අන් පූජාවන්ට වඩා ශ්‍රේෂ්ඨතම ආඥාව මෙයයි.

10

ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විදීම, මරණය හා උත්ථානය සිහිපත් කරන මේ ආශීර්වාදිය කාලයේ ඒ උච්චතම පරිත්‍යාගය කල දින මෙන් තවත් සිකුරාදා දිනකි, අද. දේව වචනය දෙමුවහත කැපෙන කඩුවකට වඩා තියුණු බව දැන සිටියත් එය තුල අපි විශ්වාසයේ පෞද්ගලික අත්දැකීමට ඇතුළු වී ඇද්ද යන්න නම් ප්‍රශ්නාර්ථයක් විය හැකිය.

එදා ඉශ්රායෙල් ජනතාව දෙවියන් වහන්සේව අත්හැර ගියේ තමන්ගේ දේව දරුකමත් අමතක කරමින්ය. ඒ මනුෂ්‍ය දුර්වලකමෙත් අද ලෞකික ආශාවන් තුල පිරිහෙන අපගේ ජීවිතවලත් වෙනසක් නැත. දේව ආදරය ගැන අපි කොතරම් ඇසුවත් ඒ ආදරයේ අසීමාන්තය වටහා ගැනීමට නම් මනුෂ්‍ය මනසට කල නොහැක්කකි. ඒ ක්‍රිස්තුන් වහන්සේ අපට ආරාධනා කරන්නේ තමන්ගේ මුළු හදවතින්ම, ආත්මයෙන්ම, මනසින්ම හා ශක්තියෙන්ම දෙවිඳුන්ට ආදරය කිරීමටයි. දෙවියන්ට ඉඩක් නැති මනුෂ්‍ය හදවතේ මුල් බැසගෙන ඇත්තේ දේවල්වලට හා පුද්ගලයන්ට ඇති ආශාවන්ය. අද මනුෂ්‍යාව පිනවන දේ මුවාවෙන් පැමිණෙන්නේ යක්ෂයායි. දෙවියන් දුන් පිරිසිදු හදවත නිකැළැල්ව එලෙසම දෙවියන්ට යම් දිනකදී දීම, උඩුගම් බලා පීනන්නාක් මෙන් අපහස ක්‍රියාවකි. එහෙත් ජේසූ අපත් සමඟය. එසේනම් අවශ්‍ය වන්නේ කැඩුණු , බිදුණු අපගේ හදවත තුල උන්වහන්සේට ඉඩක් දීමය. එවිට, අප අයිති කරගත යුත්තේ දෙවිඳුන්ට ප්‍රසන්න ගුණදම් පමණක් බව අපට වැටහේවි. එසේනම් අප ප්‍රමාද නැත. මන්දයත් කැඩුණු බිදුණු හදවතක් උන් වහන්සේ ඉවත නොදමන සේක. පිවිතුරු සිත්හැරීමේ සිතුවිල්ලක් තුල මේ චතාරිකයේදී, තමන් ජීවිතයේ ගොඩක් ආශා කරන, ඇලී ගැලී සිටින යම් දෙයක් අධිෂ්ඨානශීලිව හා තේරුම් ගැනීම තුල අත්හැරීමට සිතට ගනිමු.