ආගමන කාලය

හැඳින්වීම aagamana-kaalaya-new

”ආගමන කාලය” වනාහී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති මංගල්‍යය වන නත්තල් දිනට පෙර සති 4 ක් පුරා සිදු කරන ආධ්‍යාත්මික සූදානම්වීමේ කාල පරිච්ඡේදයකි. “ආගමනය” යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් Advent යන්න භාවිත වේ. මෙය ලතින් භාෂාවේ “ඇඩ්වෙන්ටුස්” [Adventus] යන්නෙන් බිඳී එන්නකි. මෙම වචනයේ අර්ථය නම් “සම්ප්‍රාප්තිය” හෙවත් “පැමිණීම” [Coming] යන්නය. මෙම “ඇඩ්වෙන්ටුස්” නමැති ලතින් වචනය බිහිවීමට බලපෑවේ සාන්ත පාවුළු තුමා නිතර භාවිත කර ඇති “පරූසියා” [Parousia] යන ග්‍රීක වචනයයි. මෙහි අර්ථය ද “නැවත වැඩම කිරීම” යන්න ය. මේ අනුව කිතුනුවෙකුට ආගමන කාලය යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම බලා සිටින අපේක්ෂාවේ කාල පරිච්ඡේදයකි. එම පැමිණීම ගෞරවාන්විතව පිළිගැනීම සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වන කාලයකි.

ආගමන කාලයේ ඉතිහාසයෙන් බිඳක්

ක්‍රි.ව. 70 දී සිදු වූ ජෙරුසලමේ විනාශය

අපෝස්තුළුවරුන්ගේ මුල් කිතුනු සභා යුගයේ සිට ම ජේසුස් වහන්සේගේ නැවත පැමිණීම පිළිබඳව මහත් බලාපොරොත්තුවක් කිතුනු ජනතාව තුළ තිබේ. ජේසුස් වහන්සේ ද ඔවුන් වහන්සේගේ මහිමාන්විත දෙවන පැමිණීම ගැන වරින් වර ප්‍රකාශ කර තිබේ. ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව ක්‍රිස්තු අනුගාමිකයෝ ඔවුන් වහන්සේගේ දෙවන පැමිණීම බොහෝ ඉක්මනින් සිදුවේ යැයි අපේක්ෂා කළහ. ක්‍රිස්තු වර්ෂ 70 දී රෝමවරුන් අතින් ජෙරුසලම විනාශ වූවත් ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදු නොවූ බැවින් එය තමන් නොදන්න අනාගතයක දී සිදු වන්නක් බව අවබෝධ කර ගෙන ජේසුස් වහන්සේගේ දෙවන ආගමනය සිහිපත් කරමින් ඒ සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වීම පිණිස නිශ්චිත කාල පරිච්ඡේදයක් වෙන් කළහ. ආගමන කාලය බවට පත් වූයේ මෙම කාලයයි. එහෙත්, බෙහෝ විද්වතුන්ගේ මතවාද වලට අනුව, “ආගමන කාලයට” පෙර ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසට සූදානම් වීමේ දින 40 මහා උපවාස සමය පැවතී ඇත. “ආගමන කාලය” ජනවන්දනාවට සම්බන්ධ වී ඇත්තේ අවසාන වශයෙනි.
1
ඓතිහාසික වාර්තාවන්ට අනුව, ආගමන කාලය සැමරීමේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ දෙවන භාගයේ දී පමණ ගෝල් දේශයේ [නූතන ප්‍රංශය] හා ස්පාඤ්ඤයේ සිදු වී ඇත. එකල එම රටවල් නත්තල් මංගල්‍ය පවත්වා ඇත්තේ ජනවාරි 6 වෙනි දා ය. එම නත්තල් මංගල්‍යය පැවැත්වීම සඳහා පාස්කු මංගල්‍යයට මෙන් දැඩි උපවාස සමයක් පැවැත්විය යුතු බවට කතෝලික තපස්වරුන් අතර පොදු පිළිගැනීමක් තිබුණි. ආගමන කාලයේ නිරාහාරශීලය රැකීම පිළිබඳ මුල්ම ඓතිහාසික කරුණු අපට හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ 490 දීප්‍රංශයේ ටුඅර්ස් [Touars] නගරයේ සාන්ත පර්පේතුස් රදගුරු තුමා නිකුත් කළ නිර්දේශයක ය. එම නිර්දේශයට අනුව, ටුඅර්ස් හි සාන්ත මාර්ටින් මුනිතුමාගේ මංගල්‍ය දිනය වන නොවැම්බර් 11 දින සිට නත්තල් මංගල්‍යය දින තෙක් සතියකට දින 3 ක් නිරාහාර උපවාසශීලය රැකීම සිදු කර ඇත. පසුව සෙල්ටික් තපස්වරුන් රෝමයට පැමිණීමෙන් පසුව එය සති 3 – 8 ක කාලයක නිරාහාර උපවාස සමයක් බවට පත් වුණි. පසුකාලීනව චතාරික සමයේ දීර්ඝ උපවාසයට සමාන්තරව දින 40 දක්වා සංශෝධනය කෙරුණි. මෙවැනි කාලයක් පැවැත්වී‍ම ඇරඹීමට බලපෑ හේතු සාධකය වන්නේ (පහතින් දැක්වෙන පළමු කරුණ පරිදි) මුල් කිතුනුවන්ගේ ආධ්‍යාත්මික ජීවිත පිළිවෙල හා පසුව රෝමය ආක්‍රමණය කළ (මෙලේච්ඡයන් ලෙස සැලකූ) ගොත්වරුන්ව සදාචාරාත්මක කිතුනු ජීවිත පිළිවෙලකට හැඩගැස්වීමේ කිතුනු ආගමික ක්‍රියා පිළිවෙතය. එකල පෙරදිග යුරෝපා රටවල කතෝලික සභාව මෙම ගොත්වරුන්ට නිසි අධ්‍යාපනයක් හා සදාචාරාත්මක වටිනාකම් ප්‍රගුණ කිරීමෙන් පසුව ඔවුන්ට බව්තීස්මය දානය කර කිතුනුවන් බවට පත් කළා ය. පෙරදිග කතෝලික සභාව ජනවාරි 6 වෙනිදා (නූතනයේ රෝමානු කතෝලික සභාව මෙන්) දිව්‍ය බිළිඳාණන් ශාස්ත්‍රවන්තයන්ට ප්‍රත්‍යක්ෂවීමේ මංගල්‍යය පවත්වා ඇත. එම මංගල්‍යය දිනය පෙරදිග කතෝලික සභාවල මහා බව්තීස්ම දිනය වශයෙන් ගෙන ඇත. එබැවින් නත්තල, බව්තීස්මය දානය කිරීම හා තපස්වරුන්ගේ ඉගැන්වීම් සියල්ලේ සංකලනයක් ලෙසින් ආගමන කාලය බිහි වී ඇති බව පෙනේ.

