ඇදහිල්ලෙන් ජීවනය කරා

adahillen-jewanaya-karaa

කිතුනු ජීවිතය නමැති වෘක්ෂයේ පැවැත්මට විශ්වාසය නැමති මුල්, පසට ඉතා ශක්තිමත්ව සම්බන්ධ විය යුතුමය. කිතුනු අපටත් ප්‍රශ්න, ගැටළු, අභියෝග හමුවේ නොසැලී සිටීමට නම් විශ්වාසය නැමැති අත්තිවාරම මත අප ජිවිත ගොඩනැගිය යුතුය. එසේ නොමැති වුවහොත් ගසක් ඉදිරී වැටෙන්නා සේම අපේ කිතුනු ජිවිතත් දෙදරා ගොස් අප පාපයේ වහලුන් විය හැක. ආබ්‍රහම් තම මහලු වියේදී දරු පරපුරක උරුමක්කාරයෙක් වීම ඇත්තෙන්ම මනුෂ්‍ය මට්ටමින් අවබෝධ කර ගත නොහැකි තත්වයකි. ඔහු මුළුමනින්ම තම අනාගතය දේව හස්තයට බාර කලේ විශ්වාස කල හැකි කිසිදු බාහිර සාක්ෂියක් නොමැතිවයි.

ශුද්ධවූ සුවිශේෂය තුල සදහන් අන්‍ය රුප විලාශ වීමේ සිද්ධියෙන් පසු අනවබෝධයෙන් පේදුරු තුමන් කදු මුදුනේ නැවතී සිටීමට සුදානම් වෙයි. නමුත් ස්වාමින් වහන්සේ කන්දෙන් බසින්නේ තම මෙහෙවර සම්පුර්ණ කිරීමටය. සියල්ල සිතු පැතූ ලෙස ඉටු නොවන විට විශ්වාස කළ හැකි බාහිර සාක්ෂියක් නොමැති අවස්ථාවලදී අපගේ ප්‍රතිචාරය කෙබදුද ? පා නැගිය යුතු මාවතේ කටුක බව මග හැර එයට මුහුණ නොදී පේදුරු තුමන් මෙන් කදු මුදුනේ නැවතී සිටින්නට අපිදු ප්‍රයත්න දරමු. නමුත් ක්‍රිස්තුන් වහන්සේගේ අන්‍යරූප විලාශ වීමේ සිදුවීම අපට සිහිපත් කරන්නේ දෙවියන් වහන්සේ අප අත්නොහැර අප ඉදිරියෙන් ගමන් ගන්නා බවයි. අපට අවැසි අයුරින් උන්වහන්සේව දැකගැනීමට නොහැකි වුවද උන්වහන්සේ අප සමගයි. ඒ විශ්වාසය ඇති කර ගනිමු. අපි අපට පැවරී ඇති දූත මෙහෙවර පුර්ණත්වය කරා ගෙන යමු.

දේශාන් ප්‍රබෝධන ( නි.ම.නි ) සහෝදරතුමා
පළමු වසර – දර්ශන පීඨය

Advertisements