බරපතලකම දැනෙන්නේ උන්වහන්සේට අප අපගේ මුළු හදවතින්ම ලංවූ විටය. මේ නිසා උන්වහන්සේ උදේ, දහවල්, රෑ නොබලා දිව්‍ය සත්ප්‍රසාදය තුල අප පැමිණෙන තුරු බලා සිටින සේක. මාගේ ප්‍රේමවන්තයෙනි, ජේසුස් වහන්සේට ලංවීමට ඉතා පහසුය. නමුත් ඒ සුහද ලංවීමට ඔබ, මම කොපමණ දුරට අපගේ හදවත් විවර කර ඇත්ද ?
” ආත්මය කැමතිය එහෙත් ශරීරය දුර්වලය”

ක්‍රිස්තුස් වහන්සේ කොතරම් බලසම්පන්න පුද්ගලයෙකු වුවත් දේව අණට හිස නැමීමට කිසිදිනක පසුබට නොවිය. උන්වහන්සේ ” අහෝ මාගේ පියාණනි, හැකිනම් මේ කුසලාන මා කෙරෙන් පහ කල මැනව. එහෙත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවායි යාච්ඤා කල සේක. ( මතෙව් 26 : 39 – 40 )

මෙසේ පැවසු ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයින් වන අප අපගේ ආශාවන් නිසා අපගේ නිහතමානීකම, වරද පිළිගැනීම, දයාව, කරුණාව යන ගුණාංගයන් යටපත් කරගෙන නොවේද ? එසේම දෙව්මව්පියන් වශයෙන් අප දරුවන්ට ආදර්ශයක් වුනාද? දරුවන් වශයෙන් ඔබ ඔබේ දෙමව්පියන්ට ක්‍රිස්තු චරිතයක් උනාද ? කියා අප වැඩි වැඩියෙන් මෙනෙහි කර යුත්තෙමු. උන්වහන්සේ තවමත් අපේ පාපයන්ට හා අතපසුවීම් වලට සමාව දීමට සුදානම්ය. එය එසේ වන්නේ අපි උන්වහන්සේව අපේ හදවත් වලට පිළිගත්තොත් පමණි. එසේනම් අප ඉන්නා සැටියෙන් උන්වහන්සේ වෙත යමින් උන්වහන්සේව අපගේ හොදම මිතුරා කරගනිමින් සැබෑ සිත් හැරීමකින්, මනස එක්රැස් කර, ඇබ්බැහිවීම් මුලිනුපුටා දමා ක්‍රිස්තුන් වහන්සේගේ හඩට කන්දීමට පැය විසිහතරෙන් පැය කාලක්වත් කැප කරමු. එවිට අපගේ මානසික, ශාරීරික සහ අධ්‍යාත්මික සුවය උන්වහන්සේ අපට නිරන්තරයෙන් ලබා දෙනු ඇත.

” ඔබේ පව් ඔබට කමා කරන ලදැයි ඇයට වදාළ සේක.”( ලුක් 7 : 49 )
එදා පවිටු අගනට උන්වහන්සේ සමාව දුන්නා නම්, ඔබට මට උන්වහන්සේ සමාව දෙන්නේ අප නොපතන ආකාරයටය. එසේනම් යහපත් පාපොච්චාරණයක් තුලින් ආලෝකයේ දරුවන් ලෙස ජිවත් වීමට අපගේ මුළු ශරීරයෙන්ම සුදානම් වෙමු.

නික්සන් සමීර සහෝදරතුමා
තෙවන වසර – දර්ශන පීඨය