මෙකල යුරෝපයේ ආගමන කාලය ආකාර දෙකකට සැමරීම සිදු කර ඇත.

1. රෝමානු කතෝලික සභාව – බටහිර යුරෝපයේ මුල්කාලීන කිතුනුවන් ජේසුස් වහන්සේගේ නැවත පැමිණීමට මුහුණ දීම සඳහා සූදානම් වූ ආකාරයක් තිබුණි. එකල ඔවුනට විඳින්ට සිදුවූ විවිධ දේශපාලනික, සමාජයීය හා ආගමික දුක් පීඩා හා අභියෝග ක්‍රිස්තුස් වහන්සේගේ “යුගාන්තය” පිළිබඳ ඉගැන්වීම් වලට අනුකූල වූ බැවින් ඔවුන් වහන්සේගේ දෙවන ආගමනය තම ජීවිත කාලය තුළ සිදුවේ යැයි සිතා එයට මුහුණ දීමට හැකි අන්දමේ ජීවිත ක්‍රියා පිළිවෙලකට සූදානම් වූහ. පසුකාලීනව සෙල්ටික් තපස්වරුන් ‍අපරදිග යුරෝපයට ගෙන ආ උපවාසයේ ජීවිත පිළිවෙත හා ජනවන්දනා වත් පිළිවෙත් නිසා ආගමන කාලයේ වාරිත්‍ර හා කිතුනු ආගමික ක්‍රියාවන් වලට නවෝදයක් ලබා දුණි. මේ අනුව අපරදිග ‍කතෝලික සභා ආගමනයේ ජනවන්දනා වත් පිළිවෙතක් පිළිබඳ මුල් ම තොරතුරු හමු වන්නේ ඉතාලියේ ‘රවෙන්තා’නමැති ප්‍රදේශයෙනි. පළමුවන ග්‍රෙගරි පාප්තුමා [Pope Gregory 1] ආගමන කාලයේ කිතුනු ආධ්‍යාත්මික සූදානම සඳහා ඉරිදාවන් 4 ක කාල පරිච්ඡේදයක් ඇතුළත් වන පරිදි ජනවන්දනා යැදුම් හා පිළිවෙත් රෝමානු කතෝලික සභාවේ ජනවන්දනා පිළිවෙතට හඳුන්වා දෙන ලදි. මෙහි මූලික අරුත වූයේ ජේසුස් වහන්සේගේ “මාංශගතවීමේ අභිරහස” [Mystery of Incarnation] සැමරීමය. එහෙත් ප්‍රංශයේ ආගමන කාලය “යුගාන්තය” හෙවත් “ජේසුස් වහන්සේගේ දෙවන ආගමනය” යන සංකල්පය ප්‍රධාන අර්ථය වශයෙන් ගෙන පැවැත්වී ඇත.ඊට බලපෑ හේතු සාධකය වූයේ අයර්ලන්තයේ සාන්ත කොලුම්බානුස් මුනිතුමා [Saint Colombanus] ඇතුළු තපස්වරුන්ගේ බලපෑමය. එනිසා කතෝලික දේවස්ථාන වල අලංකාර සැරසිළි ඉවත් කෙරුණි. මනස්ස්ථාපනය හා ශෝකය ප්‍රකාශ කරන වර්ණ ලෙසින් එකල යුරෝපයේ පිළිගැනීමට ලක්ව තිබූ දම් වර්ණය අල්තාර රෙදිපිළි, පූජක ඇඳුම් හා වෙනත් සැරසිළි සඳහා යොදා ගැනුණි. දිව්‍ය පූජාවේ දී ගැයෙන මහිම ප්‍රශංසා ගීය [Gloria] හා අලේලුයියා ගායනය සිදු නොකළහ. මෙකල සියලු ප්‍රීති උත්සව හා විවාහ මංගලෝත්සව