මහ සිකුරාදා

මුල් යුගයේ සිට ම මහ සිකුරාදා දින මනස්ස්ථාපනයේ, ශෝකයේ හා දැඩි නිරාහාරශීලයේ දිනයක් ලෙසින් සැලකුණි. එම නිරාහාරය පැය 40 ක් පමණ එනම්, මහ සිකුරාදා සිට ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී දිව්‍ය good fridayපුජාවේ අවසානය දක්වා නොකඩවා පැවැත්වුණි. එකල කුඩා දරුවන්, ගැබිණියන්, කිරි දෙන මව්වරුන් හා රෝගීන් හැර අනෙකුත් සියලු දෙනා කිසිඳු කෑමකින් හෝ බීමකින් (අවම වශයෙන් ජලය පානය කිරීමෙන් පවා) තොරව ගත කළහ. කුඩා දරුවන්ට, රෝගීන්ට හා ගැබිණි මව්වරුන්ට පමණක් පාන් කැබැල්ලක් අනුභවකර ජලය පානය කිරීමට අවසර තිබුණි. සාන්ත අයිරේනියස් තුමා ද තම ලිපි වල මේ ගැන සඳහන් කර ඇත. මෙම නිරාහාරශීලයේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දුන් පළමුවන ඉනසන්ට් පාප්තුමා එය සභා අනුමත කර ඇත. පසුකලක මෙම ශෝකී කාලය හා නිරාහාරශීලය දින 3 ක් බවට හැරුණි. තවත් කලක සතියක කාලයක් බවට පත්ව තිබූ එය පසුව දින 40 දක්වා වර්ධනය විය. චතාරික කාලයේ දින 40 ට බලපෑවේ ද එයයි.

මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජා යාගයේ සිට ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී මෙහෙයය අවසන් වනතුරු කාලය “Paschal Triduum” හෙවත් “පාස්කු තෙදින වන්දනා මෙහෙයය” නම්වේ. මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ අවසානයක් නැති අතර, මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයේ ආරම්භයක් ද නැත. මෙම දින තුනේ එකම දිව්‍ය පූජාවක් පැවැත්වේ. එනම්, මහ බ්‍රහස්පතින්දා ඇරඹෙන දිව්‍ය පුජාව අවසන් වන්නේ ආලේලුයියා රාත්‍රී පූර්ව පාස්කු මෙහෙයය (හෝ පාස්කු ඉරු දින දිව්‍ය පූජාවට අප සහභාගිවී) අවසන්වීම සමගය. එබැවින් මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයයන් වලට සහභාගිවන කිතුනු බැතිමතුන්ට බෙදා දීමට අවශ්‍ය දිව්‍ය සත්ප්‍රසාද (දිව්‍ය පූප) ඇති තරම් මහ බ්‍රහස්පතින්දා සවස දිව්‍ය පූජාවේ දී ආශිර්වාද කර තබා ගත යුතුවේ. මෙසේ ආශිර්වාද කර තබා ගන්නා දිව්‍ය පූප “මිස්සා ප්‍රීසන්ක්ටිෆිකටෝරුම්” – (Missa Freesanctificatorum) නම්වේ. මෙහි අර්ථය නම්, “පෙරදින දිව්‍ය පූජා යාගයේ කැප කළ දිව්‍ය පූප” යන්නය.

මහ සිකුරාදා මෙහෙයේ ප්‍රධාන කොටස් තුනක් දැකිය හැකිය. එම කොටස් එකිනෙකට සම්බන්ධතාවයකින් යුතු ය.

දේව වාක්‍යය මෙහෙයය : අපෝස්තුළුවරුන්ගේ කාලයේ සිට පැවතෙන දේව වාක්‍ය කියවීමේ චාරිත්‍රයකි.

ශ්‍රී කුරුසියේ වන්දනාව : පෙරහැරකින් ගෙන එන දම් හෝ සුදු පැහැති රෙදි කඩකින් වැසූ කුරුස ප්‍රතිමාව අවස්ථා 3 ක දී කොටසින් කොටස නිරාවරණය කර කිතුනු බැතිමතුන්ට පෙන්වීම්ත්, එය සිපාචාර කිරීමත් කරයි. මෙය එවකට ජෙරුසලමේ කිතුනු බැතිමතුන් අතර පැවති චාරිත්‍රයකි.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දීම: මෙම පිළිවෙත මුල්කාලයේ මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබුණි. මධ්‍යතන යුගය වන විට ලොව පුරා කිතුනු බැතිමතුන් අතර ඇති වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි වූ භක්ත්‍යාදරය හා එවකට සිටි සාන්තුවරයන්ගේ ඉගැන්වීම් පදනම් කොටගෙන ඇති වූ පිළිවෙතකි.

