පාද නමස්කාරය

padanamaskaarayaචතාරික සමයේ කිතු බැති හැමගේ අවධානය යොමු වන විශේෂ මෙනෙහි කිරීමක් හැටියට කුරුසියේ පාද නමස්කාරය හදුන්වමු. ක්‍රිස්තුන් වහන්සේ මරණයට තීන්දුව ලැබ රෝම ආණ්ඩුකාර පිලත්තුගේ මාලිගාවේ සිට ගොල්ගතාවේ කපාල කදු මුදුන දක්වා ගිය ඇති ශෝචනීය දුක් සහිත ගමන් මාර්ගය පාදනමස්කාර ධ්‍යානය තුලින් කිතුනුවෝ සිහිපත් කරති. මෙම දුක්ප්‍රාප්ති ගමන් මග ස්ථාන දහ හතරකින් සමන්විතය. ජේසු සමිදාණන් බර කුරුසියක් දෙඋර මත දරාගෙන හිස් පතුලින් ගිය ගමන් මාර්ගයෙහි තැන් තැන් වල සිදුවූ අනුවේදනීය සිද්ධීන් කිහිපයක් අළලා පාදනමස්කාරය සකසා තිබෙයි.

පිලාත්තුගේ අවනඩුවේ මරණිය දණ්ඩනයේ තීන්දුව දුන් අධිකරණ ශාළාව පළමු ස්ථානය ලෙස සැලකේ. එදා බර කුරුසිය කරට ගත් ජේසුස් වහන්සේ මග අතර තෙවරක් බිම වැටුණු සේක. තැනකදී උන්වහන්සේට තම මෑණියන් හමුවේ. තවත් තැනකදී සිරෙනියේ සිට පැමිණි සිමොන් නැමැත්තෙකුට කුරුසිය උසුලාගෙන යාමට ජුදයෝ බල කරති. තවත් ස්ථානයකදී වෙරෝනිකා නම් තරුණියක් ස්වාමින් වහන්සේගේ ලේ වලින් විරූපී වූ ශ්‍රී මුහුණ පිස දමන්නිය. තවත් තැනකදී මග හමුවන ස්ත්‍රීන් කණ්ඩායමක් අමතන ජේසුස් වහන්සේ ” ජෙරුසලමේ ස්ත්‍රීවරුනි මා නිසා නොව නුබලාත් නුබලගේ දරුවන් නිසාත් අඩපල්ලා ” යැයි වදාරන සේක. තවදුරටත් ගිය තැන උන්වහන්සේගේ වස්ත්‍ර ගලවා එතුමන් නිරුවත් කරන සහසිකයෝ උන්වහන්සේ කුරුසියට තබා ඇණ ගසා ගොල්ගතා කදු මුදුනේ සොරුන් දෙදෙනෙකු මැද සිටුවා අන්තිම හුස්ම වැටෙන තුරු බලා සිටිති. ඉන් අනතුරුව එතුමන්ගේ ශ්‍රී ශරීරය කුරුසියෙන් බා මෑණියන් වූ මරියාවන්ගේ උකුලෙහි තබා පසුව අලුත් ගල්ලෙනක තැන්පත් කෙරේ. පාද නමස්කාර මෙනෙහි කිරීමට අන්තරගත එම සිද්ධීන් හැම කිතුනු දෙව්මැදුරක සිහිවටන වශයෙන් ප්‍රදර්ශනය කොට ඇත.

මෙම කුරුසියේ පාදනමස්කාර මෙනෙහි කිරීම පසුතැවිලි වීමේ හා මනස්ථාපනයේ පිළිවෙතක් හැටියට Friars Minor තාපස නිකාය මගින් 15 වන ශතවර්ෂයේදී ආරම්භ කල බව ඩොනල්ඩ් ඇට්වෝටර්ගේ A Catholic Dictionary නැමැති ග්‍රන්ථයෙහි සදහන්ව ඇත. මෙම මෙනෙහි කිරීම තනි වශයෙන් හෝ පොදු වශයෙන් කල හැකිය. මහා සිකුරාදා දින සියලු දේවස්ථානවල ඇතුළත හෝ පිටත සමුහ වශයෙන් පාදනමස්කාරය පැවැත්වීම සාමාන්‍ය සිරිතයි.

එදා බර කුරුසිය දෙඋර මත තබා ගෙන ක්‍රිස්තුන් වහන්සේ ගිය හද කම්පාවන ඒ දුක්බර ගමන අනුස්මරණය කිරීම වස් අද ලොව නන් දෙසින් කිතුනුවෝ ජෙරුසලමට පැමිණෙති. මෙම දුක්ප්‍රාප්ති ගමන් මාර්ගය VIA DOLOROSA නමින් හැදින්වේ. පිලාත්තුගේ මාලිගාවේ සිට ගොල්ගතා කදු මුදුන දක්වා ජේසුස් වහන්සේ ගිය එම ගමනේ සිද්ධීන් සමරන සිහිවටන මග දෙපස තනා ඇති රමණිය දේව මන්දිර ආශ්‍රිතව විදහා දක්වයි. ලි කුරුසියක් රැගෙන වන්දනා නඩ මෙම ගමන් මගෙහි ඉතා භක්තියෙන් ගමන් කරනු ඔබට අදටත් දැකිය හැකිය. ශුද්ධවූ දේශයට වන්දනාවේ යන කොයි කවුරුත් මෙම පාදනමස්කාර ගමන අතපසු නොකිරීමට වග බලා ගනිති.

ජෙරුසලමේ නුවර මගින් ඈතට විහිදෙන දුක් ප්‍රාප්ති ගමන් මාර්ගයේ ස්ථාන 14න් නවයක් පිහිටා ඇති අතර, සෙසු ස්ථාන 5 ශ්‍රී සිරුර තැන්පත් කල සුවිශාල දේව මන්දිරයේ ඇතුලත ඉදිකොට තිබේ. ජේසුස් වහන්සේ ප්‍රාණ පුජා කල කුරුසිය සිටවූ ස්ථානය මෙම දෙව් මැදුරේ පුදසුන මැද සනිටුවහන් කොට ඇත. ශ්‍රී සිරුර මරිය අම්මාට භාර දුන් ස්ථානය හා ශරීරය ගල්ලෙනෙහි තැන්පත් කිරීමට පෙරාතුව සුවද ආලේප ගැල්වූ තැනද දැකුම්කළු අන්දමින් සකසා තිබෙයි. ජේසුස් වහන්සේගේ ශ්‍රී කුරුසිය හා ශ්‍රී දේහය තැන්පත් කල ස්ථානය ක්‍රි. ව 325 දී කොන්ස්තන්තිතු මහා අධිරාජ්‍යගේ මෑණියන් වූ හෙලේන රැජින විසින් සොයා ගන්නා ලදී.

කුරුසියේ පාද නමස්කාර මෙනෙහි කිරීම ඉෂ්ට පල ලැබෙන ඉතා බලසම්පන්න වන්දනාවක් හැටියට ශුද්ධවූ සභාව පිලිගන්නිය. ශුද්ධෝත්තම පියවරුන් කීප නමක්ම මෙම මෙනෙහි කිරීම ප්‍රබල ප්‍රථිපල සහිත වන්දනාවක් හැටියට ප්‍රකාශ කළහ.

One thought on “පාද නමස්කාරය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s