පැවැත්වීම ද සිදු නොකළහ. යැදුම, නිරාහාර උපවාසය රැකීම හා මර්ධන ක්‍රියා කිරීම වැනි දේට මුල් තැනක් දුණි. එහෙත් මෙම ආගමන ජනවන්දනා පිළිවෙත තපස්වරුන් මාර්ගයෙන් රෝමයට පැමිණ විට එකල සිටි සභා ප්‍රධානීන් ඉන් ඇතැම් ඒවා උකහා ගෙන අනෙක් කොටස් අත්හැර දැමූහ. නිදසුනක් ලෙසින් මහිම ප්‍රශංසා ගීය ගායනා නොකිරීම, දම් පැහැය භාවිතයට ගැනීම වැනි දේ පිළිගත් නමුත් ආලේලුයියා ගීය ගැයීම සිදු කිරීම දැක්විය හැකිය. ආගමන කාලයේ දී පැවැත්වූ දැඩි නිරාහාරශීලී උපවාසය ක්‍රිස්තු වර්ෂ 1917 කතෝලික සභා නීති සංග්‍රහයෙන් අත්හැර දැමුණි. එයට හේතුව වූයේ පසුකාලීනව පෙරදිග යුරෝපයෙන් පැමිණි නත්තල් මංගල්‍යයට සූදානම් වීමේ බාහිර උත්සව සිරියේ බලපෑම ය. පසුකාලීනව පෙරදිග යුරෝපයේ ජේසුස් වහන්සේගේ උපන් මංගල්‍යය පැවැත්වීමට වන බාහිර සූදානමක් වශයෙන් පැවැත්වීම – මෙය බොහෝ දුරට බාහිරව වශයෙන් ප්‍රීතියේ හා විනෝදයේ උත්සව සමයක් ලෙසින් ගැණුනි. දෙසැම්බරය වන විට ඇතිවන ඍතු විපර්යාසය නිසා ශිශිර ඍතුව ආරම්භ වන කල පරිසරයේ ඇතිවන අමුතුම වෙනස මේ සඳහා වඩාත් හොඳ පරිසරයක් ඇති කෙරුණි.

2. පෙරදිග කතෝලික සභාව – ඔර්තඩොක්ස් පෙරදිග කතෝලික සභාව “උත්පත්ති උපවාසය” [Nativity Fast]යන නමින්, නොවැම්බර් 14 සාන්ත පිළිප් අපෝස්තුළු තුමාගේමංගල්‍යය දින සිට දෙසැම්බර් 24 වෙනිදා දක්වා දින 40 ක පමණ කාලයක් නිරාහාර උපවාසශීල කාලයක් පවත්වති. මෙහි මූලික අරමුණ මනස්ස්ථාපනය හා දැහැමි ජීවිත පරිවර්තනය යි. මෙම කාලය තුළ ප්‍රණීත ආහාර පානයෙන් වැළකීම, විවිධ පශ්චාත්තාපික ක්‍රියා කිරීම කරති. දෙවස්ථාන වල දිව්‍ය පූජා හා යාච්ඤා මෙහෙයයන් තුළ හා නිවෙස් වල මනස්ස්ථාපනය වෙත මිනිස් සිත් කැඳවන “උත්පත්ති ගීතිකා” [Nativity Hymns] ගායනා කිරීම ද කරති. මෙහිදී දැඩි නිරාහාර උපවාසයේ හා මනස්ස්ථාපනයේ දිනය ලෙස සැලකෙන්නේ, දෙසැම්බර් 24 වෙනිදා ය. එදින නිරාහාරශීලය රකින ඔවුන් එදින සන්ධ්‍යාවේ වෙස්පර්ස් යැදුම් මෙහෙයයක් පවත්වා එම කාලය අවසන් කරති.

