අපි යදින දෙවිදුන් අපට සමීප වූ කරුණාබර පියෙකි

9

අද දිනට නියමිත දේව වාක්‍යයන්හි අරුත වනුයේ දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය සහ එතුමන් පව්කරුවන් වෙත දක්වන අසීමිත කරුනාවයි. පළමු කියවීමෙහි නබුකද්නසර් රජු දානියෙල් දිවස්ප්‍රසාදීතුමාගේ වචන ඇසු කල අපගේ දෙවියන් වහන්සේ සැබෑ එකම දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කළේය. දේව දරුවන් වන අප බොහෝ විට දුක් කම්කටොලු ඉදිරියෙහි දිව යන්නේ අපගේ පියා වෙත නොව වෙනත් මායාවන් පිටුපසය. එතුමාණෝ අපගේ ඕනෑ එපාකම් පිලිබදව අපටත් වඩා හොදින් දන්නා සේක. අපගේ සියලුම දුක් කම්කටොළුවලදී අප සමග සිටින, අපව දිරිමත් කරන පියෙක් සිටින බව අපි විශ්වාස කරමු.

දෙවියන් වහන්සේ කොතරම් මනුෂ්‍ය වර්ගයාට ප්‍රේමකල සේක්ද කිවහොත් එතුමාණෝ ඒක ජනිත පුත් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොවට ඒවා සකළ ජනයාට ගැලවීම ලබා දුන් සේක. එතුමන්ගේ කැමැත්ත වනුයේ සියලු මනුෂ්‍ය වර්ගයාම, එක් ජිවිතයක්වත් අත්නොහැර ස්වර්ග රාජ්‍යයට ගෙන්වා එතුමන්ගේ සදාකලා ජීවනයේ පංගුකාරයක් කරගැනීමයි. එසේනම් අපට අපගේ අසල්වැසියාව, විශේෂයෙන් වැරදි කරන අයව විනිශ්චය කිරීමට අයිතියක් තිබේද ? ජේසුස් වහන්සේ පව්කරුවන්ට සමාව දුන් අයුරු පිලිබදව අද දින සුවිශේෂයෙන් මනාව පැහැදිලි වෙයි. එම පාඨය අනුව එදා ජුදා සමාජය පව්කරුවන්ව විනිශ්චය කලේ, කිසිදු අනුකම්පාවක් ලැබීමට නුසුදුසු කෘර මරණයකට පත් කල යුතු අමනුෂ්‍යයන් ලෙසයි. එහෙත් ජේසුස් වහන්සේ පව්කරුවන් දෙස බැලුවේ ප්‍රේමය, කරුණාව හා අනුකම්පාව අවශ්‍ය වූ අසරණ මනුෂ්‍ය කොට්ටාශයක් ලෙසයි. එසේනම් අපිද උන්වහන්සේ අනුව යමින් සැබෑ මනුෂ්‍යත්වයේ ජීවිතයක් ගත කිරීමට වෙර දරමු.