මහ සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ මළ ගෙය නොවන බව කිතුනු අප විශේෂයෙන් මතක තබා ගත යුත්තකි. ජේසුස් වහන්සේ මරණයට පත්වී උත්ථාන වී නැවත ස්වර්ගයට ගොස් අවසන්ය. ගැළවීමේ අභිරහස තුළ තව ඉටු වීමට ඇති එකම දෙය වන්නේ ජේසුස් වහන්සේගේ තේජාන්විත දෙවන ආගමනයයි. එබැවින් මහ සිකුරාදාව ජේසුස් වහන්සේගේ මළගමට සහභාගිවීමට යාමක් ලෙසින් සැලකීම දේවධාර්මිකව වැරදි සංකල්පයකි. මහ බ්‍රහස්පතින්දායින් ඇරඹෙන දිව්‍ය පූජා මෙහෙය පාස්කු ඉරු දින දක්වා එකම වන්දනා පිළිවෙතක් ලෙසින් පවත්වන්නේ ද එනිසාය. මෙම තෙදින තුළ අප දේවස්ථානයට යන්නේ අනෙක් කිතුනුවන් සමග එක්වී ජේසුස් වහන්සේගේ මහා පාස්කු අභිරහස මංගල්‍යයක් වශයෙන් අති උත්කර්ෂවත් ලෙස සැමරීමටය.

මහ සිකුරාදා දින දේවවාක්‍ය පිළිවෙතේ දක්නට ලැබෙන නාට්‍යාකාර දෙබස් සහිත දීර්ඝ සුභාරංචිය කියවීමට අමතරව ජේසුස් වහන්සේ කුරුසිය මත සිට දෙසූ ශ්‍රී වාක්‍ය සත දේශනා කිරීම ද සිදු කරයි. එහෙත් එය සම්මත කතෝලික ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබෙන දෙයකි. එය අප රටේ මහ සිකුරාදා පිළිවෙතට ඇතුළත් වූයේ ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා රචිත “දේශනා නවයේ පසන් පොත” හා “දුක්ප්‍රාප්ති ප්‍රසංගය” යන ‍පොත් ඇසරෙන් බිහි වූ පාස්කු නාට්‍ය පදනම් කොටගෙනය. මේ හේතුවෙන් මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙත “තුන් පැය ධ්‍යානය” යන නමින් හඳුන්වයි. නූතන ජනවන්දනා විශාරදයන්ගේ මත වලට අනුව, එම ශ්‍රී වාක්‍ය සත දෙසීම හා ඇතැම් දේවස්ථාන වල කරන පාස්කු සංදර්ශන ඇතුළත් “තුන් පැය ධ්‍යානය” වඩාත් සුදුසු වන්නේ මහ සිකුරාදා දේව මෙහෙයෙන් පසුව වෙනම භක්ති අභ්‍යාස හා වන්දනා පිළිවෙතක් ලෙස පැවැත්වීමට බවය. මන්ද මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ ඇතුළත් පාස්කු සිද්ධිය ජේසුස් වහන්සේගේ උත්ථානය මිස මරණය පදනම් කරගෙන පවත්වන්නක් නොවන බැවිනි.

දුක් විඳ මරණයට පත්වී උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේට වන්දනා ගෞරවාචාර කිරීමක් වශයෙන් අප කුරුසිය සිපාචාර කිරීම කරමු. එහෙත් අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ, කුරුස ප්‍රතිමාව සිපාචාර කිරීමට සීමා නොවී, කුරුස ගස සිපාචාර කිරීමය. මන්ද උත්පත්ති 2 : 16 – 17/ 3 : 1 – 7 හි දැක්වෙන “හොඳ නරක අවබෝධ කිරීමේ ගස”වෙත අත පා ගෙඩි කඩා කෑමෙන් ඇති වූ පාපය හා මරණය පරාජය කර අපට ගැළවීම හා ජීවනය ළඟා කර දුන්නේ කුරුස ගස මගින් බැවිනි.

මහ සිකුරාදා දින මෙහෙයේ දී දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සාමාන්‍යයෙන් කරන ආගමික ක්‍රියාවකි. එදින දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සභාවේ වත් පිළිවෙත් සංග්‍රහයේ නිළ කාර්යයක් නොවේ. එහෙත් වර්තමානයේ ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය බෙදා ගැනීම තුළ ඊට සහභාගි වන අප එකම භෝජනයකින් එකම පවුලක් ලෙසින් ඔවුන් වහන්සේගේ මහිමාන්විත උත්ථානයට හවුල් වීම අදහස් කෙරේ. 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s