ආගමන කාලයේ ආරම්භය හා අවසානය 2

ජනවන්දනා වර්ෂයක් අවසන් කර නව ජනවන්දනා වර්ෂයක් ආරම්භ කරන්නේ “ආගමන කාලය” පටන් ගන්නා පළමු ඉරු දිනයේ සිට ය. ආගමන කාලය [ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය ඉරු දිනට පසු] නොවැම්බර් 30 සාන්ත අන්ද්‍රේ මුනිතුමාගේ මංගල්‍යයට [Feast of Saint Andrew]ආසන්න ඉරු දිනට පෙර දින සවසයාම යැදුම [Prayers of Hours – Divine Office Prayers] සමගින් ආරම්භ වේ. එබැවින් එය නොවැම්බර් 27 හා දෙසැම්බර් 3 අතර සතිය තුළ උදා වේ. ආගමන කාලය අවසන් වන්නේ දෙසැම්බර් 24 වෙනිදා සවස 6 ට යාම යැදුම උච්චාරණය කිරීම ඇරඹීමත් සමග ය. මෙය ඉරු දින 4 කින් යුත් සති 4 ක ආධ්‍යාත්මික සූදානම් වීමේ කාලයකි.

අප ආගමන කාලයේ සිහිපත් කරන්නේ කුමක්ද?

3මෙම සති 4 ක සූදානම් වීමේ කාලය තුළ අප සිහිපත් කරන්නේ,
• පළමු නත්තල එනම්, ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙවන තැනැන් වහන්සේ වන ජේසුස් වහන්සේ පාපී මිනිසා ගළවා ගැනීම පිණිස දේවත්වය අත්හැර මනුෂ්‍යත්වය ගෙන දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද මිනිස් දුවණියක වන මරිය තුමිය මගින් බෙත්ලෙහෙම් ග්‍රාමයේ දී ඉපදීම ආවර්ජනය කරන උත්සවාකාර හා ගරුගාම්භීර සැමරුම,
• ජේසුස් ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර තිබෙන ආකාරයට සිදුවීමට නියමිත ඔවුන් වහන්සේගේ මහිමාන්විත දෙවන ආගමනය වෙත කතෝලිකයන්ගේ අවධානය යොමු කර ආධ්‍යාත්මිකව ජීවිත සූදානමක් ඇති කර ගැනීමට යොමු වන කාලය, [“නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; මනස්ස්ථාපනය වන්න්, සුභ අස්න අදහා ගන්න.” – මාර්ක් 1 : 15]
• එහි ප්‍රතිඵලයක් වශයෙන් ජේසුස් ස්වාමින් වහන්සේව අප හදවත් තුළට පෞද්ගලිකව වැඩමවා ගනිමින් ඇතුළාන්ත සාමය, සුවය හා නත්තලේ ආධ්‍යාත්මික ප්‍රීතිය අත්දැකීමට යොමු වීම ය.
මේ සඳහා කිතුනු අපට දේව වචනය තුළින් ආධ්‍යාත්මික සූදානමකට හා දැහැමි ජීවිත පරිවර්තනයකට ලැබෙන දේව මග පෙන්වීමත්, සමගි සන්ධනයේ (පාපොච්චාරණයේ) ප්‍රසාද නිධානය හා දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීම තුළින් ලැබෙන ඇතුළාන්ත සුව සහනය අත්කර දීමත්, විවිධ සාංඝික ක්‍රියාවන් හා දිළිඳුන් සමග බෙදා ගැනීමේ පරිත්‍යාගශීලී ක්‍රියාවන්ට මග පෙන්වීමත් ලැබේ.
ආගමන කාලයේ භාවිත වන වර්ණ 4

ඉතා ඈත අතීතයේ සිට ම ආගමන කාලයේ දී භාවිත වන වර්ණය වන්නේ, දම් පැහැය යි. එයට බලපෑවේ අයර්ලන්තයේ සාන්ත කොලුම්බානුස් මුනි තුමා ය. දම් පැහැය මනස්ස්ථාපනයේ, පසුතැවිල්ලේ හා ශෝකයේ වර්ණයක් ලෙසින් යුරෝපීය පිළිගැනීම විය. මෙම වර්ණය තුළින් ප්‍රකාශ කරන්නේ හා අපට මතක් කර දෙන්නේ සැබෑ මනස්ස්ථාපනය තුළින් විය යුතු දැහැමි ජීවිත පරිවර්තනය යි.
තවද, යුරෝපයේ බොහෝ දේවස්ථාන වල ජනේල, දොරවල්, බිත්ති හා අල්තාරය දෙපස සදා හරිත (කොළ) වර්ණයෙන් සකස් කළ සැරසිළි හා රෙදි පිළි වලින් අලංකාර කරති. කොළ පැහැය සෞභාග්‍යයේ, නවතාවයේ හා සදාතනිකත්වයේ වර්ණයක් ලෙසින් යුරෝපීය පිළිගැනීම වේ. එමගින් ක්‍රිස්තු උපත මගින් කළ දෙවියන් වහන්සේගේ දිව්‍ය අනාවරණය කෙරෙහි ශ්‍රද්ධාව හා ගැළවීමේ ආනන්දීය අපේක්ෂාව කිතුනුවන් තුළ ජනිත කරවීම අරමුණ ය. දෙවියන් වහන්සේ ජේසුස් ස්වාමින් වහන්සේ මගින් අත් කර දුන් ජීවනය හා ගැළවීම පෞද්ගලිකව තමන් අත්පත් කර ගැනීමට හා අත්දැකීමට කිතුනුවා යොමු විය යුතු බව පසක් කරන්නකි.

5    ආගමන ඉටි පහන් කළඹ – [Advent Candle Wreath]

සදා හරිත වර්ණ තුරු වැල් වලින් හෝ කෘත්‍රිම තුරු වැල් ඔතා මල් වලින් සැරසූ වෘත්තාකාර හැඩයකින් සෑදූ කළඹක හරි මැද සුදු ඉටි පහනක් ද, ඒ වටා දම් පැහැති ඉටි පහන් 3 ක් හා රෝස පැහැති ඉටි පහනක් ද වශයෙන් (ඉටි පහන් 5 ක්) සවිකර සකසන අලංකාර කුඩා සැරසිල්ල “ආගමන ඉටි පහන් කළඹ” [Advent Candle Wreath] නම්වේ. මෙය සාමාන්‍යයෙන් ආගමන කාලයේ පළමු ඉරු දින කතෝලික දෙව්මැදුරු සෑම එකකම සකස් කර පූජාසනය අසළ තබා ඉරු දින 4 ක් පුරා හා දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව තුළ ඉටි පහන බැගින් දැල්වීම කරන්නකි. මෙම ඉටි පහන් කළඹ නව ජනවන්දනා වර්ෂයක ආරම්භය ප්‍රකාශ කරන අතර, මනස්ස්ථාපනය හා ගැළවීමේ අපේක්ෂාව සංඛේතවත් කරයි.
ඉටි පහන් දැල්වීමේ අර්ථය නම්, ජේසුස් ස්වාමින් වහන්සේ මිනිසත්බව ගැනීම මගින් පාපයෙන් හා නපුරෙන් අඳුරු වී ගිය ලෝකයට ආලෝකයක් වූ බව සංඛේතවත්ව ප්‍රකාශ කිරීම ය. එම ක්‍රිස්තු ආලෝකයෙන් අපගේ ජීවිත ආලෝකමත් කර ගෙන අප ජීවත් වන සමාජයට අප ආලෝකයක් විය යුතු බව ද පසක් කරයි. සති 4 ක් පුරා ඉටි පහන් දැල්වීම තුළින් පාපී අඳුර, පාපයේ භිතිය, අපේක්ෂා භංගත්වය හා නපුරේ බල සිඳ බිඳ දැමීම සඳහා ජේසුස් වහන්සේ ලොවට මානව විමුක්තියේ ආලෝකය වූ බව බව ප්‍රකාශ කරයි.

පළමුවන ඉටි පහන –
දිවැසිබවේ හා අපේක්ෂාවේ ඉටි පහන – [The Candle of Prophecy and Hope]
ඉහත නමින් හඳුන්වන දම් පැහැති මෙම ඉටි පහන මෙසියස් තුමාගේ (ජේසුස් ස්වාමින් වහන්සේගේ) පැමිණීම පිළිබඳව දෙවියන් වහන්සේ දිවැසිවරුන් ලවා කියවූ අනාවැකි අනාවරණය කරන්නකි. එනිසා ඔවුන් වහන්සේගේ පැමිණීම කෙරෙහි මහත් බලාපොරොත්තුවක් අප තුළ ගොඩ නගයි. [යෙසායා 60 : 1 – 3 අනාවැකිය මතෙව් 24 : 44 තුළින් ඉටු වූ බව පෙන්වයි.]

දෙවන ඉටි පහන –
ක්‍රිස්තු මාර්ගයේ ඉටි පහන – [The Candle of the Christ the Way]
දම් පැහැති මෙම ඉටි පහන ක්‍රිස්තුස් වහන්සේ “ගැළවීමේ, සදාතන ජීවනයේ හා පරිපූර්ණත්වයේ මාර්ගය” බව අපට අනාවරණය කරයි. [මතෙව් 3 : 1 – 2 / ජොහාන් 14 : 6]

තෙවන ඉටි පහන –
ආනන්දයේ ඉටි පහන – [The Candle of Joy]
රෝස පැහැති මෙම ඉටි පහන ජේසුස් ස්වාමින් වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙසින් තම හදවතට පිළිගැනීම තුළින් අත් වන ආධ්‍යාත්මික ප්‍රීතිය අනාවරණය කරයි. [යෙසායා 35 : 10 අනාවැකිය ලූක් 19 : 37 – 38 තුළින් ඉටු වීම පෙන්වයි.]

සිව්වන ඉටි පහන –
සාමයේ ඉටි පහන – [The Candle of Peace]
දම් පැහැති මෙම ඉටි පහන ජේසුස් ස්වාමින් වහන්සේ මිනිස් ශිෂ්ටාචාරය තුළ මිනිසත්බව ගැනීම මගින් ලෝකයටත්, ඔවුන් වහන්සේව පෞද්ගලිකව තම හදවතට පිළිගැනීම තුළින් හිමි වන සාමය හා සංහිඳියාව අපට අනාවරණය කරයි. [යෙසායා 9 : 6 – 7 අනාවැකිය ලූක් 1 : 78b – 79 මගින් ඉටු වී බව පෙන්වයි.]

පස්වන ඉටි පහන –
ක්‍රිස්තු ඉටි පහන හෙවත් නත්තල් ඉටි පහන – [The Christ Candle or Christmas Candle] ආගමන ඉටි පහන් කළඹේ හරි මැද පිහිටි සුදු පැහැති මෙම ඉටි පහන දෙසැම්බර් 24 වෙනිදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ ආරම්භයත් සමගම දල්වන්නකි. මෙය මිනිස් පාප නසාලීමට හා අපව ගළවා ගැනීමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසෙකු ලෙසින් බෙත්ලෙහෙමේ උපත ලැබීම අනාවරණය කරයි. එය පළමු ඉටි පහනින් අනාවරණය කළ දිවැසිවැකි හා ජනතාවගේ මෙසියානික බලාපොරොත්තු සම්පූර්ණත්වයට පත් කිරීමකි. එසේම එය යුගාන්තයේ දී ජේසුස් ස්වාමින් වහන්සේ මහිමාන්විතව හා ජයාන්විතව නැවත මෙලොවට වැඩම කර, දේව රාජ්‍යය පරිපූර්ණත්වයට පත් කිරීමත් අනාවරණය කරයි. [යෙසායා 9 : 2 – 7 අනාවැකිය ලූක් 2 : 11 න් ඉටු වූ බව පෙන්වයි.]

ආගමන කාලයේ කිතුනු චාරිත්‍ර 7

ආගමන කාලයත් සමග බැඳුනු කිතුනු චාරිත්‍ර හා වත් පිළිවෙත් බොහෝ තිබේ. මින් සමහර ඒවා රටින් රට ට වෙනස් වේ. ඒසේම ඇතැම් රටවල් වලට ආවේනික චාරිත්‍ර ද වෙති. පොදුවේ ගත් කල සෑම රටක ම වාගේ කතෝලිකයන් අතර පවතින ආගමන සමයේ කිතුනු චාරිත්‍ර කිහිපයක් පහතින් දැක්වේ.

දොරක එල්ලන ලද ආගමන සැරසිල්ලක්

• බොහෝ කතෝලික නිවෙස් වල උළුවහු, ‍දොර, ‍ජනේල, බිත්ති සිවිලිම සදා හරිත වර්ණ මල් කළඹ, ඉටි පහන් යනාදිය වලින් අලංකාර ලෙස සැරසිළි කිරීම කරති. මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කතෝලික ජනගහණය වැඩි වශයෙන් සිටින රටවල ය. ශ්‍රී ලංකාවේ කොළඹ හා ඒ අවට නාගරික පරිසරය තුළ කතෝලික නිවෙස් වල මෙම සදා හරිත වර්ණ මල් කළඹ දැකිය හැකිය. මෙහි අර්ථය ඉදිරියේ දී උදාවන නත්තල හෙවත් ක්‍රිස්තු උත්පත්තිය මගින් එම නිවසට, එහි සාමාජිකයන්ට හා ප්‍රදේශයට ‍ක්‍රිස්තු සෞභාග්‍යය හා දිව්‍ය වරප්‍රසාද හිමි වීම ය. (එහෙත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් මෙය කරන්නේ එහි සැබෑ අර්ථය හඳුනා නොගෙන හුදෙක් ගෘහස්ත අලංකාරය පදනම් කර ගෙන ය.)

8කෑම මේසය මත තබන ආගමන සැරසිල්ලක්

• ආගමන ඉටි පහන් කළඹ සකස් කර මලින් හා සදාහරිත තුරු වැල් වලින් සරසා කෑම මේසය මත තැබීම ද කරති. මෙම චාරිත්‍රය විදේශික කතෝලික පවුල් වල දැකිය හැකි නමුත්, ශ්‍රී ලාංකිකයන් අතර දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙහි අර්ථය පෙර කී පරිදි ජේසුස් වහන්සේව පිළිගැනීමට මනස්සථාපනයෙන් හා යාච්ඤාවෙන් සූදානම් විය යුතු බව පසක් කර දීමය.
• පෙර සඳහන් කළ එම ආගමන ඉටි පහන් කළඹ ආහාර ගැනීමට පෙර දල්වා දේව වචනයෙන් කොටසක් කියවා, යාච්ඤා කර ආහාර පාන බෙදා ගෙන අනුභව කිරීමේ චාරිත්‍රය ද බොහෝ කතෝලික රටවල දැකිය හැකි දෙයකි.

නිවසක එල්ලන ආගමන කාලයේ ජනවන්දනා ලිත9

• ආගමනයේ ජනවන්දනා ලිතක් [Advent Liturgical Calender] සාදා, නිවෙසේ හොඳින් පෙනෙන තැනක (බොහෝ විට අලංකාර ජනේලයක හෝ දොරක) එල්ලා තැබීම කරයි. ආගමන කාලයේ පළමු ඉරු දින සිට දෙසැම්බර් 25 දින දක්වා එහි දින එම ලිතේ සළකුණු කර, ගළවා දැමිය හැකි ආකාරයේ කොළ කැබැලි වලින් එම දින වසා තබයි. දිනෙන් දින ඒය විවෘත කර එම දිනය මත සඳහන් කර තිබෙන බයිබල් පාඨයක් හෝ යාච්ඤා වගන්තියක් කියවීම කරයි. කුඩා දරුවන් තුළ මේ සඳහා උනන්දුවක් ඇති කිරීමට කුඩා රසකැවිල්ලක් හෝ සෙල්ලම් බඩුවක් ඊට සවි කර තබයි. මෙහි අර්ථය නම් නත්තල සඳහා යැදුමෙන් හා දේව වචනයෙන් සූදානම් කරවීම හා කිතු උපතට ඇති දින සංඛ්‍යාව මතක් කර දීමය. ඉතා අගය කළ යුතු වටිනාකමකින් යුත් මෙම චාරිත්‍රය ශ්‍රී ලාංකේය කතෝලිකයන් අතර බොහෝ දුරට දක්නට නැත.

• සෑම කතෝලික දෙව්මැදුරක ම වාගේ ආගමන කාලයේ දිව්‍ය පූජාව
ආරම්භයේ දී “වඩිනු දෙව්මැසීයා” [O Come Divine Messiah] ගීතිකාව ගායන කරයි. මෙය ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිහිපත් කරමින් අපගේ හදවත් තුළට වැඩම කිරීමට ඔවුන් වහන්සේට කරන සාදර ගෞරවාන්විත ඇරයුමකි. මෙය ශ්‍රී ලාංකේය කතෝලික ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය වූවකි. ආගමන කාලයේ පළමු ඉරු දින සිට දෙසැම්බර් 24 වෙනි දින දක්වා කාලය තුළ මෙම ගීතිකාව ගායනය කෙරේ. ලතින් භාෂාවෙන් ලියැවී ඇති මෙය විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත. මෙහි මූලික අර්ථය වනුයේ ‍ගැළවුම්කාර මෙසියස් තුමාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටින දේව ජනතාව ඔවුන් වහන්සේට අප අතරට වැඩම කිරීමට කරන ගෞරවාන්විත ආරාධනාවකි.

ආගමන කාලයේ අරුත

කතෝලික ජනවන්දනා වසර පිළිබඳ නිළ උපදෙස් මාලාව මෙය හඳුන්වා ඇත්තේ ශ්‍රද්ධාවේ හා ආනන්දයේ (ප්‍රීතියේ) අපේක්ෂාවක කාල පරිච්ඡේදයක් ලෙස ය. එබැවින් “ආගමන කාලය” මනස්ස්ථාපනය තුළින් මහිමාන්විතව වඩින විමුක්තිදායකයාණන්ව පිළිගැනීමට යොමු වන, ඔවුන් වහන්සේව පෞද්ගලිකව තම හදවතට පිළිගැනීම තුළින් ඔවුන් වහන්සේ සමග ගොඩනැගෙන ඇතුළාන්ත සාමයේ සවුයේ හා ප්‍රීතියේ සංහිඳයාව ලබන කාලයකි. මෙකී පරමාර්ථය අත්කර ගැනීමට ආගමන කාලය ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදා ඇත.

1. ආගමන කාලය පටන් ගන්නා දින සිට දෙසැම්බර් 16 දක්වා කාලය – මෙහිදී ජේසුස් වහන්සේගේ ‍මහිමාන්විත දෙවන ආගමනය පිළිගැනීම සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වීම,

2. දෙසැම්බර් 17 දින සිට දෙසැම්බර් 24 වන දින දක්වා කාලය – මෙහිදී ජේසුස් වහන්සේ ගැළවුම්කරුවාණන් ලෙසින් කළ පළමු ආගමනය ගරුගාම්භීරව ආවර්ජනය කිරීම, සඳහා අවධානය යොමු කෙරේ. එබැවින් ආගමන කාලය දෙවියන් වහන්සේ ගැළවීමේ ඉතිහාසයට බැස කළ මහා බැහැපත්කමේ දේව අනාවරණය ලොවට ප්‍රකාශ කිරීමක් හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය අප අතරට සම්ප්‍රාප්ත වීම පිළිබඳව සාක්ෂි දැරීමකි. ජේසුස් වහන්සේ බැහැපත්කමින් හා ස්වකීය පියාණන් වහන්සේට වූ අවනතභාවය තුළින් දුන් මහා ආදර්ශය අනුව අපගේ ජීවිත ද සමාජය තුළ බැහැපත්කමේ හා සේවයේ ක්‍රියාවලියකට යොමු කර වන කාලයකි.

෴ වැඩිදුර සටහන් ෴
[1]1 තෙසලෝනි 2 : 19/ 2 තෙසලෝනි 2 : 2
[2] මෙය ක්‍රිස්තුස් වහන්සේගේ අනාවැකියක් ඉටු වීමකි. – ලූක් 21 : 5 – 6, 20, 23 – 24
[3] එම බව්තීස්ම ස්නාපන සූදානම් වීමේ පිළිවෙතේ ප්‍රධානම ආධ්‍යාත්මික ක්‍රියාව වූයේ (තම ශරීරයට දුක් වේදනා පමුණුවා ගැනීම, ආශාවන් මර්ධනය කර ගැනීම, මාංශ භක්ෂණය හා ප්‍රණීත ආහාරයෙන් ඈත්වීම, ප්‍රීති සාද වලින් වැළකී සිටීම වැනි) පශ්චාත්තාපික ක්‍රියාවන් කිරීම, නිරාහාරශීලය රැකීම හා තම පාප වලට මනස්ස්ථාපනය වීමය.
[4] මතෙව් 24 : 3 – 14, 29 – 31/ ලූක් 21 : 12 – 18, 25 – 28, 34 – 36

[5] විශේෂයෙන් අයර්ලන්ත ජාතික සාන්ත කොලුම්බානුස් මුනිතුමා ප්‍රංශයට පැමිණ කතෝලික ජනවන්දනා පිළිවෙත් වලට නවෝදයක් ලබා දෙමින් ආගමන සමයේ මූලික පරමාර්ථය, “ජේසුස් වහන්සේගේ දෙවනවර වැඩම කිරීමට ආධ්‍යාත්මිකව සූදානම් වීම” බව පෙන්වා දුන්නේ ය. එනිසා මෙම කාලය විනෝදය නොව පාපී ජීවිත මනස්ස්ථාපනයෙන් වෙනස් කර ගෙන මහා ජීවිත පරිවර්තනයකට යොමු විය යුතු සමයක් බව අවධාරණය කළේ ය.
[6] නූතනයේ ආගමන කාලයේ දී මහිම ප්‍රශංසා ගීය ගායනා නො කරන්නේ දැඩි මනස්ස්ථාපනය සංඛේතවත් කිරීමට නොව, නත්තල් පූර්ව රාත්‍රී – (දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී) – දිව්‍ය පූජා මෙහෙයේ දී ඉතා ගරුගාම්භීරව හා ජයෝත්සවයෙන් ගායනා කිරීමට අවස්ථාව සලස්වනු සඳහා ය.

10[7] කතෝලිකයන් ඒකරාශී වී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට කරන වන්දනා නමස්කාරයජනවන්දනාව යන නමින් හඳුන්වයි. සාමාන්‍යයෙන් ජනවන්දනාව පවත්වන පිළිවෙත වර්ෂ තුනකට බෙදා ඇත. එය පිළිවෙලින්,
• ජනවන්දනා පළමු වසර
• ජනවන්දනා දෙවන වසර
• ජනවන්දනා තෙවන වසර
යනුවෙන් නම් කෙරේ. මෙම ජනවන්දනා තෙවර්ෂ අනුපිළිවෙල හා ක්‍රමවේදය ජනවන්දනා චක්‍රයයන නමින් හඳුන්වයි. එයට හේතුව මෙම තෙවර්ෂ කරත්ත රෝදයක් මෙන් චක්‍රාකාරව නොකඩවා යොදා ගැනීමය. සියලු මංගල්‍ය, කාල වකවානු, කතෝලික ආගමික උත්සව හා පිළිවෙත් සියල්ල මෙම ජනවන්දනා තෙවර්ෂ චක්‍රයට අයත් වෙති. එසේම, දිනපතා පවත්වන දිව්‍ය පූජා වල දී උච්චාරණය කරන යැදුම්, කියවීම් සඳහා යොදා ගන්නා බයිබලීය කොටස්, මෙනෙහි කිරීමේ ගීතිකා කොටස් පමණක් නොව, ඒ ඒ දිනයේ දී සිහිපත් කරන මංගල්‍ය කුමක්ද? අල්තාරය සැරසීමට හා පූජාප්‍රසාදි තුමා භාවිත කළ යුතු පූජා ඇඳුම් වල වර්ණය යනාදිය පවා මෙම ජනවන්දනා තෙවර්ෂ චක්‍රයට අනුව සකස් කර ඇත. එබැවින් මුළු ලෝකයේම කතෝලික සභාව භාෂාව කුමක් වුව ද මෙම එකම ජනවන්දනා පිළිවෙත භාවිත කරයි. එනිසා මෙය කතෝලික සභාවේ සුලක්ෂණයක් වන ඒකත්වය යන්න අපට පසක් කර දෙයි.
[8] “ඔබ ලෝකයේ ආලෝකය ය……ඔබේ ආලෝකය අන් අය ඉදිරියෙහි බබළවන්න” – මතෙව් 5 : 14, 16
“යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවා ගතිමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, නුඹ සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කළෙමි” – යෙසායා 42 : 6

 

Read More – http://catechismway.blogspot.com/2010/12/blog-post.html

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s